Home » ‘කොමඩු’ සහ පලස්තීන ධජය අතර ඇති සම්බන්ධය ඔබ දන්නවා ද?
Asia Featured Israel Middle East News

‘කොමඩු’ සහ පලස්තීන ධජය අතර ඇති සම්බන්ධය ඔබ දන්නවා ද?

“පලස්තීන ධජය එසවීම අපරාධයක් වන පලස්තීනය තුළ, පලස්තීන ධජයේ ඇති රතු, කළු, සුදු, කොළ වර්ණ ප්‍රදර්ශනය කිරීමට ඊශ්‍රායල හමුදාවලට එරෙහිව දෙපළු කරන ලද කොමඩු ඔසවන්නේ ය.”

මෙම පද, ඇමෙරිකානු කිවිඳියක වන අරසෙලී ගිර්මායිගේ කවියක් වන “ඕඩ් ටු ද වෝටර්මෙලන්”හි සඳහන් පද වන අතර, ඒවා පලස්තීනය වෙනුවෙන් සහාය දැක්වීමේ දී එම පළතුරේ ඇති සංකේතාත්මක අර්ථය හුවා දක්වයි.

රතු, කළු, සුදු සහ කොළ යනු කොමඩුවල පමණක් නොව පලස්තීන ධජයේ ද වර්ණ වන අතර, එම සංකේතය ලොව පුරා පලස්තීන හිතවාදී පාගමන්වල සහ ගාසා තීරයේ ඊශ්‍රායලය ගෙන යන නවතම ආක්‍රමණය මධ්‍යයේ සමාජ මාධ්‍ය පොස්ට්වල ද දැකිය හැකි වේ.

නමුත් කොමඩු රූපකය පිටුපස ඉතිහාසයක් තිබේ.

1967 අරාබි-ඊශ්‍රායල යුද්ධයෙන් පසු ඊශ්‍රායලය ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ බලය අල්ලා ගත් විට, එම ප්‍රදේශ පුරා පලස්තීන ධජය සහ එහි වර්ණ වැනි ජාතික සංකේත ප්‍රදර්ශනය කිරීම ඊශ්‍රායලය තහනම් කළේ ය.

Pro-Palestinian protest in Berlin
ඡායාරූප ශීර්ෂ වැකිය,බර්ලිනයේ දී, ගාසා තීරයට සටන් විරාමයක් ඉල්ලා රැස්ව සිටි මිනිස්සු පලස්තීන කොඩි ලෙළවමින්, කොමඩු ගෙඩියක පින්තූරයක් ද අතැතිව සිටියහ

ධජයක් රැගෙන යාම සාපරාධී වරදක් බවට පත්වීමත් සමග පලස්තීනුවෝ විරෝධතා දැක්වීමේ වෙනත් ආකාරයක් ලෙස කොමඩු පෙති භාවිත කිරීමට පටන්ගත්හ.

ඊශ්‍රායලය සහ පලස්තීනුවන් 1993 වසරේ දී ඔස්ලෝ ගිවිසුම නමින් අන්තර්වාර සාම ගිවිසුම් මාලාවක් අත්සන් කිරීමෙන් පසු, ගාසා තීරය සහ ඊශ්‍රායල අත්පත්කර ගත් බටහිර ඉවුරේ කොටස් පරිපාලනය කිරීම සඳහා නිර්මාණය කරන ලද පලස්තීන අධිකාරියේ ධජය ලෙස පලස්තීන ධජය පිළිගන්නා ලදී.

“වරක් පෙති කපන ලද කොමඩු රැගෙන යාම හරහා රතු, කළු සහ කොළ යන පලස්තීන වර්ණ ප්‍රදර්ශනය කිරීම හේතුවෙන් තරුණයින් අත්අඩංගුවට පත් වූ ගාසා තීරය තුළ, වරක් තහනම්ව තිබුණු ධජ ලෙලවන පෙළපාලි ඉදිරියට ඇදෙද්දී ඒ දෙපස සිටි හමුදා භටයෝ ඒ ගැන එතරම් උනන්දුවක් නොදැක්වූහ,” යනුවෙන් නිව් යෝර්ක් ටයිම්ස් මාධ්‍යවේදී ජෝන් කිෆ්නර් ඔස්ලෝ ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු වාර්තා කර තිබිණි.

