“වෙනසක සුළං ප්‍රවාහය පැමිණ තිබේ!” මෑතක දී පැවති නෙදර්ලන්ත මහ මැතිවරණයේ ප්‍රතිඵල දැකීමෙන් පසු හංගේරියාවේ අග්‍රාමාත්‍ය වික්ටර් ඕබන් අදහස් පළ කර තිබිණි. එමෙන් ම අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, හාවියෙර් මිලෙයි “ආර්ජන්ටිනාව යළි ශ්‍රේෂ්ඨත්වයට පත් කරනු ඇති” බව පැවසුවේ ය.
ආර්ජන්ටිනාවේ උග්‍ර දක්ෂිණාංශික පිටස්තර අපේක්ෂකයෙකු වූ මිලෙයිගේ සහ නෙදර්ලන්තයේ ඉස්ලාම් විරෝධී දේශපාලනඥයෙකු වන ගේර්ට් විල්ඩර්ස්ගේ මැතිවරණ ජයග්‍රහණ පිළිබඳව දැඩි අවධානයක් යොමු වී තිබේ.
ඔවුන් දෙදෙනා ම “ජනප්‍රියතාවාදීන්” ලෙස හංවඩු ගසා ඇති අතර, ඔවුන්ගේ සාර්ථකත්වය අගය කරනු ලබන්නේ ඔවුන්ට සමාන සිතිවිලි සහිත දේශපාලනඥයන් විසිනි. එහෙත්, මෙම යෙදුමේ නිවැරදි ම අදහස කුමක් ද?
‘ජනප්‍රියතාවාදය’ යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද?
Populism: A Very Short Introduction නමැති ග්‍රන්ථයේ කර්තෘ කාස් මුඩ (Cas Mudde) පවසන පරිදි, දේශපාලන විද්‍යාවට අනුව ජනප්‍රියතාවාදය යනු “ශුද්ධ ජනතාව” සහ “දූෂිත ප්‍රභූ පැලැන්තිය” යනුවෙන් සමාජය එකිනෙකා සමග එකඟ නොවෙන කණ්ඩායම් දෙකකට වෙන් කෙරෙන අදහසකි.
දේශපාලනය, ජනතාවගේ පොදු අභිප්‍රායේ ප්‍රකාශනයක් විය යුතුයැ යි ජනප්‍රියතාවාදය තර්ක කරන බව ඔහු පවසයි.
Populism: Key Concepts in Political Theory ග්‍රන්ථයේ කර්තෘ බෙන්ජමින් මොෆිට් පවසන පරිදි මෙම සංකල්පය දෘෂ්ටිවාදයක්, සංවිධානගත ස්වරූපයක්, ප්‍රාසංගික විලාසයක්, කතිකාවක් හෝ මිනිසුන් අදහස් දක්වන ආකාරයක් ලෙස ප්‍රකාශ විය හැකි වුව ද, “එම විවිධ වාදවිවාද සියල්ල ජනතාව සහ ප්‍රභූන් අතර ඇති භේදය වටා භ්‍රමණය වෙයි.”
“ජනප්‍රියතාවාදියෙක්, ජනතාවගේ නාමයෙන් කතා කරන අතර ප්‍රභූන් සමාජය තුළ අත්‍යවශ්‍යයෙන් පවතින ගැටලුවක් ලෙස හඳුනා ගන්නවා.”
ජනප්‍රියතාවාදය උග්‍ර දක්ෂිණාංශිකත්වය සමග පුළුල්ව බැඳී පවතින නමුත් වාමාංශික ජනප්‍රියතාවාදයක් ද පවතියි. ඊට වඩාත් සුදුසු උදාහරණයක් වන්නේ, “මම තනි මිනිහෙක් නෙවෙමි – මා ජනතාව යි” යනුවෙන් වරක් පැවසූ වෙනිසුවෙලාවේ හිටපු නායක හියුගෝ චාවේස් ය.
ජනප්‍රියතාවාදය “කෘෂ-කේන්ද්‍රීය දෘෂ්ටිවාදයක්” – එනම්, දේශපාලන න්‍යායක එක් පැත්තක් පමණක් ආමන්ත්‍රණය කරන්නක් – බව මුඩ පැහැදිලි කරයි. හොඳ ම ආර්ථික හෝ දේශපාලනික ක්‍රමවේදය කුමක් ද යන්න පිළිබඳව එහි අදහසක් නැත.
“ඉතාම සාර්ථක ජනප්‍රියතාවාදීන්ගෙන් වැඩි දෙනෙක් ජනප්‍රියතාවාදය තවත් දෘෂ්ටිවාදයක් සමග සම්බන්ධ කරනවා. ඒ සත්කාරක දෘෂ්ටිවාදය මේ මූලික ගැටළු ආමන්ත්‍රණය කරනවා,” ඔහු පවසයි.
