Home » සිවුවන කාර්මික විප්ලවයට ලංකාව   තවම සූදානම් නෑ
Featured News South Asia Sri Lanka Technology

සිවුවන කාර්මික විප්ලවයට ලංකාව   තවම සූදානම් නෑ

ගෝලීයකරණය තුළ වර්තමාන ලෝකයේ රටවල් සපුරාගෙන ඇති ඉලක්ක  සහ  ඉදිරියේදී  මුහුණදීමට සිදුවන අභියෝග මොනවාද, ආර්ථික ගෝලීයකරණය  සංවර්ධනය වෙමින් පවත්නා රටවලට සහ සංවර්ධිත රටවලට බලපාන්නේ කෙසේද? විශේෂයෙන්, ශ්‍රී  ලංකාව මෙයට මුහුණ දෙන්නේ කෙසේද ? ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයීය  වාණිජ හා කළමනාකරණ පීඨයේ ජේ‍යෂ්ඨ  කථිකාචාර්ය ආචාර්ය දමයන්ති එදිරිසිංහ සමඟ කළ සංලාපයකි. ගෝලීයකරණය සම්බන්ධයෙන්  විවිධ අර්ථකථන ඉදිරිපත්  වෙනවා.  ඔබ ගෝලීයකරණය යන්න විග්‍රහ කරන්නේ කොහොමද?

ගෝලීයකරණය යනුවෙන් අදහස් කරන්නේ දේශ සීමාවලින් වෙන්වෙලා පවතින ජාතික රාජ්‍යයන් ආර්ථිකමය වශයෙන් සහ  ප්‍රාග්ධන හා මූල්‍ය ප්‍රවාහ ඔස්සේ එකිනෙකා ඒකාබද්ධ වී පවතින ස්වභාවය නැතහොත් එකී ආර්ථිකයන් ඒකාබද්ධ වීමේ ප්‍රවණතාව.

ඔබ පවසන්නේ ගෝලීයකරණ ක්‍රියාවලිය තුළ දැකිය හැක්කේ ආර්ථික පැතිකඩක් පමණක් බවද?

නැහැ ගෝලීයකරණයෙහි දකින්න පුළුවන් වන්නේ ආර්ථිකමය පැතිකඩක්  පමණක්ම නෙමෙයි. මෙය ආර්ථික පැතිකඩක් වගේම සංස්කෘතිය, දේශපාලනය සංකලනය වූ පැතිකඩක් වශයෙන් දකින්නට ලැබෙන දෙයක්.

ආර්ථික ගෝලීයකරණය ‐ (Economic globalization) යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

මෙය ඓතිහාසිකව පැවත එන ක්‍රියාවලියක්. මානව ශිෂ්ටාචාරයේ විවිධ අවධීන්හි මිනිසා විසින් හ¾දුන්වා දෙන ලද නොයෙකුත් නවෝත්පාදන තුළින්, ඒ වගේම තාක්ෂණික සංවර්ධනය තුළින් රටවල් අතර ආර්ථික සම්බන්ධතාව  ශක්තිමත් වුණා. විශේෂයෙන්ම වන 16 වන සියවස ආරම්භයේදී සහ 19 වන සියවස අග භාගයේදී ගෝලීයකරණයේ ප්‍රතිඵල වශයෙන් රටවල් අතර විවිධ සම්බන්ධතා ශක්තිමත් වුණා.

නමුත් වර්තමාන ගෝලීයකරණ ක්‍රියාවලිය මීට වඩා වෙනස් එකක්. වර්තමාන ගෝලීයකරණ ක්‍රියාවලිය තුළ අලුත් වෙළෙඳපළවල්, අලුත් මෙවලම්, අලුත් ක්‍රියාකාරකම්  හා අලුත් නීතිරීති පවතින පරිසරයක් දකින්න පුළුවන්. උදාහරණ වශයෙන් වර්තමානයේ විදේශ විනිමය හා සම්බන්ධ වන ප්‍රාග්ධන වෙළෙඳපොළ දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අන්තර්ජාලය, ජංගම දුරකථන ආදී  විවිධ මාධ්‍ය ජාලා  ඔස්සේ තොරතුරු ගලායෑමක් සිදුවෙනවා. ඒ විතරක් නෙවෙයි ජාතික රාජ්‍යයන් අභිභවා යන්න පුළුවන් විදිහේ අධිකාරි බලයක් තියෙන ලෝක වෙළෙඳ සංවිධාන වැනි තවත් ජාත්‍යන්තර ආයතන අද වෙනකොට බිහිවෙලා තියෙනවා.  ඒ වගේම  බහුජාතික සමාගම් බිහි වී තිබෙනවා. එපමණක් නෙමෙයි අන්තර්ජාතික රාජ්‍ය  නොවන සංවිධාන බිහිවෙලා තියෙනවා.

