Home » මිනිස් සිරුරේ එක් එක් අවයව වියපත්වීමේ වේගය රුධිර පරීක්ෂාවකින් පෙන්විය හැකිද ?
Europe Featured News Science

මිනිස් සිරුරේ එක් එක් අවයව වියපත්වීමේ වේගය රුධිර පරීක්ෂාවකින් පෙන්විය හැකිද ?

මෝටර් රථයක් ධාවනයට සුදුසු තත්ත්වයේ පවතින්නේ ද යන්න නිර්ණය ගැනීමට සිදු කරන පරීක්ෂාවක් හා සමානව, පුද්ගලයෙකුගේ ශරීරයේ ඇති අභ්‍යන්තර අවයව කෙතරම් වේගයෙන් වයසට යනවා ද යන්න පරීක්ෂා කිරීමට රුධිර පරීක්ෂණයක් කළ හැකි බව ත්, එමඟින්, ඉක්මනින් අකර්මණ්‍ය විය හැකි අවයව ගැන අනාවැකි පළ කළ හැකි බව ත් විද්‍යාඥයන් විශ්වාස කරයි.

ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයේ විද්‍යාඥ කණ්ඩායම පවසන්නේ හදවත, මොළය සහ පෙනහැලි ඇතුළු ශරීරයේ ප්‍රධාන අවයව 11ක් ඔවුන්ට ඒ සඳහා නිරීක්ෂණය කළ හැකි බව ය.

බහුතරයක් මැදිවියේ හෝ ඊට වැඩි වයස් වැඩිහිටියන් දහස් ගණනක් යොදා ගනිමින් ඔවුහු එය අත්හදා බැලූහ.

වයස අවුරුදු 50ට වැඩි, බොහෝ දුරට සෞඛ්‍ය සම්පන්න වැඩිහිටියන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට අවම වශයෙන් වේගයෙන් වයස්ගත වන එක් අවයවයක් හෝ තිබිය හැකි බව එම අධ්‍යයනයේ ප්‍රතිඵල පෙන්වා දෙයි.

එමෙන් ම, සෑම 100 දෙනෙකුගෙන් එක් අයෙකු සිට දෙදෙනෙකු දක්වා, ඔවුන්ගේ උපන් අවුරුදුවල සිට ගණනයේ කිරීමේ දී ඔවුනට වඩා වයස්ගත අවයව කිහිපයක් තිබිය හැකි ය.

පරීක්ෂාව පිළිබඳ අදහස බියජනක විය හැකි නමුත්, එහි මැදිහත් වීම යම් අයෙකුගේ ජීවිතයේ ගමන්මඟ වෙනස් කිරීමට අවස්ථාවක් විය හැකි බව පර්යේෂකයෝ පවසති.

සීඝ්‍රයෙන් අකර්මණ්‍ය වී යන්නේ කුමන අවයවදැ යි දැන ගැනීමෙන්, ඉදිරියේ දී මතුවනු ඇති සෞඛ්‍ය ගැටළු මොනවාදැ යි හෙළිකර ගත හැකි බව පර්යේෂකයෝ ‘නේචර්’ සඟරාවට පවසති.

අවයවවල වයස් පරතරය

උදාහරණයක් වශයෙන් “ජන්ම වයසට වඩා වයස්ගත” හෘදයක් තිබීම හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩි කරන අතර, වේගයෙන් වයසට යන මොළයක් ඩිමෙන්ශියාවට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් ඇත.

එක් අවයවයක් හෝ කිහිපයක් ඉක්මනින් වයසට යාම, ඉදිරි වසර 15ක් තුළ ඇතැම් රෝගවලට ගොදුරුවීමේ සහ මරණයට පත්වීමේ වැඩි අවදානම සමග සහසම්බන්ධතාවක් පවත්වන බව මෙම අධ්‍යයනයේ දී සොයාගෙන තිබේ.