“පොදුවේ ගත්විට, බොහෝ දක්ෂිණාංශික ජනප්‍රියතාවාදීන් ජනප්‍රියතාවාදය යම් ආකාරයක ස්වදේශිකවාදයක් සමග ඒකාබද්ධ කරනවා. බොහෝ වාමාංශික ජනප්‍රියතාවාදීන් ජනප්‍රියතාවාදය යම් ආකාරයක සමාජවාදයක් සමග ඒකාබද්ධ කරනවා.”
ජනප්‍රියතාවාදී නායකයින්ගේ චරිත ලක්ෂණ මොනවා ද?
ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය යාන්-වර්නර් ම්‍යුලර් ඔහුගේ ‘What is Populism?’ නමැති ග්‍රන්ථයෙහි සඳහන් කර ඇත්තේ, ඔවුන් “ජනතාවගේ ඒකාබද්ධ අභිප්‍රාය” නියෝජනය කරන බව ජනප්‍රියතාවාදී නායකයින් පවසන බව ය.
“‘සැබෑ ජනතාවගේ’ හෝ ‘නිහඬ බහුතරයේ’ එක ම නියෝජිතයන් ඔවුන් බව ඔවුන් ම ප්‍රකාශ කිරීම ජනප්‍රියතාවාදීන්ගේ කැපී පෙනෙන ලක්ෂණයක්,” ඔහු පවසයි.
“බලය වෙනුවෙන් තරග කරන අනෙකුත් සියලු ම තරගකරුවන් මූලික වශයෙන් නීත්‍යනුකූල නොවන බවට ඔවුන් හෙළා දකිනවා. අනෙකුත් අය, හුදෙක් ‘දූෂිත’ සහ ‘වංචනික’ පුද්ගලයින් බව ඔවුන් අවධාරණය කරනවා.”
මෙනයින් බලනකල, අමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනප්‍රියතාවාදීන් සඳහා හොඳ ම නූතන උදාහරණයක් ලෙස සැලකේ.
ට්‍රම්ප්ගේ ප්‍රලාපවලින් පෙනෙන පරිදි, ජනප්‍රියතාවාදියා සතුරෙකුට (බොහෝ විට වත්මන් ක්‍රමය මෙමඟින් මූර්තිමත් වෙයි) විරුද්ධව නැගී සිටින්නේ, “දූෂණය පිටුදැකීමේ” අරමුණින් හෝ “ලිබරල් ප්‍රභූන්ට” පහර දීමේ අරමුණ ඇතිව ය.
එමෙන්ම, ජනප්‍රියතාවාදීන් සාමාන්‍යයෙන් සංක්‍රමණ විරෝධී, අධිකාරිවාදී ස්ථාවරයක් එකට සම්බන්ධ කරමින් සහ සාම්ප්‍රදායික දේශපාලනඥයින් නොකරන අන්දමේ ප්‍රායෝගික නොවන ප්‍රතිඥා දෙමින්, බොහෝ විට තමන් “ශක්තිමත් මිනිසෙකු” ලෙස පෙනී සිටියි.
නීති සම්පාදකයින් හෝ අධිකරණය සම්බන්ධ වන වඩාත් සංකීර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද මත විශ්වාසය තැබීමට වඩා, “අවශ්‍ය දේ සිදුකර ගැනීම සඳහා” මෙවලම් ලෙස සෘජු ජනමත විචාරණ, ජනාධිපති නියමයන් හෝ විධායක නියෝගවලට ඔවුන් වඩාත් කැමති විය හැකි ය.
ගතානුගතික ජනප්‍රියතාවාදී නායකයා සමග බැඳි තවත් ලක්ෂණ කිහිපයක් බෙන්ජමින් මොෆිට් සටහන් කරයි.
ඒ අතරින් එක් ලක්ෂණයක් වන්නේ, “නරක ආචාර විධි” සහිතවීම හෝ දේශපාලකයන්ට සාමාන්‍ය නොවන ආකාරයට හැසිරීම යි – මේ උපක්‍රමය ඩොනල්ඩ් ට්‍රම්ප් ද, ඉතා මෑතක පැවති දේශපාලන රැලියකට දී කප්පාදු කිරීම්වලට පොරොන්දු දෙන අතරතුර විදුලි කියතක් (chainsaw) රැගෙන ගිය ආර්ජන්ටිනාවේ මිලෙයි ද අනුගමනය කළහ.
අනෙක් ලක්ෂණය වන්නේ “අර්බුදකාරී තත්ත්වයක් අඛණ්ඩව පවත්වාගෙන යාම” සහ නිරන්තරයෙන් ඔහු “ආක්‍රමණශීලී” අයෙකු ලෙස නිරූපණය කිරීම බව ඔහු පවසයි.
