Home » දේශපාලනයෙන් සමුගත් කැමරන් යළි අමත්‍ය ධුරයක් භාර ගත්තේ ඇයි?
Europe Featured News Politics

දේශපාලනයෙන් සමුගත් කැමරන් යළි අමත්‍ය ධුරයක් භාර ගත්තේ ඇයි?

2016 බ්‍රෙක්සිට් ජනමත විචාරණයෙන් පසුව ඩව්නිං වීදියට සමුදුන් අවස්ථාවේ ඩේවිඩ් කැමරන් උපහාසාත්මකව ප්‍රකාශ කළේ, තමන් වරෙක අනාගතය වූ බව ය.

එය 2005 වසරේදී කොන්සර්වේටිව් නායකයා ලෙස වැඩ භාර ගැනීමෙන් ටික කලකට පසු එවකට අගමැති ටෝනි බ්ලෙයාර් සම්බන්ධයෙන් ඔහු විසින් ම කරන ලද විහිළුවක් පිළිබඳ උපහාසාත්මක සඳහනක් විය.

නමුත් දැන් හිටපු අගමැතිවරයා සත්‍ය වශයෙන් ම ආපසු පැමිණ තිබේ. ඒ, ජේම්ස් ක්ලෙවර්ලි වෙනුවට රිෂි සුනක්ගේ නව විදේශ ලේකම්වරයා ලෙස පුදුමසහගත ලෙස නැවතත් රජයට එකතු වෙමිනි.

මෙම පියවර වෙස්ට්මින්ස්ටර් පුරා දැඩි කතාබහක් ඇති කිරීමට තුඩු දී ඇති අතර බ්‍රිතාන්‍ය දේශපාලනයට එය කෙසේ බලපානු ඇති දැයි බොහෝ දෙනෙකු කුතුහලයට පත් කර ඇත.

බ්‍රෙක්සිට් ජනමත විචාරණය කැඳවා පසුව එය පරාජය වූ, තමන් විසින් ම තම අගමැති ධූරය අහිමි කර ගන්නා ලද පුද්ගලයාට විදේශ කටයුතු විෂය පථය භාර දීම සුනක් ගත් අවදානම්සහගත තීරණයක් බව පෙනේ.

එය සති කිහිපයකට පෙර, 1990 ගණන්වල මුල් භාගයේ සිට පැවති සෑම ආණ්ඩුවකට ම වඩා තමන් වෙනස් බව පැවසීමට උත්සහ ගනිමින් සිටි අගමැතිවරයෙකු ගත් අමුතු පියවරකි.

කැමරන් සාමිවරයා ලෙස දැන් සිට හඳුන්වනු ලබන පරිදි, ඔහු තම කැබිනට් ධුරය භාර ගැනීමට සාමි මන්ත්‍රී මණ්ඩලය වෙත යන බැවින් එම ප්‍රකාශය ගැන ඔහු නොසතුටට පත් වූ බවට වාර්තා පළ වී තිබිණි.

ඔහු මෑතකදී HS2 දුම්රිය ව්‍යාපෘතියේ උතුරු කොටස කපා හැරීමට සුනක් ගත් තීරණයට එරෙහිව ද හඬ නැගුවේ ය.

තම පත්වීම ලබා ගැනීමෙන් අනතුරුව සිදු කළ ප්‍රකාශයක ඔහු දැන් සඳහන් කරන්නේ, සුනක් විසින් ගන්නා ලද “සමහර තනි තීරණ” සමග තමා එකඟ නොවූවත්, ඔහු “ශක්තිමත් සහ දක්ෂ අගමැතිවරයෙකු” බව ය.

ඡන්ද විමසීම්වලින් කම්කරු පක්ෂයට වඩා විශාල ලෙස පසුපසින් සිටින කොන්සර්වේටිව් පක්ෂය ලබන වසරේ පවත්වනු ඇතැයි අපේක්ෂා කරන මහ මැතිවරණයට යොමු වන බැවින් “තිබිය හැකි ශක්තිමත් ම කණ්ඩායමේ” කොටසක් වීම තම අභිලාෂය බව ඔහු තවදුරටත් පැවසීය.

මැදපෙරදිග සහ යුක්රේනයේ විදේශීය අර්බුදවලට රජය මැදි වී සිටින අවස්ථාවක, වසර හයක කාලයක් ඔහු රජයේ ඉහළ තනතුරක කටයුතු කිරීම සුනක්ට සම්පතක් වනු නොඅනුමාන ය.

එහෙත්, ජෙරමි හන්ට් සහ මයිකල් ගෝව් වැනි දීර්ඝ කාලයක් සේවය කරන දේශපාලනඥයින් දැනටමත් කැබිනට් මණ්ඩලයේ සිටින බැවින්, වෙනසක් සඳහා වන බලවේගයක් ලෙස ඡන්ද දායකයින් ඉදිරියේ පෙනී සිටීම අගමැතිවරයාට වඩා ත් අපහසු විය හැකි ය.

