Home » පිරිමින්ගේ වඳභාවයට ප්‍රතිකාර කිරීමේදී AI ප්‍රබල මෙවලමක් වන්නේ කෙසේ ද?
Featured News Science

පිරිමින්ගේ වඳභාවයට ප්‍රතිකාර කිරීමේදී AI ප්‍රබල මෙවලමක් වන්නේ කෙසේ ද?

වඳභාවය පිරිමි ජනගහණයෙන් 7%ක ප්‍රතිශතයකට බලපා තිබේ. මෙම ගැටලුව විසඳා ගැනීමට සහාය වීම සඳහා දැන් කෘත්‍රිම බුද්ධිය (AI) සූදානමින් සිටියි.

ආචාර්ය ස්ටීවන් වසිලෙස්කු සහ ඔහුගේ කණ්ඩායම විසින් නිපදවන ලද AI මෘදුකාංගයට, ඉහළ පුහුණුවක් ලත් පුද්ගලයෙකුට වඩා 1,000 ගුණයකින් වේගයකින්, දැඩි ලෙස වඳභාවයට පත් පිරිමින්ගෙන් ලබාගත් සාම්පලවල ශුක්‍රාණු හඳුනාගත හැකි බව ඔහු පවසයි.

“මනුස්සයෙක්, තමන් බලන් ඉන්නේ මොකක් දිහා ද කියලා වටහාගන්නත් කලින් සජීවී ශුක්‍රාණුවක් පැහැදිලිව පෙන්වන්න ඒකට පුළුවන්,” ඔහු පවසයි.

ආචාර්ය වසිලෙස්කු යනු ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි තාක්ෂණ විශ්වවිද්‍යාලයයේ ජෛව වෛද්‍ය ඉන්ජිනේරුවරයෙකු වන අතර, NeoGenix Biosciences නමැති වෛද්‍ය සමාගමේ නිර්මාතෘවරයා ය.

ඔහු සහ ඔහුගේ කණ්ඩායම නිෂ්පාදනය කරන ලද මෙවලම නම්කර ඇත්තේ SpermSearch යනුවෙනි.

ශුක්‍ර තරලයේ කිසිසේත් ශුක්‍රාණු නොමැති පිරිමින්ට (වඳභාවය සහිත පුරුෂයින්ගෙන් 10%කට) උපකාර කිරීම සඳහා එය නිර්මාණය කර ඇත.

Dr Steven Vasilescu, centre, and colleagues at UTS have developed an AI system to help quickly locate sperm
ඡායාරූප ශීර්ෂ වැකිය,ආචාර්ය ස්ටීවන් වසිලෙක්සු (මැද) සහ සිඩ්නි තාක්ෂණ විශ්වවිද්‍යාලයයේ ඔහුගේ සගයින් ඉක්මනින් ශුක්‍රාණු සොයා ගැනීමට උපකාරී වන AI පද්ධතියක් නිෂ්පාදනය කර තිබේ

සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවල දී, වෘෂණ කෝෂවල කුඩා කොටසක් ශල්‍යකර්මයකින් ඉවත්කර රසායනාගාරයකට ගෙන යනු ලබන අතර, එහිදී කළල විද්‍යාඥයෙකුට නිරෝගී ශුක්‍රාණු සෙවිය හැකි ය.

එහිදී, පටක වෙන් කර අන්වීක්ෂයකින් පරීක්ෂා කෙරේ. සජීවී ශුක්‍රාණු හමුවුවහොත් ඒවා නිස්සාරණය කර ඩිම්බයකට ඇතුළු කළ හැකි ය.

මෙම ක්‍රියාවලියට විවිධ සේවාවල නිරත කාර්යය මණ්ඩලයක් අවශ්‍ය වන අතර පැය හයක හෝ හතක කාලයක් ගතවනු ඇත. එමෙන් ම, විඩාවට පත්වීම හෝ දෝෂ ඇතිවීමේ අවදානමක් ද පවතින බව ආචාර්ය වසිලෙස්කු පවසයි.

“කළල විද්‍යාඥයෙක් අන්වීක්ෂයකින් බලද්දී ඔවුන්ට පේන්නේ අහසේ විසිරිලා තියෙන තරු වගේ සම්පූර්ණයෙන් ම ව්‍යාකූල විදිහට පෙනෙන සෛල සමුදායක්,” ඔහු පවසයි.

“ඒකෙ රුධිරය සහ පටක තියෙනවා. සම්පූර්ණ සාම්පලේම තියෙන්නේ ශුක්‍රාණු 10ක් විතර වෙන්න පුළුවන්. ඒත් වෙනත් සෛල මිලියන ගණනක් තියෙන්න පුළුවන්. ඒක හරියට පිදුරු ගොඩක ඉඳිකට්ටක් හොයනවා වගේ වැඩක්,” ආචාර්ය වසිලෙස්කු පවසයි.

