Home » ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සීඝ්‍රයෙන් රට හැර යන්නේ ඇයි?
Asia Featured News South Asia Sri Lanka

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සීඝ්‍රයෙන් රට හැර යන්නේ ඇයි?

රටේ පවතින ආර්ථික තත්ත්වය මත දිනෙන් දින වෘත්තිකයින් රට හැර යාමේ ප්‍රවණතාවයක් පවතී. ඒ අතරින් විශේෂඥ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය වෘත්තිකයින් විදේශ ගතවීම සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ.

මෙරට සෞඛ්‍ය කේෂ්ත්‍රයට එය විශාල ගැටලුවක් බවට පත්වන්නේ ඉදිරියේ දී මෙරට තුළ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන්ගේ හිඟය විසඳාගත නොහැකි ප්‍රශ්නයක් විය හැකි බවට මේ වන විට සමාජයේ මතයක් නිර්මාණය වෙමින් පවතින පසුබිමක් තුළයි.

විගණන වාර්තාවෙන් හෙළි වන්නේ කුමක්ද?

“ශ්‍රී ලංකාවේ ශක්තිමත් සහ සුවපහසු ජාතික මහජන සෞඛ්‍ය පද්ධතිය” මැයෙන් විගණකාධිපති කාර්යාලය මෙම වසරේදී එලි දැක්වූ විගණන වාර්තාව අනුව මෙරට විශේෂඥ වෛද්‍ය සේවය සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය කර ඇත.

සෑම දිස්ත්‍රික්කයකම සෑම රෝගයකටම විශේෂඥ වෛද්‍යවරුන් සිටී නම් ජාතික රෝහල්වල මෙන්ම අනෙකුත් ප්‍රධාන රෝහල්වල ද තදබදය ඉවත් කළ හැකි බවත් එම වාර්තාවේ සඳහන් වේ.

එය එසේවුවද, එක් එක් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයන්හි විශේෂඥයින් නොමැති වීම සහ ප්‍රමාණවත් නොවීම නිරීක්ෂණය වී ඇති බව ජාතික විගණන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

‘නීතියෙන් බාධාවක් නැහැ’

වෛද්‍යවරුන් රට හැර යාම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේ ආයතන සංග්‍රහය තුළ සේවයේ යෙදී සිටින වෛද්‍යවරයෙකුට සේවයෙන් ඉවත්ව යෑම සඳහා නීතියෙන් ඉඩකඩ ලබාදී ඇති බවයි.

” මේක නීති දාලා, බය කරලා, නාස් ලණු දාලා නතර කරන්න බැහැ. එකක් තමයි ඕනෑම කෙනෙක්ට යන්න පුළුවන් නේ.”

“යන කෙනාට යන්න අයිතිය තියනවා. ඒක නතර කරන්න බැහැ. ඒක අයිතියක් සහ ඒකට නීතිමය ප්‍රතිපාදනත් තියනවා නේ. ආයතන සංග්‍රහයේ තියෙනවා නෝපේ ලීව් දාලා යනවනම් කොහොමද, රිසයින් වෙලා යනවනම් කොහොමද කියලා ප්‍රතිපාදන තියෙනවා.”

“රිසයින් වෙලා යනවනම් ගෙවලා යන්න ඕන. බොහොම සුළු පිරිසක් තමයි ඔය නොදන්වා සේවයෙන් ඉවත්ව යන්නේ. ඒකට එයාලට හේතු තියනවා.” ඔහු පැවසුවේය.

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සීඝ්‍රයෙන් රට හැර යන්නේ ඇයි?

වෛද්‍යවරුන් කොපමණ සංඛ්‍යාවක් රට හැර ගොසින්ද?

මේ වන විට විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් දහසකට අධික සංඛ්‍යාවක් ඉකුත් වසරක කාල සීමාව තුළ මෙරට වෛද්‍ය සේවයෙන් ඉල්ලා අස්වී විදෙස් ගතව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ ය.

වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා ගත් තොරතුරු අනුව එම දත්ත හෙළිවූ බවය.

එම දත්ත අනුව, 2022 වසරේ ජුනි මස 01 වැනිදා සිට මෙම වසරේ මැයි මස 31 වැනිදා වන විට විශේෂඥ වෛද්‍යවරුන් 274 දෙනෙකු සේවයෙන් ඉල්ලා අස්වී රටින් පිටව ගොස් ඇත.

එමෙන්ම එම කාල සීමාව තුළදී ශ්‍රේණි වෛද්‍යවරුන් 842 දෙනෙකු ද සේවයෙන් ඉවත්ව විදෙස් ගතව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා රටින් පිටව ගොස් ඇති වෛද්‍යවරුන් සංඛ්‍යාව 660 දෙනෙකු බවට සඳහන්ව ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා රටින් පිටව ගොස් ඇති වෛද්‍යවරුන් අතරින් කොපමණ පිරිසක් නැවත රටට පැමිණේදැයි නිශ්චිතව පැවසිය නොහැකි බවයි.