ඔවුන් පරීක්ෂා කළ ශරීර අවයව වන්නේ:

  • මොළය
  • හෘදය
  • අක්මාව
  • පෙනහැලි
  • අන්ත්‍රය
  • වකුගඩු
  • මේදය
  • රුධිර නාල (ධමනි)
  • ප්‍රතිශක්තිකරණ පටක
  • පේශී
  • අග්න්‍යාශය

මෙම රුධිර පරීක්ෂාව සිදුකෙරෙන්නේ විවිධ වර්ගයේ ප්‍රෝටීන දහස් ගණනක් විශ්ලේෂණය කරමින් වන අතර, වෙනස් වේගයන්ගෙන් වයස්ගත වන අවයව මොනවා ද යන්න පිළිබඳව ඉඟි ලබා දෙයි.

එලෙස හඳුනාගත් ප්‍රෝටීන රටා එක් එක් අවයවවලට විශේෂිත වූ බව පෙනී ගියේ ය.

රුධිර පරීක්ෂණ ප්‍රතිඵල සහ රෝගීන්ගේ දත්ත විශාල ගණනක් භාවිත කරමින් අනාවැකි පළ කිරීමට පර්යේෂකයෝ මැෂින් ලර්නින් (machine-learning) ඇල්ගොරිතමයක් පුහුණු කළහ.

ඔවුන් අතරින් එක් පරීක්ෂකයෙකු වන ආචාර්ය ටෝනි විස්-කුරේ එය මෙසේ පැහැදිලි කළේ ය: “පැහැදිලිව බරපතල රෝග තත්ත්ව වලින් පෙළෙන්නේ නැති බව පේන විශාල පිරිසක් තුළ සිටින එක් එක් පුද්ගලයා ගාණේ අරගෙන, ඒ අයගේ එක් එක් අවයවවල ජීව විද්‍යාත්මක වයස තවත් පිරිසකගේ එම අවයව හා සසඳද්දී අපිට පෙනී ගියේ, සාමාන්‍ය අගයට වඩා වයස අවුරුදු 50 හෝ ඊට වැඩි පුද්ගලයින්ගෙන් 18.4%කගේ අවම වශයෙන් එක් අවයවයක්වත් සැලකිය යුතු ලෙස වේගයෙන් වයස්ගත වෙලා කියලා.

“මේ පුද්ගලයින් ඒ විශේෂිත අවයවයේ ඇතිවන රෝගාබාධවලට ඊළඟ වසර 15 තුළ ගොදුරුවීමේ වැඩි අවදානමක් තියෙනවා කියලා අපි හොයා ගත්තා.”

අනාගතයේ දී එය භාවිත කිරීමට සහ අලෙවි කිරීමට හැකිවන පරිදි, මෙම පරීක්ෂණයට පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම සඳහා විශ්වවිද්‍යාලයය දැන් ඊට අදාළ ලේඛන ඉදිරිපත් කර තිබේ.

ඊට පෙර, අවයවවල වයස සහ සෞඛ්‍යය පිළිබඳව පුරෝකථනය කිරීමේ දී එම පරීක්ෂණය කෙතරම් සාර්ථකදැ යි පරීක්ෂා කිරීමට තවත් අධ්‍යයනයන් අවශ්‍ය වේ.

ආචාර්ය විස්-කුරේ විසින් මීට පෙර කරන ලද පරීක්ෂණවලින් පෙනී යන්නේ, ජීව විද්‍යාත්මක වයසට යාමේ ක්‍රියාවලිය ඒකාකාර නොවන නමුත් එකවර සිදුවන බව ය. එනම්, මිනිසුන්ගේ වයස 30 ගණන්වල මැද භාගයේත්, 60 ගණන්වල මුල්භාගයේත් සහ 70 ගණන්වල අගභාගයේත් එය වේගවත්ව සිදුවිය හැකි බව ඔවුහු පෙන්වා දෙති.