“නිතරම, ඉදිරියේ දී යම් විනාශයක් සිදුවන බව අඟවනවා වගේම, එය යථා තත්ත්වයට පත්කරන්නේ කොහොමද කියලා දන්නේ ඔවුන් විතරයි,” මොටිෆ් සටහන් කරයි.
ජනප්‍රියතාවාදී නායකයින් බවට හොඳ ම නිදසුන් ලෙස ඉදිරිපත් කළ හැක්කේ කවුරුන් ද?
ආර්ජන්ටිනාවේ හුවාන් ඩොමින්ගෝ පෙරෝන් යනු ජනප්‍රියතාවාදීන්ගේ ආදි කර්තෘවරයෙකු ලෙස නිරන්තරයෙන් උපුටා දක්වන්නෙකි. ඔහු 1974 වසරේ දී මියගිය ද, ඔහුගේ නම තවමත් ඔහුගේ රටේ දේශපාලනය සහ ආර්ජන්ටිනා සමාජයේ ප්‍රධාන බෙදීම මෙසේ නිර්වචනය කරයි: ‘ඔබ පෙරෝන්වාදියෙක් ද, පෙරෝන්විරෝධියෙක් ද?’
දෙසැම්බර් 10 වන දා, ජනප්‍රියතාවාදියෙකු ලෙස නිරන්තරයෙන් හැඳින්වෙන තවත් පුද්ගලයෙකු රටේ පාලනය භාරගත්තේ ය. ඔහු හාවියෙර් මිලෙයි නම් වේ.
ඔහුගේ අවුල්වූ හිසකෙස්, දැඩි උද්‍යෝගීභාවය සහ අසාමාන්‍ය හැසිරීම් නිසා ඔහුට “El Loco” (පිස්සා) යන අන්වර්ථ නාමය පටබැඳී තිබේ.
ඔහු දේශීය මුදල් ඒකකය වන පෙසෝ ඉවත් කර ඇමෙරිකානු ඩොලරය භාවිතාවට ගැනීම, මහ බැංකුව “පුපුරවා හැරීම” සහ රජයේ සමස්ත දෙපාර්තමේන්තු කප්පාදු කිරීම ඇතුළු දැඩි වෙනස්කම් සිදුකිරීමට ප්‍රතිඥා දී තිබේ.
“ජනප්‍රියතාවාදයේ ප්‍රදීපාගාරය තමයි ලතින් අමෙරිකාව,” ජනප්‍රියතාවාද අධ්‍යයනය සඳහා වන යුරෝපා මධ්‍යස්ථානයේ ඉම්දත් ඔනර් පවසයි. “වාමාංශික ජනප්‍රියතාවාදියෙකු වූ හියුගෝ චාවේස් හොඳ ම උදාහරණයක්. ඔහු දේශපාලනයට ආවේ පිටස්තරයෙකු විදියට. ඇවිත් වෙනිසුවෙලාවේ ද්වි-පක්ෂ ක්‍රමය වෙනස් කළා. අන්තිමට ඔහු මැරෙනකම් බලයේ හිටියා.”
එහෙත්, ට්‍රම්ප් “දක්ෂිණාංශික ජනප්‍රියතාවාදියෙකුට අපූරු උදාහරණයක්” බව සඳහන් කරන මොෆිට්, ජනප්‍රියතාවාදය ගෝලීය සංසිද්ධියක් බව පවසයි.
“දැන් ලෝකයේ වඩාත් ම සාර්ථක ජනප්‍රියතාවාදියා – අඩු තරමින් මැතිවරණ හා බලය තහවුරුකර ගැනීම සම්බන්ධයෙන් – ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි,” මොෆිට් සඳහන් කරයි.
“ඉන්දියාවේ සියලු දේශපාලන ක්‍රියාකාරකම් භ්‍රමණය වෙන්නේ මෝදි වටේ. මිනිසුන් සහ ප්‍රභූන් අතර බෙදීමක් ඇති කරන්න, හින්දූන් ‘සැබෑ මිනිස්සු’ විදියට ආගමික හැඟීමක් ඇති කරන්න ඔහුට හැකි වී තිබෙනවා – ඉතින් ස්වදේශිකවාදී හැඟීම එහි ක්‍රියාත්මක වනවා,” ඔහු පවසයි.
තුර්කියේ රෙසිප් තයියිප් එර්දෝවාන් ද ජනප්‍රියතාවාදී දේශපාලනඥයෙකු ලෙස නිතර සැලකිණි.
