කන්ද උඩරට දළදා පෙරහැර සෑම වර්ෂයක දී ම පාහේ අගෝස්තු මාසයේ දී විශාල සංචාරක ආකර්ෂණයක් දිනා ගන්නා සංස්කෘතික අංගයකි. සතර මහා දේවාල පෙරහැර සහ දළදා මාලිගාවේ දළදා කරඬුව ඇතෙකු පිටින් වඩමවන පෙරහැරද සමග දැවැන්ත ඇසළ පෙරහැර මංගල්‍යය සෑම වර්ෂයක දී ම පැවැත්වේ.
මෙම පෙරහැර මංගල්‍ය වඩාත් සංචාරක ආකර්ෂණය ලබා ගන්නා උත්සවයක් වීමට එහි ගමන් කරනා අලි ඇතුන් හේතුවක් වී තිබේ. වනාන්තරයකින් පිටත වැඩිම අලි ඇතුන් සංඛ්‍යාවක් එකම ස්ථානයක දී දැකගත හැකි වීම එයට හේතුවයි.
පෙරහැරට අලි ඇතුන් සම්බන්ධ කර ගැනීම පිළිබඳව සත්ව හිංසාවට එරෙහි ක්‍රියාකාරීන්ගේ දැඩි ලෙස විවේචනයට ලක්වන අතර බෞද්ධ සංස්කෘතික උත්වසයකට එලෙස දම්වැල් යොදා ගනිමින් අලි ඇතුන් සම්බන්ධ කරගැනීම පිළිබඳ සමාජයේ බෙදුණු මතයක් තිබෙන නමුත් සංස්කෘතිකාංගයක් වශයෙන් එය සිදු කිරීම තවමත් සිදු වේ.
මීට පෙර අවස්ථා කිහිපයක දී එලෙස පෙරහැරේ ගමන් කළ අලි ඇතුන් කලබල වී යම් අනතුරු සිදු වී තිබෙන අතර පසුගිය අගෝස්තු 22වන දා ද දෙවැනි කුඹල් පෙරහැරේ ගමන් කළ අලින් කලබල වීම හේතුවෙන් කෙසේ වෙතත් එම මාතෘකාව නැවත දැඩි සමාජ අවධානයට පාත්‍ර වී තිබේ.
අලි ඇතුන් පෙරහැරට සම්බන්ධ වීමේ ඉතිහාසය කුමක්ද?
අලි ඇතුන් ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ බොහෝ තැන්වල සඳහන්වන විශේෂ සතුන් වර්ගයකි. දුටුගැමුණු රජුගේ මංගල හස්ති රාජයා වූ කණ්ඩුල ඇතා පිළිබඳ විවිධ ජනකතා තවමත් පවතියි.
එමෙන් ම බෞද්ධ සාහිත්‍ය තුළ ද අලි ඇතුන් බොහෝ කතාවල ඇතුළත් ය. ශ්‍රී ලංකාවේ ඉතිහාසයට බොහෝ සෙයින් ආභාසයක් හිමි වූ ඉන්දියාව තුළ ද අතීතයේ රජවරුන් ඔවුන්ගේ බල පරාක්‍රමය පෙන්වීම සඳහා අලි ඇතුන් යොදාගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ ද බොහෝ රදළ පවුල් සිය බලය හා ධනය පෙන්වීම සඳහා අලි ඇතුන්ට හිමිකම් කියා ඇත.

අලි ඇතුන් දළදා පෙරහැරට සම්බන්ධ වෙන්නේ කොහොමද?
අලි ඇතුන් අනුරාධපුර යුගයේ සිටම දළදා පෙරහැරට සහභාගී වී ඇති බව ජනශ්‍රැති පර්යේෂකයෙකු වන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද කුමාර දළුපොත පෙන්වා දෙයි. අනුරාධපුර රාජධානි සමයේ කිත්සිරි මෙවන් රජ සමයේ දී දන්ත ධාතූන් වහන්සේ මෙරටට වැඩම කරවීමෙන් පසුව පැවති පෙරහැර මංගල්‍යන් සඳහා අනුරාධපුර යුගයේ සිට ම දළදා වහන්සේ වැඩමවීමට අලිඇතුන් යොදාගෙන ඇති බව ඔහු පෙන්වා දෙයි.
“දළදා වහන්සේට පුද පූජා පැවැත්වීමේ ආකාරය ගැන දළඳා සිරිත කියල දෙයක් තිබෙනවා. දළදා සිරිත ආරම්භ වෙන්නේ අනුරාධපුර යුගයේ පටන්. රාජධානි මාරුවන විට දළඳා වහන්සේත් ඒ රාජධානිවලට ආසන්නම තැන්වලට රැගෙන ගියා. ඒ හැමතැනකදී ම මේ විදිහට අලිඇතුන් යොදාගෙන පෙරහැර මංගල්‍යයන් පවත්වලා තිබෙනවා,” ඔහු පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ රාජාණ්ඩු පැවති කාලවකවානුවේ දී රාජ්‍යත්වය යම් රජකෙනෙකු විසින් තහවුරු කරගැනීමට නම් දළදා වහන්සේගේත් පාත්‍රා ධාතූන් වහන්සේගේත් හිමිකාරීත්වය ඔහු විසින් ජනතාවට පෙන්විය යුතුයි. රාජ්‍යත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට එය වැදගත් ය. මහින්ද කුමාර දළුපොත පෙන්වා දෙන්නේ එලෙස රජුගේ මඟුල් ඇතු පිටින් දළදා වහන්සේ වඩම්මවා චාරිත්‍ර ඉටුකිරීම මහනුවර රාජධානිය දක්වා සියලුම රජවරුන් පාහේ සිදු කරනු ලැබූ දෙයක් බවයි.
“අලියා කියන්නේ හරිම ශක්තිමත් සහ සද්ධන්ත සතෙක්. ඒ අතරිනුත් ඇතා කියන්නේ හරිම අලංකාර, තේජවන්ත සතෙක්. ඒ වගේ තේජවන්ත හස්තියෙක් පිට තියලා පමණයි දළදා වහන්සේ වැඩම කරවන්නේත්. මේ අලි ඇතුන් ගැන පාහියන් භික්ෂුවගේ සටහන් වලත් ලියැවිලා තිබෙනවා.”