ඔහු පවසන්නේ, ඊට සාපේක්ෂව, SpermSearch භාවිත කිරීමෙන් ශුක්‍රානු සාම්පලවල ඡායාරූප පරිගණකයට උඩුගත කළ විට වහා ම තත්පර කිහිපයකින් නිරෝගී ශුක්‍රාණු සොයාගත හැකි බව යි.

මෙම වේගවත්බව ළඟා කර ගැනීම සඳහා, ආචාර්ය වසිලෙස්කු සහ ඔහුගේ සගයෝ මෙම සංකීර්ණ පටක සාම්පලවල ඇති ශුක්‍රාණු හඳුනා ගැනීමට එවැනි රූප දහස් ගණනක් යොදමින් ඔවුන්ගේ AI පද්ධතිය පුහුණු කළහ.

පුහුණු කළල විද්‍යාඥයෙකුට වඩා SpermSearch දහස් ගුණයකින් වේගවත් බව පරීක්ෂණවලින් තහවුරු වූ බව සිඩ්නි තාක්ෂණ විශ්වවිද්‍යාලයයේ ජෛව වෛද්‍ය ඉන්ජිනේරු කණ්ඩායම විද්‍යාත්මක පත්‍රිකාවක් පළ කරමින් පවසා ඇත.

කෙසේ වෙතත්, SpermSearch යනු කළල විද්‍යාඥයින් වෙනුවට නිර්මාණය කරන ලද්දක් නොව, යම් ආකාරයක සහාය මෙවලමක් ලෙස ක්‍රියා කරන්නකි.

The SpermSearch system quickly identifies sperm, and draws a rectangle around them on the screen
ඡායාරූප ශීර්ෂ වැකිය,SpermSearch ඉක්මනින් ශුක්‍රාණු හඳුනාගෙන ඒවා කොටුකර පෙන්වයි

ශුක්‍රාණුවක් එවැනි වේගයකින් සොයාගැනීම ඉතා වැදගත් බව ආචාර්ය සාරා මාර්ටින්ස් ද සිල්වා පවසයි. “කාලය ඉතා වැදගත්‍,” ඩන්ඩී විශ්වවිද්‍යාලයයේ ප්‍රජනන සෞඛ්‍ය අංශයේ සායනික පර්යේෂිකාව පවසයි.

“ඩිම්බ එකතුවක් ඇති අයෙකු ඉන්නවා නම් සහ සංසේචනය කළ යුතු ඩිම්බ තියෙනවා නම්, ඒක කරන්න අපට තියෙන්නේ පුංචි කාලයක් විතර යි. මේ ක්‍රියාවලිය වේගවත් කරන එක ලොකු වාසියක්.”

පසුගිය දශක හතරක කාලය තුළ ශුක්‍රාණු පරිමාව අඩකින් අඩු වී ඇ තැයි පුළුල් ලෙස වාර්තා වන අතර, වඳභාවය වර්ධනය වෙමින් පවතින ගැටලුවක් බවට පත්ව තිබේ.

පිරිමි සරුභාවයට බලපා ඇති කරුණු සියල්ල බැඳී ඇත්තේ පරිසර දූෂණය, දුම්පානය, පෝෂණයෙන් අඩු ආහාර ගැනීම, අවශ්‍ය තරම් ව්‍යායාම නොකිරීම සහ අධික ක්ලමතය හෙවත් මානසික පීඩනය (stress) යන සාධක සමග ය.

ආචාර්ය මියුරිග් ගැලඝර් යනු වඳභාවය සහිත පිරිමි පුද්ගලයින්ට සහාය වන තවත් පර්යේෂකයෙකි.

බර්මිංහැම් විශ්වවිද්‍යාලයයේ පද්ධති ආකෘති නිර්මාණය සහ ප්‍රමාණාත්මක ජෛව වෛද්‍ය විද්‍යාව සඳහා වන මධ්‍යස්ථානයේ සහය මහාචාර්යවරයෙකු වන ඔහුගේ නව තාක්‍ෂණික මෙවලම මඟින් ශුක්‍රාණු වල්ගයන්හි වේගය සහ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමට රූප මෘදුකාංග භාවිත කරයි.

“වල්ගය නිරීක්ෂණය කිරීමෙන් නියැදියේ සෞඛ්‍ය සම්පන්නභාවය ගැන තොරතුරු ලබා ගන්න පුළුවන්,” ඔහු පවසයි. “මිනිත්තුවක වෙනසකින් ශුක්‍රාණුව පාරිසරික පීඩනය යටතේ තියෙන එකක් ද, මියයාමට ආසන්න එකක් ද, එහෙමත් නැත්නම් ජීවවිද්‍යාත්මක ඉඟිවලට ප්‍රතිචාර දක්වන එකක් ද කියලා තේරුම් ගන්න පුළුවන්.”