මාස කිහිපයකට පසු, 1993 දෙසැම්බරයේ දී, මෙම වාර්තාවේ සඳහන් අත්අඩංගුවට ගැනීම් පිළිබඳව වූ ප්‍රකාශ සනාථ කළ නොහැකි බව සඳහන් කළ එම පුවත්පත, “ඊශ්‍රායල් රජයේ ප්‍රකාශකයෙකුගෙන් විමසූ විට, එවැනි සිදුවීම් සිදුවී තිබීමේ හැකියාව ප්‍රතික්ෂේප කළ නොහැකි බව පැවසීය,” යනුවෙන් ද සටහන්කර තිබුණි.

The Story of the Watermelon
ඡායාරූප ශීර්ෂ වැකිය,2007 වසරේ දී ඛලීඩ් හූරානි නම් කලාකරුවා Subjective Atlas of Palestine නම් ග්‍රන්ථය සඳහා කොමඩු පෙත්තක් පින්තාරු කළේ ය

එතැන් පටන්, චිත්‍ර ශිල්පීහු පලස්තීනුවන් වෙත සහයෝගීතාව ප්‍රකාශ කිරීම සඳහා කොමඩු ඇතුළත් චිත්‍ර නිර්මාණය කිරීමට පෙළඹුණහ.

ඉන් වඩා ත් ප්‍රසිද්ධ කලා කෘතියක් නිර්මාණය කරන ලද්දේ ඛලීඩ් හූරානි ය. 2007 වසරේදී ඔහු ‘Subjective Atlas of Palestine’ නම් ග්‍රන්ථය සඳහා කොමඩු පෙත්තක් පින්තාරු කළේ ය.

‘The Story of the Watermelon’ නමින් හැඳින්වෙන මෙම සිතුවම ලොව පුරා ප්‍රදර්ශය කෙරුණු අතර, 2021 මැයි මාසයේ දී ඊශ්‍රායල-හමාස් ගැටුම අතරතුර දී ඊට ඉහළ ප්‍රමුඛත්වයක් හිමිවිය.

මෙම වසර මුල දී කොමඩු නිරූපණයේ තවත් වැඩි වීමක් සිදුවිය. ජනවාරි මාසයේ දී ඊශ්‍රායලයේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍ය ඊතමාර් බෙන් ග්විර් විසින් පලස්තීන ධජ පොදු ස්ථානවලින් ඉවත් කරන ලෙස පොලිසියට උපදෙස් දෙමින්, ඒවා ලෙලවීම “ත්‍රස්තවාදයට සහාය දක්වන ක්‍රියාවක්” බව පවසන ලද අවස්ථාවේ, ඊශ්‍රායල විරෝධී පාගමන් අතරතුර කොමඩුවල රූප දර්ශනය විය.

ඊශ්‍රායල නීතිය මඟින් පලස්තීන ධජ තහනම් නොකරන නමුත් මහජන සාමයට තර්ජනයක් ඇතැ යි සලකන අවස්ථාවල දී ඒවා ඉවත් කිරීමට පොලිසියට සහ හමුදා භටයින්ට බලය හිමි වේ.

ජූලි මාසයේ ජෙරුසලමේ පැවති විරෝධතාවක දී ඊශ්‍රායල විරෝධතාකරුවෝ පලස්තීන ධජයේ වර්ණවලින් සමන්විත කොමඩු ගෙඩියක් හෝ “නිදහස” යන වචනය සහිත පුවරු ඔසවා ගෙන සිටියහ.

අගෝස්තු මාසයේ දී, අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ අධිකරණ ප්‍රතිසංස්කරණ සැලසුම්වලට විරෝධය දැක්වීම සඳහා ටෙල් අවිව්හි රැස්ව සිටි විරෝධතාකරුවෝ පිරිසක් කොමඩු රූප සටහන් සහිත ටී ෂර්ට් පැළඳ සිටියහ.