වර්තමානයේ මෙම ක්‍රියාවලිය තුළ වෙනසක් දක්නට ලැබෙනවාද?

 වර්තමානයේ ගෝලීයකරණ ක්‍රියාවලිය මූලික වශයෙන් තාක්ෂණය සහ ප්‍රතිපත්ති යන සාධක දෙක මත විශාල වශයෙන් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම  තාක්ෂණික සාධකය ගත් විට ප්‍රධාන වශයෙන්ම ප්‍රවාහන හා සන්නිවේදන පිරිවැය අඩුවීම නිසා ජාත්‍යන්තර නිෂ්පාදනය ඉතාමත් ඵලදායී කටයුත්තක් බවට පත්වෙලා තියෙනවා. විශේෂයෙන්ම මුහුදු මාර්ගයෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ පිරිවැය බැලුවොත් 1920-1990 අතර කාලය තුළ 70%කින් පහළ වැටිලා තියෙනවා. ඒ  වගේම ගුවන් ප්‍රවාහන පිරිවැය 1930 සිට 1994 කාලය තුළ සියයට 84%කින් පහළ වැටිලා තියෙනවා. ඒ වගේම පරිගණක භාවිතය වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම digital revolution එසේත් නැත්නම් තොරතුරු තාක්ෂණය සහ  සංඛ්‍යාංක විප්ලවය හේතුවෙන්  ගෝලීයකරණ ක්‍රියාවලිය මෑත කාලයේ ඉතාමත්ම ඉහළ  තැනකට ආවා.

බොහෝ රටවල් නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා?

විසිවන  සියවස අවසාන කාර්තුව වෙනකොට වෙළෙඳපොළ බලවේග ඔස්සේ මෙහෙයවනු ලැබූ ආර්ථික ක්‍රම කරා නැඹුරු වීමේ ප්‍රවණතාව ලෝකෙ පුරාම පැතිර ගියා. විශේෂයෙන්ම නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති බොහෝ රටවල  ක්‍රියාත්මක වුණා. නිර්බාධ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ ප්‍රතිඵලයක් වශයෙන් භාණ්ඩ හා සාධක වෙළෙඳපොළ තුළ  තිබෙන තරගකාරිත්වය වැඩි වෙලා නිෂ්පාදනය හා පරිභෝජනය වෙනතකට ගලාගෙන ගියා. එනම්  වෙනත් රටක සිටින පාරිභෝගිකයකුට ලෝකයේ ඕනම රටකට භාණ්ඩ පරිභෝජනය කිරීමේ  අවස්ථාව  ලැබුණා. ඒ වගේම නිෂ්පාදන ක්‍රියාවලිය  විකේන්ද්‍රණය වී තිබෙනවා.  එනම් යම්  භාණ්ඩයක නිෂ්පාදන ක්‍රියාවලිය විවිධ  අදියරයන්ට වෙන්කොට එම අදියරයන් වඩාත් කාර්යක්ෂමව නිපදවිය හැකි ස්ථානවලට නිෂ්පාදන ක්‍රියාවලිය විකේන්ද්‍රණය වී තිබෙනවා. ඒ  මාර්ගයෙන් නිෂ්පාදන පිරිවැය අඩු කර ගැනීමට හැකිව තිබෙනවා.

මේ සඳහා පදනම වැටුණේ  නිර්බාධවාදී ආර්ථික ප්‍රතිපත්තිය හේතුකොටගෙන අමුද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර සහ නොයෙකුත් සේවාවන් වඩාත් තරගකාරී මිලකට ජාත්‍යන්තරව ලබාගත හැකි වීම සහ ප්‍රවාහන පද්ධතියේ දියුණුව හේතුකොටගෙන සාධකමත යැපීමේ නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම වෙනස් වූ නිසා.

