Home » තවත් පොල් ත‍්‍රිකෝණයක් පිහිටුවයි
Asia Featured News South Asia Sri Lanka

තවත් පොල් ත‍්‍රිකෝණයක් පිහිටුවයි

ශ්‍රී ලංකාවේ අභිනව පොල් ත්‍රිකෝණය ලෙසින් ‘ උතුරු පොල් ත්‍රිකෝණය ‘ කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය පලෙයිහි ආදර්ශ පොල් වගා උයනේදී ආරම්භ කෙරිණි.

ලෝක පොල් දිනය සැමරුමට සමගාමීව ” උතුරට කප්රුක – උතුරු පොල් ත්‍රිකෝණය ” යන තේමාවෙන් යුතුව උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 ම පාදක කොට ගනිමින් යාපනය , මුලතිව් , මන්නාරම යන දිස්ත්‍රික්ක කේන්ද්‍රීයව මෙම උතුරු පොල් ත්‍රිකෝණය ආරම්භ කිරීම සිදුකෙරිණි.

එහිදී අදහස් දක්වමින් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙසේ සදහන් කළේය.

” පොල් ගසේ බොහෝ දේ ආහාර ආශ්‍රිත නිෂ්පාදන , කෘෂිකාර්මික යෙදවුම් ලෙස වූ නිෂ්පාදන , විසිතුරු අත්කම් භාණ්ඩ , වෙනත් උපයෝගීතා භාණ්ඩ නිෂ්පාදනයන් මෙන්ම බොහෝ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍යයක් ලෙසත් දේශීය නිෂ්පාදන ආර්ථිකය වගේම අගය එකතුකල නිෂ්පාදනයන් ලෙසින් අපනයන ආර්ථිකයත් ශක්තිමත් කරනු ලබනවා.

ශ්‍රී ලංකා භූමියෙන් 28 % ක පමණ භූමි වපසරියක ගෙවතු ආශ්‍රිත හා වතු වගාවන් ලෙසින් පොල් වගාව ව්‍යාප්තව තිබෙන අතර ඉතිහාසයේ වැඩිම පොල් ඵලදාව ලෙසින් 2022 වසරේ ගෙඩි බිලියන 3.2 ක ඵලදාවක් ලබා තිබෙනවා. එමෙන්ම පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය තුළින් පසුගිය වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 817ක  ආදායමක් උපයාගෙන තිබෙනවා.

පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයන්ට ලෝක වෙළෙඳපොලෙහි ඇති වී ඇති නව ප්‍රවණතාවයන් හා ඉල්ලුම මත එම ආදායම ප්‍රවර්ධනය කරගැනීම වෙනුවෙන් භූමි කළමනාකරණය , ජල කළමනාකරණය , පාංශු පෝෂක තත්වය වැඩිකිරීම , ඉහළ ඵලදාව සහිත දෙමුහුන් පොල් ප්‍රචලිත කිරීම , අගය එකතු කළ නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම අප කළයුතු වෙනවා.

මේ වනවිට මෙරට පොල් ආශ්‍රිත කර්මාන්තය ප්‍රවර්ධනයට වැවිලි කර්මාන්ත අමාත්‍යංශය බොහෝ වැඩකටයුතු කරමින් සිටිනවා. ඒ අතරින් 2022 වසරේදී අප පොල් පැළ මිලියන 6 ක් නිෂ්පාදනය කොට බෙදාහැරීම සිදුකලා. බ්‍රොන්ටිස්පා මර්ධනය , සුදුමැස්සා පාලනය ආදි වගා හානි කෘමි උවදුර මර්ධනය සහ පාලනය මෙන්ම වගාවට වැලදෙන රෝග වැලැක්වීමට කටයුතු කලා.

දෙමුහුන් බීජ පොල් පැළ නිෂ්පාදනය ඉහළ නැංවීම , ගෙදරට පොල් ගෙවත්තෙන් වැඩසටහන ක්‍රියාත්මක කිරීම ,ක්‍රමවත් වගාව යටතේ පොල්පැල සිටුවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම , පාලු පැල සිටුවීම පොල්පැල ලබාදීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම  වගේම පොල් ගස් ආරාක්ෂා කිරීම වෙනුවෙන් ගස් හෙලීමේ පනතට පොල් ගස ඇතුලත් කිරීමත් අප සිදු කළා. ඒ විතරක් නෙවි තවත් බොහෝ දේ අප සිදුකොට තිබෙනවා.

මෙලෙස ආරම්භ කරන උතුරු පොල් ත්‍රිකෝණය තුළින් අපි පොල් පැළ මිලියන 3ක් අලුතින් වගාකිරීම ආරම්භ කරනවා.

අපි Industry 2023 Jaffna Edition කර්මාන්ත ප්‍රදර්ශනය යාපනයේ පැවැත්වූවා. ඒ හරහා අපි උතුරේ කර්මාන්ත සංස්කෘතිය ප්‍රවර්ධනය කරන්න අපේක්ෂා කරනවා.අද අපි වගා කිරීම ආරම්භ කළ පොල්පැල වල අනාගත ඵලදාව වෙනුවෙන් අගය එකතුකිරීමේ නිෂ්පාදන කර්මාන්ත රැසක් උතුරේ ඇති කිරීමට යන කර්මාන්ත නවෝදය හරහා අපි ගෙන එනවා.

ඒ කර්මාන්ත නවෝදයට එකතුවෙන්න කියල මම හැමෝටම ආරාධනා කරනවා. ඊට අවශ්‍ය රාජ්‍ය යාන්ත්‍රණයේ සහයෝගය වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විදියට අප ලබාදෙනවා. මේ සියළුදේ හරහා අපේ අපේක්ෂාව ඉදිරි වසර 5ක් තුළ මෙරට පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2 දක්වා ඉහළ නංවා ගැනීමටයි.

ඉතින් ඒ සදහා අපි එකතුව මෙරට පොල් ආශ්‍රිත අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරමු ”

මූලාශ්‍රය: ලංකා පුවත්

Translate