එමෙන් ම, කැමරන් සාමිවරයා අගමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේ ඔහුගේ ම විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන ලක්ෂණයක් වූ චීනය සමග පැවති සබඳතාවල “ස්වර්ණමය යුගය” ගැන ටෝරි කොන්සර්වේටිව් පක්ෂයේ දේශපාලන කණ්ඩායම් අතර යම් නොසන්සුන්තාවක් ද ඇති විය හැකි ය.

ඩේවිඩ් කැමරන් නැවත රජයට පැමිණ ඇත්තේ, හිටපු අගමැතිවරයෙකු ලෙස ඉරිදා  පැවති [පළමුවන ලෝක සංග්‍රාමයේ ආරම්භයේ සිට යුද්ධ සහ අනෙකුත් හමුදා ගැටුම්වලින් මියගිය බ්‍රිතාන්‍ය හමුදා සාමාජිකයින්]  අනුස්මරණ උත්සවයට සහභාගී වී පැය කිහිපයකට පසුව ය
ඡායාරූප ශීර්ෂ වැකිය,ඩේවිඩ් කැමරන් නැවත රජයට පැමිණ ඇත්තේ, හිටපු අගමැතිවරයෙකු ලෙස [පළමුවන ලෝක සංග්‍රාමයේ ආරම්භයේ සිට යුද්ධ සහ අනෙකුත් හමුදා ගැටුම්වලින් මියගිය බ්‍රිතාන්‍ය හමුදා සාමාජිකයින්] අනුස්මරණ උත්සවයට සහභාගී වී පැය කිහිපයකට පසුව ය

වසර හතකට පෙර අගමැති ධුරයෙන් ඉවත් වූ දා සිට, කැමරන් සාමිවරයා සාපේක්ෂ වශයෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් වැළකී සිට ඇත. ඔහු 2019 වසරේදී මතක සටහනක් ඇතුළත් කෘතියක් නිකුත් කළ අතර ඇල්සයිමර් රෝගය පිළිබඳ වැඩිදුර පර්යේෂණ සිදු කරන ලෙස ඉල්ලා ව්‍යාපාරයක ද නිරත වී තිබේ.

කෙසේ වෙතත්, 2021 වසරේදී ඔහු අවධානයට ලක් වූයේ, මේ වන කඩා වැටී ඇති ග්‍රීන්සිල් කැපිටල් මූල්‍ය සමාගම සම්බන්ධයෙන් රජය ගන්නා තීරණවලට එහි වාසිය අරඹයා බලපෑම් කිරීම වෙනුවෙන් ඔහු ඉහළ වේතනයක් ලබා ගත් තනතුරක් හොබවා ඇතැයි අනාවරණ වූ අවස්ථාවේදී ය.

කොවිඩ් වසංගතය අතරතුර මෙම සමාගම වෙනුවෙන් දිගින් දිගට ම ඇමතිවරුන් වෙත කෙටි පණිවිඩ යැවීම සම්බන්ධයෙන් ඔහු දැඩි ලෙස විවේචනවලට ලක් විය.

තමන් සද්භාවයෙන් ක්‍රියා කළ බව පසුව ඔහු කියා සිටි නමුත් ලද අපකීර්තියෙන් “උගත යුතු පාඩම්” ඇති බව පිළිගත් බව ත්, තමාට වඩා විධිමත් ආකාරයකින් ඇමතිවරුන් සම්බන්ධ කර ගත යුතුව තිබූ බව ත් ඔහු පැවසීය.

කෙසේ වෙතත්, මන්ත්‍රීවරුන්ගේ කමිටුවක් ඔහුට “විචාරබුද්ධියකින් තොරව කටයුතු කළ” බවට චෝදනා කළේ ය.

සභාගය තුළ කනස්සල්ලක්

2010 මැතිවරණයේදී බහුතර බලයක් දිනා ගැනීමට අසමත් වීමෙන් පසුව, කැමරන් සාමිවරයා කොන්සර්වේටිව් පක්ෂය, නික් ක්ලෙග්ගේ ලිබරල් ඩිමොක්‍රට්ස් පක්ෂය සමග සභාගයකට ගෙන ගියේ, එක්සත් රාජධානියේ තනි-පක්ෂ ආණ්ඩුවක් සඳහා වූ සම්මතයට පිටුපාමිනි.

මූලික අපේක්ෂාවන් බිඳ දමමින්, ඔවුන්ගේ රජය බලාපොරොත්තු වූවාට වඩා හොඳින් ක්‍රියාත්මක විය.

එය පූර්ණ වශයෙන් වසර පහක කාල සීමාවක් සම්පූර්ණ කළ අතර අධ්‍යාපන පද්ධතිය, ජාතික සෞඛ්‍ය සේවය, ප්‍රතිලාභ පද්ධතිය සහ විශ්‍රාම වැටුප් ඇතුළු ක්ෂේත්‍රවලට විශාල වෙනස්කම් හඳුන්වා දුන්නේ ය.