ගෝලීයකරණය විදේශ සේවා නියුක්තිය කෙරෙහි  බලපාන්නේ කොහොමද?

ගෝලීයකරණය තුළ ලෝකයේ  විදේශ සේවා නියුක්තිය වැඩි වෙලා තියෙනවා. විදේශීය මුදල් ප්‍රේෂණය ගෘහස්ථ ආදායම්වල ඇති වැදගත් සංරචකයක් වෙලා තියෙනවා.  මෙය බොහෝ රටවල්වලට ප්‍රධාන පෙළේ විදේශ විනිමය ඉපයීමේ මාර්ගයක් ලෙස අපිට දකින්නට පුළුවන්.

වර්තමානයේ ගෝලීයකරණයේ වඩාත් වාසි ලබා ගන්නේ කුමන රටවල්ද?

ලෝකයේ සංවර්ධිත රටවල්  මේ ගෝලීයකරණය තුළ ප්‍රාග්ධන ප්‍රවාහයෙන් වැඩි වශයෙන් වාසි  අත්පත් කරගත්තා. 1980 – 1995  කාලය තුළ ගෝලීය ප්‍රාග්ධන ප්‍රවාහයෙන් ලෝක දළ දේශීය නිෂ්පාදිතය සියයට 2%-6%ත් අතර ප්‍රමාණයක් වෙළෙඳපොළේ වර්ධනයක් අපිට දකින්නට පුළුවන්. 1995න් පසු කාලය තුළ 20%කට වඩා වැඩි ප්‍රමාණයකට ඉහළ ගියා. 2006 වර්ෂය අවසානය වනවිට ගෝලීය ප්‍රාග්ධන ප්‍රවාහයේ විශාලත්වය ඇමරිකානු ඩොලර් ටි්‍රලියන අටක් පමණ වුණා. මේකෙන් පෙනී යනවා ගෝලීයකරණයේ මූල්‍යමය ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සංවර්ධිත රටවල් ප්‍රමුඛත්වයක් ලබා ගත් බව. එනම් ගෝලීය ආර්ථිකය තුළ සංවර්ධිත රටවල් සතු ඓතිහාසික සහ ව්‍යුහාත්මක වාසි හේතුවෙන් මේ රටවල් වැඩිපුර ප්‍රතිලාභ ලබා ගන්නවා.තවත් උදාහරණයක් කිව්වොත් 2019 වර්ෂයේදී  යුරෝපා සංගමය ලෝක වෙළෙඳාමේ පරිමාවේ අගය ඩොලර් ටි්‍රලියන 2.3ක ප්‍රමාණයක් ඉක්මවූවා. ඒ වගේම මෙවැනි ලෝක අර්බුදකාරි තත්ත්වයකදී පවා ඇතැම් සංවර්ධිත රාජ්‍යයන් ස්ථාවර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට සමත් වුණා.

ඔබ කියන්නේ ගෝලීයකරණය සංවර්ධනය වන රටවලට අභියෝගයක් බවද?

බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් ගෝලීයකරණ ක්‍රියාවලිය තුළ ආන්තිකකරණයට (රටවල්   විවිධ ආකාරයේ  ආර්ථික සමාජීය පසුගාමී තත්ත්වයන්ට  මුහුණදීම) ලක් වී සිටිනවා. ඉහළ යමින් පවත්නා අසමානතාව තුළින් සමාජ ගැටුම් පෝෂණය වී තිබෙනවා. මේ තත්ත්වය ආර්ථික වත්කම් සහ සමාජ තත්ත්වයන් කරා අනුගතව තිබෙනවා, පැතිර පවතිනවා. එහෙම නැඟී එන දැනුම් තාක්ෂණය දැනුම් ආර්ථිකය (knowledge economy)වල ප්‍රතිලාභ අහිමි වෙලා තියෙනවා.  මේවායේ  ප්‍රතිලාභ ලබා ගන්නේ වෙනත් ධනවත් රටවල්. ගෝලීයකරණ ක්‍රියාවලිය මිනිසුන්ගේ ජීවිත කෙරෙහි අනාරක්ෂිත බවක් ඇති කොට තිබෙන ආකාරය විවිධ ස්වරූපයෙන් අපිට දැකිය හැකියි. මූල්‍ය හා ආර්ථික අනාරක්ෂිතභාවය, සේවා නියුක්තියේ හා ආදායම් මට්ටම්වල අනාරක්ෂිතභාවය, සංස්කෘතික අනාරක්ෂිතභාවය, පෞද්ගලික අනාරක්ෂිතභාවය, පාරිසරික අනාරක්ෂිතභාවය වගේම  දේශපාලනික අනාරක්ෂිතභාවය ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙනවා.

