Home » බාර් 100ක හොර ස්ටිකර් අරක්කු බෝතල් – බුද්ධික පතිරණ කියයි
Asia Crime Featured News South Asia Sri Lanka

බාර් 100ක හොර ස්ටිකර් අරක්කු බෝතල් – බුද්ධික පතිරණ කියයි

දිවයින පුරා දිස්ත්‍රික්ක රැසක සුරාසල් 100 කට වැඩි ප්‍රමාණයකින් ව්‍යාජ ආරක්‍ෂිත ස්ටිකර් යෙදූ මත්පැන් බෝතල් හමුවී ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඊයේ (23දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. මෙම ව්‍යාජ ස්ටිකර් යෙදූ මත්පැන් බෝතල් හමුවී ඇත්තේ යාපනය, ගාල්ල, නුවරඑළිය හා රත්නපුර ඇතුළු දිස්ත්‍රික්ක රැසකින් බව ද මන්ත්‍රීවරයා කීය.

මුදල් රාජ්‍ය ඇමැතිවරයා වෙත කරුණු දැක්වූ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා කීවේ ව්‍යාජ ස්ටිකර් ජාවාරම පිටුපස සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් දෙදෙනකු සිටින බවයි. ඒ ගැන ස්වාධීන පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ද මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, ‘මේ ව්‍යාජ ස්ටිකර් බෙදාහැරල තියෙන්නේ කොච්චිකඩේ ප්‍රදේශයේ නිවසකින්. ඒ නිවස දැනට අයිති සුරාබදු දෙපාර්තමේන්තුවේ කටයුතු කරන අධිකාරිවරයකුටයි. ඒ වගේම පාසිකුඩා වැටලීමකට ගිය සුරාබදු නිලධාරීන්ට වැටලීම සිදුනොකර එන්න කියලා තියෙන අනික් නිලධාරියා දෙපාර්තමේන්තුවේ ආදායම් අංශයේ ඉහළ නිලධාරියෙක්. මේ ගැන ස්වාධීනව සොයන්න කියලා ඉල්ලා සිටිනවා.’

මත්පැන් බෝතල් මත ස්ටිකර් ඇලවීම 2016 අයවැය යෝජනාවක් මත ක්‍රියාත්මක වන බවත් මෙය ක්‍රියාත්මක වීමෙන් සුරාබදු ආදායම බිලියන 19 කින් ඉහළ ගොස් මත්පැන් නිෂ්පාදනය සියයට 11 කින් ඉහළ ගිය බවත් පිළිතුරු කතාව කරමින් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. කොහොම නමුත් මේ වනවිට ස්ටිකර් පිළිබඳව රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් පරීක්‍ෂණයක් සිදුකර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්‍ෂණයක් සිදුකරන බව ද ඒ මහතා කීය.

මූලාශ්‍රය : දිවයින

Translate