කෙසේ වෙතත්, අයවැය හිඟය අඩු කිරීම අරමුණු කර ගෙන විශ්වවිද්‍යාල ගාස්තු ඉහළ දැමීම සහ රාජ්‍ය වියදම් විශාල වශයෙන් කප්පාදු කිරීම වැනි ජනප්‍රිය නොවන සභාග ප්‍රතිපත්ති හේතුවෙන් ලිබරල් ඩිමොක්‍රට්ස් පක්ෂය වෙත ලැබුණු සහයෝගය සැලකිය යුතු ලෙස ගිලිහී යාමත් සමග ආතතීන් මතු විය.

නමුත් ඒ, ඔහුගේ ම පක්ෂය තුළ ඉහළ යමින් පැවති විරෝධය සහ කැරලිකාර දක්ෂිණාංශිකයින් සමග ඇති සම්බන්ධය කළමනාකරණය කිරීමට අපොහොසත් වීම නිසා අවසානයේ එය ඔහුගේ වැටීමට හේතු විය.

කැමරන් සහ නික් ක්ලෙග් 2010 වසරේදී සභාග රජයක් පිහිටුවා ගත්හ
ඡායාරූප ශීර්ෂ වැකිය,කැමරන් සහ නික් ක්ලෙග් 2010 වසරේදී සභාග රජයක් පිහිටුවා ගත්හ

පුළුල්ව බැලූ කල, ඔහු අගමැති ධූරය දැරූ ජනමත විචාරණ දෙකක කතාවක් නියෝජනය කළේ ය.

2014 වසරේදී ස්කොට්ලන්ත ජාතිකයන් නිදහසට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ අවස්ථාවේ ඔහු ජයග්‍රාහී පර්ශයවයේ සිටියේ ය.

ඔහුගේ වැටීමට තුඩු දුන් 2013 වසරේදී එක්සත් රාජධානියේ යුරෝපා සංගමයේ සාමාජිකත්වය පිළිබඳ ජනමත විචාරණයක් කැඳවීම ඔහුගේ ම තීරණයක් විය.

මෙම තීරණය ගනු ලැබුවේ, කොන්සර්වේටිව් පක්ෂයට යුරෝපා සංගමය පිළිබඳ සංශයවාදී එක්සත් රාජධානි ස්වාධීනතා පක්ෂය හමුවේ සහය අහිමි වෙමින් පවතින අවස්ථාවක ය.

කැමරන් පළමු වරට අගමැතිවරයා ලෙස ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් අවස්ථාව: ‘ඔහු වරක් අනාගතය වුණා’

2015 මහ මැතිවරණයේදී ජනමත විචාරණයක් පිළිබඳ පොරොන්දු නොවූයේ නම්, යුරෝපය ගැටලුවක් වීමට ඉඩ නොතිබිණි. අවසානයේ යුකිප් පක්ෂයට දිනා ගැනීමට හැකි වූයේ එක් ආසනයක් පමණි.

යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ඡන්දය භාවිත කළහොත් ඇති විය හැකි ආර්ථික අවදානම ප්‍රධාන කොට ගනිමින් ඔහු එක්සත් රාජධානිය, යුරෝපා සංගමයේ තවදුරටත් සාමාජිකත්වය දැරිය යුතු බවට ගෙන ගිය නිල ව්‍යාපාරයේ පෙරමුණේ ඉදිරියෙන් මෙන් ම කේන්ද්‍රගතව සිටි නමුත් එහි ඍණාත්මක සහ ඇල්මැරුණු ස්වභාවයක් ඇති බවට විචාරකයින්ගෙන් චෝදනා එල්ල විය.

ප්‍රතිඵලය කුමක් වුවත් අගමැති ධුරයේ රැඳී සිටින බවට මැතිවරණ ව්‍යාපාරයේදී ඔහු ප්‍රතිඥා දී තිබුණ ද, ඔහු පරාජය පිළිගෙන ජනමත විචාරණයේ ප්‍රතිඵලය නිකුත් වූ දින උදෑසන සිය නිල නිවස පිටතදී ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළේ ය.

ගිම්හානයේ “යම් විරාමයකින්” පසුව, ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වන බවට ත් ඉදිරිපෙළ දේශපාලනයෙන් මුළුමනින් ම පාහේ ඉවත් වන බවට ත් නිවේදනය කළේ ය.

දැන් ඔහු තම වෘත්තීය ජීවිතය නව පරිච්ඡේදයකට ඇතුළු වන මොහොතේ බ්‍රෙක්සිට් වෙත ඡන්දය ප්‍රකාශ කළ සුනක් යටතේ බලය හිමි දේශපාලන චරිතයක් ලෙස නැවත වරක් කටයුතු කරනු ඇත.

මූලාශ්රය: බීබීසී

Translate