“ඔහු තමන් ධෛර්ය සම්පන්න පීඩිතයෙක් ලෙස පෙනී සිටියි. ඔහු සදහට ම තුර්කි ජනරජයේ පැරණි, කෙමාලිස්ට් දර්ශනයට නිර්භීතව මුහුණ දෙන, ඉස්තාන්බුල්හි දුෂ්කර කසිම්පෂා ප්‍රදේශයෙන් පැමිණි වීදි සටන්කරුවා වනු ඇති,” The Rise and Rise of Populism නමැති ග්‍රන්ථයේ මහාචාර්ය ම්‍යුලර් ලියා තිබේ.
නෙදර්ලන්තයේ ගේර්ට් විල්ඩර්ස්, හංගේරියාවේ වික්ටර් ඕබන්, ප්‍රංශයේ මරීන් ලී පෙන්, වෙනිසුවෙලාවේ නිකලස් මදුරෝ සහ එක්සත් රාජධානියේ බොරිස් ජොන්සන් යන දේශපාලනඥයින් ද ජනප්‍රියතාවාදීන් ලෙස නිරන්තරයෙන් උපුටා දක්වන්නන් කිහිප දෙනෙකි.
කෙසේ වෙතත්, කාස් මුඩ බ්‍රසීලයේ ජයීර් බොල්සොනාරෝ ජනප්‍රියතාවාදියෙකු ලෙස සලකන්නේ නැත. මන්ද ඔහු දේශපාලන සංස්ථාපිතයේ වාමාංශික කොටස මිස දක්ෂිණාංශික කොටස ප්‍රතික්ෂේප නොකළ හෙයිනි.
ජනප්‍රියතාවාදය ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් ද?
කාස් මුඩ පෙන්වා දෙන්නේ, පටු අර්ථයෙන් ගත්කල – එනම්, ජනතා පරමාධිපත්‍යය සහ බහුතර පාලනය අනුව – දේශපාලනයේ දී “ජනතා අභිප්‍රාය” පිළිබිඹු කිරීමට අවශ්‍ය බැවින් ජනප්‍රියතාවාදය ප්‍රජාතන්ත්‍රවාදී වන බව ය.
“කොහොම වුණත්, එය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අදහස වන බහුවිධවාදය සමග මූලික වශයෙන් පටහැනි යි: බහුවිධවාදය කියන්නේ විවිධ අවශ්‍යතා සහ වටිනාකම් ඇති විවිධ පුද්ගලයින් සමූහයකින් සමාජය සමන්විත වන්නේ ය යන අදහස නීත්‍යනුකූල බව පිළිගැනීම යි,” ඔහු පවසයි.
ජනප්‍රියතාවාදීන්ට ප්‍රමාණවත් බලයක් තිබේ නම්, ඔවුන් සැබෑ “ජනතාව” ලෙස නොසලකන සියල්ලන් බැහැර කරන ඒකාධිපති රාජ්‍යයක් නිර්මාණය කිරීමකින් අවසන් වනු ඇති බවට මහාචාර්ය ම්‍යුලර් තර්ක කරයි.
මෝටිෆ්ට අනුව, විශේෂයෙන් ම බොහෝ දෙනෙකු “බහු අර්බුදකාරී කාලය” ලෙස හඳුන්වන සමයක, අනෙක් පුද්ගලයින් ඉලක්ක කිරීම ජනප්‍රියතාවාදය ලොව පුරා ප්‍රචලිත වීමට බලපෑ හේතුවේ කොටසකි.
“පාරිසරික අර්බුදය, පවතින මූල්‍ය සංකූලතා… කෙලින්ම පැමිණ සරල විසඳුම් ගැන කතා කිරීමට හැකිවීම, දැවැන්ත අර්බුදකාරී අවස්ථාවක සතුරෙකු ඉලක්ක කර ගැනීමට හැකිවීම යන කාරණා වැදගත්,” ඔහු පවසයි.
“විනිසුරුවන්, මාධ්‍ය වගේ ස්වාධීන ආයතන ජනතා හඬට බාධාවක් ලෙස පෙන්වීමට ජනප්‍රියතාවාදීන් නැඹුරු වෙනවා. ඒ ආකාරයෙන් බැලුවා ම ඒක ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක්. ඒත් ඒක එක ම තර්ජනය ලෙස විකෘති ලෙස හුවා දැක්වීම ඵලදායී නැහැ,” මොටිෆ් පවසයි. “ඒකට මිනිසුන් ආකර්ෂණය වෙන්න හේතුවක් තියෙනවා.”
“ජනප්‍රියතාවාදය වර්තමාන ප්‍රධාන ධාරාවේ දේශපාලනයේ කොටසක් නොවන බව කියන්න අමාරු යි. ඒක ඉවත් වෙන්නෙ නෑ. පෞද්ගලිකව මට හිතෙන්නේ, ඒක 21 වන සියවසේ දේශපාලන ප්‍රපංචය පැහැදිලි කරනවා.”
මූලාශ්රය: BBC