Protest in Jerusalem
ඡායාරූප ශීර්ෂ වැකිය,ජෙරුසලමේ දී, පෙලපාලිකරුවෝ කොමඩු ගෙඩියක් මඟින් පලස්තීන ධජයේ වර්ණ හෝ “නිදහස” යන වචනය සහිත පුවරු අල්ලාගෙන සිටියහ
Protest in Tel Aviv
ඡායාරූප ශීර්ෂ වැකිය,ටෙල් අවිව්හි විරෝධතාවල දී ද කොමඩු නිරූපණයන් දක්නට ලැබිණි

පසුගිය දා, ගාසා යුද්ධයට විරෝධය පළ කරමින් පළ වූ සමාජ මාධ්‍ය පොස්ට්වල කොමඩු සහ ඒවායේ නිරූපණ වැඩි වශයෙන් ප්‍රමුඛ ස්ථානයක් ගෙන ඇත.

උදාහරණයක් ලෙස, TikTokහි බ්‍රිතාන්‍ය මුස්ලිම් ප්‍රහසන ශිල්පිනියක වන ශුමිරුන් නිසා කොමඩු ෆිල්ටර් නිර්මාණය කර, ඒවා යොදාගනිමින් වීඩියෝ නිපදවන ලෙසට ඇගේ අනුගාමිකයින් දිරිමත් කළ අතර, ගාසා සඳහා උදව් කරන පුණ්‍යායතන සඳහා ඒ සියලු මුදල් ලබාදීමට පොරොන්දු විය.

ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින් පලස්තීන ධජවලට වඩා කොමඩුවල රූප පළ කරන්නේ, ඔවුන්ගේ ගිණුම් හෝ වීඩියෝ සමාජ ජාල මඟින් ඉවත් කළ හැකි බවට ඇති බිය නිසා විය හැකි ය.

පලස්තීන හිතවාදී පරිශීලකයින් අතීතයේ ඉන්ස්ටග්‍රෑම් වෙත “ෂැඩෝ බෑනින්” සම්බන්ධයෙන් චෝදනා කර ඇත. ඇතැම් පෝස්ට් වෙනත් පුද්ගලයින්ගේ ෆීඩ්වල නොපෙන්වීමට සමාජ මාධ්‍ය ආයතනය පියවර ගැනීම මින් අදහස් කෙරෙයි.

නමුත් බීබීසීයේ සයිබර් වාර්තාකරු ජෝ ටයිඩි පවසන්නේ, මෙය දැන් සිදුවන බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ය.

“පලස්තීන හිතවාදී පොස්ට් පළ කරන පරිශීලකයින් ෂැඩෝ බෑන් කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවක් පෙන්න නැහැ,” ඔහු පවසයි.

“මිනිස්සු සමාජ මාධ්‍ය පෝස්ට්වලට කොමඩු රූප යොදා ගන්නවා. ඒ වගේ ම ඔවුන් නිදහසේ පලස්තීන ධජය භාවිත කරමින් ගැටුම ගැන විවෘතවත් ලියනවා.”

පලස්තීනයේ දශක ගණනාවක් තිස්සේ, විශේෂයෙන් පළමු සහ දෙවන ඉන්ටිෆාඩාවල දී (පලස්තීන නැගී සිටීම්), කොමඩු දේශපාලන සංකේතයක් ලෙස සලකනු ලැබීය.

අද එය එම භූමිය පුරා ඇදහිය නොහැකි තරම් ජනප්‍රිය ආහාරයක් පමණක් නොව, පලස්තීනුවන්ගේ පරම්පරා ගණනාවකට සහ ඔවුන්ගේ අරගලයට සහාය දක්වන පිරිසට ප්‍රබල රූපකයක් බවට ද පත්ව තිබේ.

මූලාශ්රය: බීබීසී

Translate