Home » ආරක්ෂක තත්ත්ව සමාලෝචනය පිළිබඳ ජනපතිගෙන් යෝජනාවලියක්
Asia Featured News Politics South Asia Sri Lanka

ආරක්ෂක තත්ත්ව සමාලෝචනය පිළිබඳ ජනපතිගෙන් යෝජනාවලියක්

ආරක්ෂක තත්ත්ව සමාලෝචනය පිළිබඳ ජනපතිගේ යෝජනාවලිය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

අභ්‍යන්තර ස්ථාවරත්වය පවත්වා ගැනීමට අමතරව වත්මන් කලාපීය පරිසරය කෙරෙහි ද මෙමඟින් අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.

රටේ ආරක්ෂාව පිළිබද ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ පළමු පියවර වන ‘ආරක්ෂක තත්ත්ව සමාලෝචනය -2030’ යෝජනාවලිය මෙසේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු කෙරෙන මූලධර්මවලට අනුකූලව අනාගත උපායමාර්ගික අභියෝගවලට මුහුණ දීම සඳහා වන විකල්ප ප්‍රතිපත්ති අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා මෙම සමාලෝචන වාර්තාව අවශ්‍ය බව වාර්තා වේ.

මෙම සමාලෝචනය තුළ 2030 දක්වා ගත යුතු පියවර මෙන්ම 2030 සහ ඉන් ඔබ්බට ගත යුතු පියවර යන කරුණු ද්විත්වයම ආවරණය කර ඇත.

ඒ අනුව,

ශ්‍රී ලංකාව සඳහා 2030 දී උපායමාර්ගික දැක්ම සහ අභියෝග
ශ්‍රී ලංකාවේ ආරක්ෂක අවශ්‍යතාව
2030 සඳහා ආරක්ෂක ප්‍රතිපත්තිමය අරමුණු
උපායමාර්ගික අභියෝගයට මුහුණ දීම සඳහා බල ඉරියව්ව සහ බල ව්‍යූහය
පවතින මූල්‍ය තත්ත්වය අනුව කඩිනම් අවශ්‍යතා සඳහා ප්‍රමුඛතාව ලබාදීම
 යන කරුණු සම්බන්ධයෙන් මෙහි දී සලකා බැලීමට නියමිතය.

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ආරක්ෂක ප්‍රතිපත්තියේ මූලධර්ම වූයේ, ශ්‍රී ලංකාවේ නිදහස හා ස්වෛරීභාවය ආරක්ෂා කිරීම, ඕනෑම හමුදා කණ්ඩායමක් සමඟ එකතු වීමෙන් වැළකීම, ඉන්දියන් සාගරයේ යුදමය ගැටුම් හෝ තරග වැළැක්වීම, ශ්‍රී ලංකාවට අහිතකර රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ට එරෙහිව සටන් කිරීම සහ ගෝලීය සාමය සහතික කිරීම යන්නයි.

පසුගිය දශකය අවසානය දක්වා ශ්‍රී ලංකාවේ උපායමාර්ගික අවධානය යොමු වූයේ, එල්.ටී.ටී.ඊයට සහ අනෙකුත් අභ්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම මඟින් රටේ අභ්‍යන්තර ආරක්ෂාව තහවුරු කර ගැනීම කෙරෙහි ය.

නමුත් අද වන විට ශ්‍රී ලංකාව සහ ඉන්දියන් සාගර කලාපය සඳහා වන උපායමාර්ගික පරිසරය වඩාත් සංකීර්ණ සහ අභියෝගාත්මක වෙමින් පවතින බව ද මෙම සමාලෝචනය තුළ සංවාදයට ගැනීමට නියමිතය.

අන්තර් සම්බන්ධිත භූ දේශපාලනික අභියෝග සමඟින් එක්සත් ජනපදය සහ චීනය අතර විශාල බල එදිරිවාදිකම් මෙන්ම චතුරස්‍රාකාර ආරක්ෂක සංවාද (Quadrilateral Security Dialogue – Quad) හා ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය අතර ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක ගිවිසුම (AUKUS) මතු වීම, රුසියාව සහ බටහිර අතර යුක්රේන යුද්ධය සහ දේශගුණික විපර්යාස යන කරුණු ද මෙරට ආරක්ෂක ප්‍රතිපත්තිය කෙරෙහි බලපා ඇති බව සඳහන්ය.

මෙම තත්ත්වයන් තුළ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ප්‍රතිපත්තිය මඟින් අභ්‍යන්තර ස්ථාවරත්වය පවත්වා ගැනීමට අමතරව වත්මන් කලාපීය පරිසරය කෙරෙහි ද අවධානය යොමු කිරීම අවශ්‍ය බව මෙමඟින් දක්වා තිබේ.

මූලාශ්‍රය: අදදෙරණ

Translate