ලන්ඩනයේ ක්වීන් මේරි විශ්වවිද්‍යාලයයේ වයස්ගත වීම හා සම්බන්ධ සෞඛ්‍ය සහ රෝග පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය ජේම්ස් ටිමන්ස් ද පුද්ගලයින්ගේ ජීව විද්‍යාත්මක වයස පිළිබඳ කියවෙන රුධිරයේ අඩංගු විවිධ සලකුණු ගැන අධ්‍යයනය කරමින් සිටියි.

ආචාර්ය විස්-කුරේ විසින් කරන ලද නවතම සොයාගැනීම් සිත් ඇදගන්නාසුලු නමුත්, විශේෂයෙන් ම විවිධ ජනවාර්ගික පසුබිම්වල සිටින තරුණ පිරිස් ද පරීක්ෂණයට භාජනය කරමින් වැඩි පිරිසක් ඔස්සේ මෙය තහවුරු කර ගැනීම අවශ්‍ය බව ඔහු පැවසීය.

“මේ වයසට යාම ද, නැතහොත් වයස්ගතවීම ආශ්‍රිත රෝග ජෛව සලකුණු හරහා කලින් හඳුනා ගැනීමේ නව ක්‍රමයක් ද? පර්යේෂකයෝ පක්ෂ වෙන්නේ මුලින් කියපු දේට. ඒත් මම හිතන්නේ නැහැ, දෙවැන්න සම්පූර්ණයෙන් බැහැර කරනවා කියලා,” ඔහු පැවසීය.

ආචාර්ය විස්-කුරේ මෙසේ ද පැවසුවේ ය: “අපිට මේ සොයා ගැනීම යළිත් වතාවක් පුද්ගලයින් 50,000ක් හෝ 100,000ක් තුළ පෙන්නන්න පුළුවන් නම්, ඒකෙන් අදහස් වෙන්නේ, මතුපිටින් නිරෝගී පුද්ගලයන්ගේ එක් එක් අවයවවල සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කරලා අපිට පුළුවන් වේවි මිනිස්සුන්ගේ ශරීර තුළ වේගයෙන් වයසට යන අවයව හොයා ගන්න. එතකොට මිනිස්සු ලෙඩ වෙන්න කලින් අපිට ඒ අයට ප්‍රතිකාර කරන්න පුළුවන් වේවි.”

ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයයේ වයස්ගත වීම සම්බන්ධ ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය පෝල් ෂීල්ස්, පුද්ගලයෙකුගේ සෞඛ්‍යය පිළිබඳ වඩාත් නිවැරදි චිත්‍රයක් ගොඩනගා ගැනීම සඳහා තනි තනි අවයව දෙස පමණක් නොව මුළු ශරීරය ම දෙස බැලීම කාලෝචිතව වැදගත් බව පැවසුවේ ය.

‘Age UK’ නම් පුණ්‍යායතනයේ කැරොලයින් ඒබ්‍රහම්ස්, වයස්ගත වීම ආශ්‍රිතව ඇතිවන බරපතල රෝග කලින් හඳුනා ගැනීමට විද්‍යාඥයින් විසින් ගවේෂණය කරනු ලැබීම ඉතා හොඳ නමුත්, ඒ දැනුමත් සමග ජීවත් වීම මිනිසුන්ට කෙසේ හැඟෙනු ඇති ද යන්න පිළිබඳව ද සලකා බැලිය යුතු බව ය.

එය යථාර්ථයක් බවට පත්වුවහොත්, පරීක්ෂණ ප්‍රතිඵල සමග මිනිසුන්ට කටයුතු කිරීමට චිත්තවේගීය සහ සායනික සහාය අවශ්‍ය වනු ඇති අතර, ඒ සඳහා සූදානම් විය යුතු බව ත් එවැනි සහයක් ලබා දීමට අරමුදල් තිබිය යුතු බව ත් ඇය පැවසුවා ය.

මූලාශ්රය: BBC

Translate