Home » ජැක්සන් ඇන්තනි දිවියෙන් සමුගනී
Celebrity Entertainment Featured News Sri Lanka

ජැක්සන් ඇන්තනි දිවියෙන් සමුගනී

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනි මහතා ජීවිතයෙන් සමුගත් බව කණගාටුවෙන් යුතුව වාර්තාකරන්නට සිදුව තිබේ.
අනපේක්ෂිත වන අලි ප්‍රහාරයක් නිසා මාස 14කට ආසන්න කාලයක් කොළඹ ජාතික රෝහලේ ස්නායු දැඩි සත්කාර ඒකකයේ යන්ත්‍ර සමග සිරවී ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මියගිය බව අද තහවුරු විය.මිය යන විට 65 හැවිරිදි වියේ පසුවිය.

චිත්‍රපට සහ වේදිකා නාට්‍ය රැසකට රංගන දායකත්වය ලබා දී ඇති ජැක්සන් 1958 ජූලි 8 වැනිදා රාගම පොඩිවීකුඹුර උපත ලැබූවෙකි.
හපුගොඩ කනිෂ්ඨ විද්‍යාලය, බණ්ඩාරවෙල ශාන්ත මරියා විද්‍යාලය, ගණේමුල්ල ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය යන පාසල් වලින් අධ්‍යාපනය ලබා පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා විශේෂ උපාධියක් ලබා ගත්තේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ශාස්ත්‍රපති උපාධියක්ද ලබා ගත්තේය.

ජැක්සන්ගේ පවුලේ සහෝදරයන් පස් දෙනෙකි. වැඩිමහල් සහෝදරයා සේනක ටයිටස් ඇන්තනි 2017 දී වකුගඩු හා අක්මා අකර්මණ්‍ය වීම හේතුවෙන් මිය ගියේය. ඔහුගේ අනෙකුත් සහෝදරයන් වන්නේ සුදත් ඇන්තනි, සමන් ඇන්තනි සහ මොහාන් ඇන්තනි ය.

ජැක්සන් බිරිඳ  කුමාරි මුණසිංහ අකිල ධනුද්දර හා සජිත නම් පුතනුවන් දෙදෙන සහ මාධවී වත්සලා දියණිය කලාවට සම්බන්ධිතය.

ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ රංගනයට අමතරව අධ්‍යක්ෂක, නිෂ්පාදක, ගායක, තිර රචක, රූපවාහිනී පූරක, නවකතා රචක, තීරු රචක, ගීත රචක, ඉතිහාසඥ සහ සංචාරක යන අංශ තුළද සිය සහජ දක්ෂතා පිළිඹිමු කර ඇත. ජැක්සන්  හොඳම නළුවාට හිමි සම්මානය වාර්තාගත ලෙස දහසය වතාවක් දිනාගත් විශිෂ්ටයෙකි.
 ‘‘මෙතනින් මාරුවෙනු’’ නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට පැමිණි ඔහු‘‘මරාසාද්’’,“තාරාවෝ ඉගිලෙති’ , ‘‘මධුර ජවනිකා’’,‘‘ලෝම හංස’’, ‘‘ධවල බීෂණ’’, ‘‘අත්’’, ‘‘මෝරා’’, වැනි ජනප්‍රිය වේදිකා නාට්‍ය රැසක රඟපෑවේය.

ගුරු ගෙදර, චිත්ති, අයෝමා ,ලොකු දුව,භව දුක, භව කර්ම, ගිනි අවි සහ ගිනි කෙළි, අස්වැසුම, අග්නි දහය, සූරිය අරණ, මිල්ලේ සොයා සහ රන්දිය දහර ආදී චිත්‍රපට රැසක රඟපෑවේය.

පළිඟු මැණිකේ, ඇල්ල ලග වලව්ව, සුසීමා, වෙද හාමිනේ, කඩුල්ල, අකාල සන්ධ්‍යා, පිටගම්ගරයෝ ටෙලිනාටකවලද රගපෑවේය.
 “ඇසළ කළුවර”  ‘භූමිකා 7’  ‘‘දස්කොන්’’ වැනි ටෙලි නාටක අධ්‍යක්ෂකයටද දායක විය. ‘‘ජුලියට්ගේ භූමිකාව’’ හා පාරාදීසය,අබා, ඇඩ්‍රස් නෑ ඔහු විසින් අධ්‍යක්ෂණය කළ  චිත්‍රපටයි.

සිංහබාහු චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර 2022.07.02 දින  ජැක්සන් ඇන්තනී,  ඔහුගේ සොයුරු සමන් ඇන්තනි, සහ ඉරේෂ් ලක්මාල් නැමැති තරුණයෙක් සමග ගමන්ගත් මෝටර් රථය අනුරාධපුර – තලාව  මාර්ගයේ මොරගොඩ ජල ටැංකියට නුදුරින්  ප්‍රදේශයේ වල් අලියකුගේ සිරුරේ ගැටීමෙන් බරපතල අනතුරකට ලක්වී මෙම අනතුරට මුහුණ දුන්නේය.

බරපතල තුවාල සහිතව අනුරාධපුර රෝහලට ඇතුළත් කර එතැනින් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කළ අතර මාස 14ක කාලයක් ඔහු ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටියදී මෙලෙස මියගියේය.
අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

මූලාශ්රය: ඕපාදූප ප්රවෘත්ති

Translate