Home » එළවළු හා පලතුරු පසු අස්වනු නාස්තිය අඩක්ම අඩු කරයි
Asia Featured News South Asia Sri Lanka

එළවළු හා පලතුරු පසු අස්වනු නාස්තිය අඩක්ම අඩු කරයි

මෙම වසර වන විට අප රටේ පලතුරු හා එළවළු ආශ්‍රිත පසු අස්වනු නාස්තිය සියයට 50කින් අවම කර ගැනීමට හැකි වී ඇතැයි පසු අස්වනු තාක්ෂණික ආයතනය කෘෂිකර්ම අමාත්‍යාංශයට වාර්තා කර ඇත.

මෙම වසරේ අයවැය මගින් වෙන් කරන ලද මුදල් ඉදිරි මාස දෙක තුළ වියදම් කිරීම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මේ ඉබව අනාවරණය වී තිබේ.

එහිදී පසු අස්වනු නාස්තිය අවම කර ගැනීම පිළිබඳ ප්‍රගති වාර්තාවක් පසු අස්වනු තාක්ෂණික ආයතනය විසින් ඉදිරිපත් කළේය.

2018 වර්ෂය තුළ මෙරට එළවළු හා පලතුරු ප්‍රවාහනයේ දී හා භාවිතයේ දී සියයට 40 ඉක්මවන ලද විශාල පසු අස්වනු නාස්තියක් සිදුවන බව වාර්තා විය. නමුත් මෙම වර්ෂය වනවිට එම නාස්තිය ඇතැම් එළවලු හා පලතුරුවලින් සියයට 50කින් පමණ අඩු කර ගැනීමට හැකිවි තිබේ.

එයට ප්‍රධාන හේතුව නම් එළවළු හා පලතුරු අස්වනු නෙලීමේ දී තාක්ෂණික උපක්‍රම යොදා ගැනීම මෙන්ම ඒවා ප්‍රවාහනයේ දී ආරක්ෂිත ඇසුරුම් භාවිතා කිරීමට ගොවීන් පෙළඹීමයි. මේ සඳහා මෙවර අයවැයෙන් රජය ලබා දී ඇති මුදල රුපියල් මිලියන 45කි.

අප රටේ වාර්ෂික එළවළු හා පලතුරු පසු අස්වනු නාස්තිය මෙට්‍රික් ටොන් 270,000ක් බව අනාවරණය වී ඇති අතර වාර්ෂිකව සිදුවන නාස්තියේ වටිනාකම රුපියල් බිලියන 20ක් පමණ වේ.

මූලාශ්‍රය : ලංකා නිවුස්

Translate