“ඔය ගිය පිරිසෙන් කීදෙනෙක් ආපහු එයිද කියලා අපිට හරියටම කියන්න බැහැ.”

“ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය අපිට දුන්න තොරතුරුවල සඳහන් වෙනවා ලංකාවෙන් ගියපු ශ්‍රේණි වෛද්‍යවරුන් ගණන 842ක් කියලා. “

“නමුත් පසුගිය අප්‍රේල් මාසයෙන් පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදුන් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් 1300ක ප්‍රමාණයෙන් පත්වීම් ලබා ගන්න වෛද්‍යවරුන් 250 කට ආසන්න සංඛ්‍යාවක් පැමිණියේ නැහැ. ඒ කියන්නේ ඔවුන් සිස්ටම් එකේ නැහැ කියන එක. මේ ගණන සෞඛ්‍ය අමාත්‍යාංශය දුන් දත්ත වල ඇතුළත් නැහැ.” ඔහු පැවසුවේ ය.

වසරකදී සේවයට එක්වෙන වෛද්‍යවරුන් සංඛ්‍යාව කොපමණ ද ?

සරසවි අධ්‍යාපනයෙන් පසුව වාර්ෂිකව මෙරට සෞඛ්‍ය සේවයට වෛද්‍යවරුන් ලෙස එක් වන වෛද්‍යවරුන් සංඛ්‍යාව 1500-1800ක් පමණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එමෙන්ම වාර්ෂිකව ‍සේවයෙන් විශ්‍රාම යන වෛද්‍යවරු සංඛ්‍යාව 200-300ත් අතර වන බව ද එම සංගමය අනාවරණය කළේය.

මේ වන විට විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් දහසකට අධික සංඛ්‍යාවක් ඉකුත් වසරක කාල සීමාව තුළ මෙරට වෛද්‍ය සේවයෙන් ඉල්ලා අස්වී විදෙස් ගතව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ ය.
ඡායාරූප ශීර්ෂ වැකිය,මේ වන විට විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් දහසකට අධික සංඛ්‍යාවක් ඉකුත් වසරක කාල සීමාව තුළ මෙරට වෛද්‍ය සේවයෙන් ඉල්ලා අස්වී විදෙස් ගතව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ කුමක් ද?

සෞඛ්‍ය අමාත්‍යංශයේ තෘතීක සත්කාර සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු බීබීසි සිංහල වෙත සඳහන් කළේ පශ්චාත් උපාධි අධ්‍යනය සඳහා රටින් පිටව යන වෛද්‍යවරුන් නැවත මෙරටට පැමිණ අනිවාර්යෙන් සේවයේ යෙදීය යුතු බවයි.

“සාමාන්‍යයෙන් උසස් අධ්‍යාපනය හදාරනු ලබන වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. එහි කොන්දේසි 20ක් ඇතුළත්.”

“මේ ගිවිසුම අනුව එක් කොන්දේසියක සඳහන් වනවා පශ්චාත් උපාධි අධ්‍යනය සඳහා වසරක කාලයක් විදේශ ගතව අධ්‍යාපනය හදාරන වෛද්‍යවරයෙක් නැවත ලංකාවට ඇවිල්ලා වසර හතරක කාලයක් සේවයේ යෙදෙන්න ඕන. “

“ඒ වගේම වසර දෙකක් විදේශ ගතවුණා නම් වසර 08ක් මෙරට සේවයේ යෙදෙන්න ඕන.”

“නමුත් 2022 වසරේ ජනවාරි 09 වෙනිදා ඉදලා මේ වසරේ ජුලි මස 31 වෙනිදා වන විට පශ්චාත් උපාධි අධ්‍යාපනය සඳහා විදේශ ගත වු වෛද්‍යවරුන් 343 දෙනෙකු නැවත ලංකාවට ඇවිත් තිබෙනවා. නමුත් ඉන් වෛද්‍යවරුන් 108ත් – 120ත් අතර පිරිසක් නොදන්වා රටින් පිටව ගොස් තිබෙනවා.” වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු පැවසුවේ ය.

මේ අතර නොදන්වා සේවය අත්හැර යන වෛද්‍යවරුන් අසාදු ලේඛණ ගත කිරීමට ආයතන සංග්‍රහයෙන් මෙන්ම රාජ්‍ය සේවා කොමිෂන් සභා කාරක පටිපාටි සංග්‍රහයෙන් පැහැදිලිව කරුණු සඳහන් කර ඇති බැවින් එම නීතියට අනුව කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතීක සත්කාර සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ ය.

