Home » සමාජ මාධ්‍ය තුළ සමාජ විරෝධී වැඩකරන පුද්ගලයන්ට අනතුරු ඇඟවීමක්
Asia Featured News South Asia Sri Lanka

සමාජ මාධ්‍ය තුළ සමාජ විරෝධී වැඩකරන පුද්ගලයන්ට අනතුරු ඇඟවීමක්

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ (CCID) වයඹ පළාත් ඒකකය අද (14) වාරියපොලදී විවෘත කෙරුණි.

ඒ, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙනි.

විනිවිදභාවයක් ඇතිව ජනතා විශ්වාසය ගොඩනගා ගෙන මත්ද්‍රව්‍ය සහ පාතාලය මෙරටින් තුරන් කිරීමට ජනතාවගේ සහාය පොලීසිය වෙත ලබාගැනීමට අවශ්‍ය කරන සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු එහිදී පැවසීය.

ඒ අනුව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මත්ද්‍රව්‍ය මෙරටින් සම්පූර්ණයෙන් තුරන් කර දැමීමට මහජනතාව පොලීසිය සමග නැගී සිටිය යුතු බවය.

“සමාජ මාධ්‍ය දිහා බලපුවාම පේනවා.. ආගම්වලට අපහාස කරමින්, ජාතීන් අතර වෛරය ඇති කරමින්, එකිනෙකා අතර මරාගන්නා තත්ත්වයක් නිර්මාණය කරමින් ඉතාමත් පහත් ආකාරයේ භාවිතයන් තිබෙනවා කියලා.” 

“පහත් දේවල් සමාජ මාධ්‍ය තුළ පළකරන පුද්ගලයින් සම්බන්ධයෙන් ලංකාවේ ඕනෑම කෙනෙකුට තොරතුරු දෙන්න පුළුවන්. ක්ෂණිකව ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා.”

“පුද්ගලයන්ගේ චරිත ඝාතනය කිරීම, ප්‍රතිරූප විනාශ කිරීම, මඩ ගැසීම්වලට, ඉතාමත් පහත් ලෙස මේ සමාජ මාධ්‍ය යොදාගන්නවා.”

“ළමා අපචාර සහ අපයෝජන සඳහා අද ප්‍රධාන හේතුව වෙලා තිබෙන්නේ මේ සමාජ මාධ්‍ය හරහා කරන පෙළඹවීම්. ස්මාර්ට් ෆෝන් එක අද කුඩා දරුවන්ගේ අනාගතය විනාශ කරන තත්ත්වයට පත්වෙලා. මනස විකෘති කරන අසභ්‍ය දේවල් නරඹන්න පුරුදුවෙලා. දරුවන්ගේ විවේක කාලයෙන් 80%ක් වැය කරන්නේ ස්මාර්ට් ෆෝන් එකත් සමග කියලා හෙළිවෙලා තියෙනවා. මොනවා බලනවා ද කියලා දෙමව්පියෝ දන්නෙත් නැහැ. කවුරුත් දන්නෙත් නැහැ. මේ තත්ත්වය වෙනස් කරන්න පොලීසිය ඉදිරි පියවරක් තැබීම තමයි මේ සිදුවන්නේ.”

2024 වසරේ නව පාසල් වාරය ආරම්භ කිරීමෙන් පසු පාසල් දරුවන්, ගුරුවරුන් සහ දෙමව්පියන් දැනුවත් කරමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කරන බවද වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

මූලාශ්රය: අදදෙරණ

Translate