Home » අපේ තැඹිලි රට යවා මිලියන 140ක ආදායමක්
Economy Featured News South Asia Sri Lanka

අපේ තැඹිලි රට යවා මිලියන 140ක ආදායමක්

මෙම වසරේ ශ්‍රී ලංකාවේ තැඹිලි අපනයනය සියයට 117කින් ඉහළ ගොස් ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

මෙතෙක් වැවිලි භෝගයක් ලෙස වගා නොකළත් මෙරට වගා කර ඇති තැඹිලි සඳහා මේ වන විට ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතින බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. 2022 වසරේ තැඹිලි ගෙඩි මිලියන 11ක් අපනයනය කර ඉන් රුපියල් මිලියන 110ක ආදායමක් උපයා ඇති බව ද එම අධිකාරියේ වාර්තා අනාවරණය කරයි. එමෙන්ම මෙම වසරේ මෙතෙක් අපනයනය කර ඇති තැඹිලි ගෙඩි ප්‍රමාණය මිලියන 14කි. ඉන් උපයා ඇති ආදායම රුපියල් මිලියන 140කි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පෙරේදා (31) පොල් සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනය හා පොල් සංවර්ධන අධිකාරිය යන ආයතනවල නිලධාරින් සමඟ මෙරට පොල් වගාව සංවර්ධනය සඳහා ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග හා මෙතෙක් ලබා ඇති ප්‍රගතිය පිළිබඳ කළ සාකච්ඡාවේදී මෙම තොරතුරු අනාවරණය කෙරිණි.

ලබන වසරේදී අපනයනය ඉලක්ක කර ගත් තැඹිලි අපනයන වගා ආදර්ශ ගම්මානයක් ස්ථාපිත කිරීමට ද මෙහිදී යෝජනාවක් ඉදිරිපත් කෙරිණි.
මෙහිදී ඇමැතිවරයා අවධාරණය කළේ තැඹිලි වගාවක් වශයෙන් තවමත් අපේ රටේ ප්‍රචලිත වී නැති නිසා පාංශු පරීක්ෂාවක් සිදු කර තැඹිලි වගාවට උචිත ප්‍රදේශයක් හඳුනාගෙන එම ප්‍රදේශය තැඹිලි වගා අපනයන ආදර්ශ ගම්මානයක් ලෙස නම් කරන ලෙසයි. තැඹිලි වගාව ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළක් ලබන වසර තුළ ආරම්භ කරන්නැයි ද ඇමැති අමරවීර මහතා පොල් සංවර්ධන අධිකාරිය, පොල් පර්යේෂණායතනය හා පොල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරින්ට මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

දැනට අප රටේ වගාවට සුදුසු තැඹිලි ප්‍රභේදයක් හඳුනාගෙන නැති අතර තවමත් වගා කරන්නේ සාම්ප්‍රදායික ලෙස වගා කරන ලද තැඹිලි විශේෂය. ඉහළ රසයකින් යුක්ත හා ආකර්ෂණීය මෙන්ම කෙටි කලකින් ඵල දරන නව තැඹිලි විශේෂයක් හඳුන්වා දීම සඳහා පර්යේෂණ ආරම්භ කරන ලෙසත් ඇමැතිවරයා ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනයේ නිලධාරින්ට උපදෙස් ලබා දෙන ලදි.

මූලාශ්‍රය : දිනමිණ

Translate