” ශ්‍රී ලංකාව තුළ අසාදු ලේඛණ ගත කරනු ලැබූ වෛද්‍යවරයකු විදෙස් රටක සේවය කිරීම කෙතරම් සදාචාර සම්පන්නදැයි” මෙහිදී ඔහු වැඩිදුරටත් විමසා සිටියේ ය.

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සීඝ්‍රයෙන් රට හැර යන්නේ ඇයි?

වෛද්‍යවරු රට හැර යන්නේ ඇයි?

මීට සති දෙකකට පමණ ඉහත දී නොදන්වා සේවයෙන් ඉවත්ව විදේශ ගත වූ බව පැවසූ හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයා සේවයෙන් ඉල්ලා අස්වීම සඳහා සිය ලිපි ගොනුව භාරදී ඇත්තේ මීට මාස තුනකට පෙර බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේය.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ ඊට අදාළ නිසි කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුනොකිරිම හේතුවෙන් අදාළ වෛද්‍යවරයා විදෙස්ගතව ඇති බවයි.

වෛද්‍යවරුන් රට හැර යෑම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය දිගින් දිගටම අදහස් දැක්වුවත් වෛද්‍යවරුන් එවැනි තීරණයක් ගැනීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් කිසිදු අදහසක් නොදක්වන බවද ඔහු පැවසුවේය.

“දැනට විශේෂඥ වෛද්‍යවරුන් 200-300ක් රටින් ගිහිල්ලා කියන්නේ එය සමස්තයක් විදිහට 15%ක් විතර. තාම 85% ක පිරිසක් රට ඇතුළේ ඉන්නවා.

ශ්‍රේණි වෛද්‍යවරුන් 20,000ක ප්‍රමාණයෙන් 1,200ක් විදේශ ගතවෙලා ඉන්නවා කියමු. නමුත් මේ ඉන්න පිරිස රඳවා ගන්න ක්‍රමයක් හිතන්න ඕන. වැටුප් ප්‍රශ්න තියෙනවා, වෛද්‍යවරුන්ගේ නිල නිවාස ගැටලු තියෙනවා. ඒ ප්‍රශ්න විසඳුවා නම් මේකට උත්තර ලැබෙනවා.”

“අපි මේ ගැන රජයට යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒ ගැන කිසිම දැක්මක් නැහැ.” වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ ය.

විදේශ රටවල සේවයට යන්න සුදානමින් සිටින වෛද්‍යවරුන් ගැනත් අනාවරණයක්

විදේශ රටවල වෛද්‍ය සේවයේ යෙදීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ලීමේ විභාගයන් සඳහා පෙනී සිට සමත්වූ වෛද්‍යවරුන් පන්දහසක් පමණ මේවන විට රට තුළ රැඳී සිටින බවද බීබීසී සිංහල කළ සොයා බැලීමේදී අනාවරණය විය.

“වෛද්‍යවරයෙකුට එක්වරම ගිහින් විදේශ රටක සේවයේ යෙදෙන්න බැහැ. ඒ වෙනුවෙන් අදාළ රටේ පවත්වන සුදුසුකම් සපුරා ලීමේ විභාගයකට පෙනී සිටින්න ඕන.”

“ඒ වගේ අපේ රටේ වෛද්‍යවරුන් පන්දහසක් පමණ ඉන්නවා ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ මැදපෙරදිග වැනි රටවල විභාග වලට පෙනී ඉදලා සුදුසුකම් ලැබූ. ඔවුන් කුමන මොහොතක හෝ රටින් පිටව යන්න පුළුවන්.”

“ඒ වගේම මෙම විභාගවලට පෙනී ඉන්න විශාල වෛද්‍යවරුන් පිරිසක් උනන්දුවෙන් ඉන්නවා. උදාහරණයක් විදිහට අදාළ රටවල පවත්වන විභාග සඳහා ශ්‍රී ලංකා වෛද්‍යවරුන් සඳහා වෙන් කළ කෝටාව ඉදිරි මාස 04ට සම්පුර්ණ වෙලා අවසන්.”

“ එංගලන්තයේ සෞඛ්‍ය සේවයෙත් මේ වෙද්දී විශාල පුරප්පාඩු ප්‍රමාණයක් තිබෙනවා. ඒකට හේතුව ඒ රටේ වෛද්‍යවරුන් ඕස්ට්‍රේලියාව, මැදපෙරදිග රටවලට යනවා. මේ නිසා ලංකාවේ වෛද්‍යවරුන්ට එරටින් විශාල ඉල්ලුමක් තිබෙනවා. මොකද ඒ රටවල ලංකාවේ වෛද්‍යවරුන්ට තියෙන්නේ හොඳ පිළිගැනීමක්.” ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මූලාශ්රය: බීබීසී

Translate