ගෝලීය මූල්‍ය වෙළෙඳපොළවල හටගෙන ඇති අස්ථාවර බව ශ්‍රී ලංකාවට අයහපත් ලෙස බලපාලා තියෙනවාද?

ඔව්. එය එසේ වුණා. ගෝලීය මූල්‍ය  වෙළෙඳපොළවල හටගෙන ඇති අහිතකර   තත්ත්වයෙන්  ශ්‍රී ලංකාවට අයහපත් ලෙස බලපෑමක්  සිදුකර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ණය බර ඉහළ  ගියා. අය-වැය හිඟය වර්ධනය වුණා, අපනයන  අඩු වුණා. මේ හේතුකොට ගෙන විදේශීය මූල්‍ය වෙළෙඳපොළවලින් ණය  ලබා ගැනීමට යෑමේදී ඉතාමත් අසතුටුදායක කොන්දේසිවලට මුහුණ දීමට සිදුවුණා.

ඒ වගේම තිරසර හා වේගවත් ආර්ථික වර්ධනය ශ්‍රී ලංකාවෙන් අෑත් වුණා. පහුගිය  වර්ෂ 70 තුළ ශ්‍රී ලංකා ආර්ථිකය වර්ධනය වෙලා තියෙන්නේ 4%ක් තරම් වූ සාමාන්‍ය අගයකින්. ඉහළ ආර්ථික වෘද්ධියක් අත්කරගෙන තියෙන්නෙ වසර කිහිපයකදී පමණයි. එක්දහස් නවසිය පනස් ගණන්වලදී ආර්ථිකය වර්ධනය වුණේ 3%ක පමණ වේගයකින්. නැවත 1960 ගණන්වලදී එය 4.7%ක් පමණ වුණා. එක්දහස් නවසිය හැත්තෑ ගණන්වලදී මෙම තත්ත්වය 3.9%ක් දක්වා පහළ බැස්සා. 1970 – 75 අතර කාලේ එය සියයට 3%ක් පමණ ආසන්න අගයක් ගත්තා. නැවත එක්දහස් නවසිය අසූ ගණන් වන විට එය 4.3% දක්වා ඉහළ නැග්ගා.   1990 විතර වෙනකොට එය  5.2% වශයෙන් තරමක් ඉහළ අගයක් වාර්තා කළා. 2010 – 2014 කාලය තුළ එනම්  නව සහශ්‍රකයේ ප්‍රථම දශකයේදී  ආර්ථික වර්ධනය 5%ක් පමණ වුණා. නැවත මෙය  2015-2018 අතර කාලය තුළ 3.5%ක පහළ  අගයකට වැටුණා. 2020 වර්ෂයේ මේ සංඛ්‍යාව සෘණ 4.62%, 2022 වන විට මෙය සෘණ 7.82% දක්වා වැඩි වුණා.

 මේ ආකාරයට ආර්ථික වර්ධනය  පහළ  බැසීමට හේතු වූ කාරණා මොනවාද?

විශේෂයෙන්ම මේ සඳහා බලපෑවේ ජනවාර්ගික සහ සිවිල් තත්ත්වයන්. ඒ ඇරුණුකොට එක්තරා ආකාරයකට ආර්ථික සංවර්ධනය අමතක කළ තත්ත්වයක් අපේ රට තුළ දකින්න පුළුවන්. මේ වෙනුවට දේශපාලනික සහ ආගමික කරුණු ගැන අවධානය යොමු කළා. මේ හේතුව නිසා ශ්‍රී ලංකා ආර්ථිකයට විවිධාකාරයේ බලපෑම් ඇති වුණා.  විශේෂයෙන් නිතර නිතර ආණ්ඩු වෙනස් වීමත් ඒ සමඟ ඇති වූ ප්‍රතිපත්ති වෙනස් වීමත් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ අවිනිශ්චිතතා හටගැනීම සිදු වුණා.