Dr Meurig Gallagher's fertility work focuses on looking at the health of a sperm's tail
ඡායාරූප ශීර්ෂ වැකිය,ආචාර්ය මියුරිග් ගලඝර්ගේ සාඵල්‍යතා පර්යේෂණ ශුක්‍රාණු වල්ගයේ සෞඛ්‍ය සම්පන්නභාවය කෙරෙහි අවධානය යොමු කරයි

මේ අතර, බෙල්ෆාස්ට් පදනම් කර ගත් සාඵල්‍යතා ආයතනයක් වන Examen සමාගම එක් එක් ශුක්‍රාණුවල DNA හානි හඳුනා ගැනීමට, ඒක ‘සිංගල් සෙල් ජෙල් ඉලෙක්ට්‍රෝෆොරෙසිස්’ ලෙස හඳුන්වන තාක්‍ෂණයක් භාවිතා කරයි.

මහාචාර්ය ෂීනා ලුවිස් සහ ඇගේ කණ්ඩායම මෙම තාක්ෂණය වැඩි දියුණු කරමින් සිටින්නේ වසර 20කට අධික කාලයක සිට ය.

කෙසේ වෙතත්, කෘත්‍රිම බුද්ධිය භාවිතයේ වර්ධනයන් උද්වේගකර මට්ටමක පැවතිය ද, වෛද්‍ය විද්‍යාව ඉදිරියට යන්නේ ඉතා සෙමින් බව, බෙල්ෆාස්ට්හි ක්වීන්ස් විශ්වවිද්‍යාලයයේ ප්‍රජනන වෛද්‍ය විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය සහ Examen සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලුවිස් පවසයි.

උදාහරණයක් වශයෙන්, SpermSearch මෘදුකාංගය සාධනය කිරීමේ මට්ටමක පැවතිය ද, එය අත්හදාබලා ඇත්තේ, රෝගීන් හත්දෙනෙකුට පමණි.

“තවමත් ඒකෙන් කිසි ප්‍රයෝජනයක් අරන් නෑ,” මහාචාර්ය ලුවිස් කියයි. “සංකල්ප සාධන අවස්ථාවේ ඉඳලා වෙළෙඳපොළට නිකුත්වීම දක්වා බොහෝවිට වසර දෙක සහ පහ දක්වා කාලයක් ගත වෙනවා.

“ඒකට දීර්ඝ ගමනක් යන්න තියෙනවා. ඒකෙන් ඉලක්ක කරන්නේ ශුක්‍ර තරලයේ ශුක්‍රාණු නැති පිරිමින්ගෙන් හැදුණු කුඩා කණ්ඩායමක්. ඔබට කරන්න පුළුවන් ඕනෑ ම දෙයක් අතිවිශිෂ්ට යි. ඒත් ඒක කවදාවක් ප්‍රධාන ධාරාවට යොමු වෙන්නෙ නෑ.”

නැවතත් සිඩ්නි නුවර වෙත අවධානය යොමු කළහොත්, ආචාර්ය වසිලෙක්සු පවසන්නේ ඔවුන්ගේ ප්‍රතිකාරය “අවසාන නැවතුම” වනු ඇති බව ය.

“ඒක ඩිම්බයක් සංසේචනය කිරීමත්, ප්‍රතිකාර නතර කිරීම යන දෙක අතර ඇති වෙනස වෙන්න පුළුවන්.

“අපට කළල විද්‍යාඥයෙක් වඩාත් කාර්යක්ෂම, වඩාත් නිවැරදි බවට පත් කරන්න පුළුවන් නම්, වෙනත් ආකාරවලින් ඔවුන්ට සොයාගත නොහැකි ශුක්‍රාණු ඔවුන් සොයාගනීවී. ඒකෙන්, තමාගේ ම ජීවවිද්‍යාත්මක දරුවන් ලැබීමට පිරිමින්ට අවස්ථාවක් ලැබෙනවා.”

සිඩ්නි තාක්ෂණ විශ්වවිද්‍යාලයයේ කණ්ඩායම ඔවුන්ගේ කෘත්‍රිම බුද්ධි මෘදුකාංගය සායනික පරීක්ෂණවලට යොමු කිරීමට අවධානය යොමු කර තිබේ. “මීළඟ පියවර සජීවී සැබෑ ගැබ්ගැනීමක්,” ආචාර්ය වසිලෙස්කු පවසයි.

මූලාශ්රය: බීබීසී

Translate