තවත් බොහෝ කාරණා මීට හේතු භූත වුණා. වෙළෙඳ අනුපාත අයහපත් වීම, ඉන්ධන මිල ගණන් ඉහළ යෑම, ගෝලීය මූල්‍ය අර්බුද, අසතුටුදායක දේශපාලනික සංවර්ධනය සහ  අපනයන ක්ෂේත්‍රයේ මන්දගාමී වර්ධනය ශ්‍රී ලංකා ආර්ථිකයේ පසුබෑමට ප්‍රබල ලෙසින් බලපෑවා.

ගෝලීය ආර්ථික පසුබෑම ගැන කතාකරන විට  සිවුවන කාර්මික විප්ලවයක් (4IR) ගැන සාකච්ඡා වෙනවා. සිවුවන කාර්මික විප්ලවය (4IR) කියන්නේ කුමක්ද?

සිවුවන කාර්මික විප්ලවය ලෙසින් හ¾දුන්වන්නේ, අන්තර්ජාලයේ සිදුවන දේවල් (internet of things), රොබෝ  විද්‍යාව අත්‍ය  යථාර්ථය (virtual reality), 3 D මුද්‍රණය, කෘත්‍රිම බුද්ධිය ‐ (AI- Artificial Inteligence), කඩාකප්පල්කාරී තාක්ෂණය- (Distuptive Technologies) ඔස්සේ අපගේ ජන ජීවිතය හා වැඩ ලෝකය පිළිබඳ වර්තමානයේ සිදුවෙමින් පවත්නා ශීඝ්‍ර වෙනස්කම්.

සිවුවන කාර්මික විප්ලවය සඳහා ශ්‍රී ලංකාව මුහුණදීමට සූදානම්ද?

තවමත් අප ඊට සූදානම් නැහැ. ලංකාව තවමත් කල් ගෙවන්නේ දෙවැනි කාර්මික විප්ලවය තුළ. මූලික වටයේදී සිවුවන කාර්මික විප්ලවයේ තාක්ෂණය බොහෝ සෙයින් පැන නඟිනුයේ පරිගණක හා අන්තර්ජාලයේ දේවල් ඇසුරෙන්. පහළ මට්ටමක පවත්නා පරිගණක සාක්ෂරතාව සහ අන්තර්ජාලයට ප්‍රවේශ වීමට ඇති බාධා සැලකිල්ලට ගත්තහම සිවුවන කාර්මික විප්ලවය තුළ නැඟී සිටීමට ශ්‍රී ලංකාවට තවමත් විශාල අභියෝගයක් තියෙනවා. සිවුවන කාර්මික විප්ලවය තුළින්  ආර්ථිකය, සමාජ ජීවිතය, සෞඛ්‍ය අධ්‍යාපනය, ජීවන රටාව රැකී රක්ෂාවල ස්වභාවය, නිපුණතා සංවර්ධනය වැනි සෑම ක්ෂේත්‍රයකම විතැන් කිරීම (paradigm shift) සිදුව තිබෙනවා.

මෙයත් සමඟ බැ¾දුණු ස්වයංක්‍රියකරණය හා රොබෝ විද්‍යාව මිනිස් ශ්‍රම හමුදාව ප්‍රතිස්ථාපනය (replace) කරමින්  පවතිනවා. දෛනික ජීවිතයේ ආර්ථික හා සමාජයේ පැතිකඩවලට නවීන තාක්ෂණය අන්තර්ග්‍රහණය කරගැනීමෙහිලා හිතකර වාතාවරණයක් නිර්මාණය කර ගැනීමට තවමත් ශ්‍රී  ලංකාවට හැකි වෙලා නෑ. එහිලා පවත්නා ව්‍යුහමය සහ ආයතනික ගැටලු හ¾දුනා ගැනීමත් ඒවා විසඳාගැනීම සඳහා සාර්ථක ක්‍රියාමාර්ග ගැනීමත්  ඉතාමත්ම අවශ්‍ය බව මා සිතනවා.

මූලාශ්‍රය : මව්බිම

Translate