‘අලි ඇතුන් සංස්කෘතියේ කොටසක්’
ශ්‍රී ලංකාවේ සංස්කෘතියට ඈත අතීතයේ පටන් ම අලි ඇතුන් සම්බන්ධ වී සිටි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරා විද්‍යා අධ්‍යනාංශයේ කථිකාචාර්ය දමිත් රණගල පෙන්වා දෙයි.
“ක්‍රි.පූ. 3 වන සියවසේ දි දේවානම්පියතිස්ස රජ සමයේ බුදු දහම ලංකාවට ගෙන ආවාට පස්සෙ මහා විහාරය ඉදි කරන්න සීමා ලකුණු කරන්න යොදා ගැනෙන්නේ ඇතෙක්. ප්‍රාග් ඓතිහාසික චිත්‍ර හමුවෙලා තිබෙන කුරුණෑගල දොරවක කියන තැන්වගේ බොහෝ තැන්වලත් චිත්‍රවල අලියෙක් කියා හිතන්න පුළුවන් චිත්‍ර තියෙනවා,” කථිකාචාර්යවරයා පවසයි.
එමෙන් ම ඔහු පෙන්වා දෙන්නේ සඳකඩපහණ, කොරවක්ගල් වැනි නිර්මාණවල ද ඇතුන් නිරූපණය කර ඇති බවයි.
දළදා පෙරහැරට අලි ඇතුන් සම්බන්ධ වූ කාලය නිශ්චිතව පැවසිය නොහැකි වුවත් කුරුණෑගල රාජධානි සමයේ පන්සිය පනස් ජාතක පොත රචනා කර අවසන් වූ විට එම පුස්තකය ඇතෙකු පිට තබා නගරය පුරා වීදි සංචාරය කරවු බවට මූලාශ්‍රවල සඳහන් බව ඔහු පෙන්වා දෙයි.

සෙංකඩගල පෙරහැර ආරම්භය
දෙවන විමලධර්මසූරිය රජු විසින් මහනුවර රාජධානියේ රාජ්‍යත්වය අත්පත්කරගැනීමෙන් පසුව සඟවා තිබූ දළදා වහන්සේ මහනුවර නැතහොත් සෙංකඩගලට වඩමවා පෙරහැර පවත්වා පිළිවෙත් ඉටු කිරීම ආරම්භ කළ බව මහින්ද කුමාර දළුපොත පෙන්වා දෙයි.
“මේ වෙනකොට රටේ පහළ කොටස අධිරාජ්‍යවාදීන් අතේ තිබුණේ. ඒ නිසා විමලධර්මසූරිය රජතුමා උපාය මාර්ගයක් යොදවලා දළදා වහන්සේ සෙංකඩගලට වැඩමවලා අලිඇතුන් යොදාගෙන පෙරහැර මංගල්‍ය කරලා තිබෙනවා.”
එමෙන් ම ඔහු පෙන්වා දෙන්නේ කරඬුව වැඩමවන ඇතාගේ ආරක්ෂාව සඳහා දෑලේ ඇතුන් දෙදෙනෙකු දෙපසින් ගමන් කරවීමේ චාරිත්‍රය එම කාලයේ දී ආරම්භ වූ බවයි.
“මේ කාලයේ දී රට විවිධ විදිහට බෙදිලා තිබුණේ. ඒ නිසා රජුගෙ පාලනය යටතේ තිබුණේ කන්ද උඩරට විතරයි. ඒ හේතුව නිසා දළදා වහන්සේ වඩමවන විට ඊට හොඳ ආරක්ෂාවක් ලබා දෙන්න තමයි දෑලේ ඇතුන් දෙදෙනෙක් දෙපසින් ගමන් කරවීමේ චාරිත්‍රය ආරම්භ වෙන්නේ,” ඔහු පෙන්වා දෙයි.
වර්තමාන පෙරහැර ආකෘතිය ආරම්භ වූයේ මහනුවර රාජාධානියේ නායක්කාර් වංශික රජකෙනෙකු වන කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ බව කථිකාචාර්ය දමිත් රණගල පැවසුවේ ය.
“වර්තමානයේ අපි දකින නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි කියන සතර දේවාලවල පෙරහැර සමඟ දළදා පෙරහැර ගමන් කරන ආකෘතිය ආරම්භ වෙන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ දීයී.”

මෙම දේවාල පෙරහැරවල ද දේවාභරණ වැඩමවීම සඳහා අලිඇතුන් යොදාගනු ලබයි.
මහනුවර යුගයේ දළදා පෙරහැරට අලිඇතුන් යොදාගත් බව එකළ බොහෝ මූලාශ්‍රවල සඳහන් බවද ඔහු පැවසුවේ ය. “මේ කාලයේ ඇඳපු ඉංග්‍රීසි චිත්‍රවල වගේම දෙගල්දොරුව වගේ තැන්වල චිත්‍රවලත් පෙරහැර ඇඳලා තියෙන්නේ අලිඇතුන් සමඟයි.”

අතීතයේ අලි ඇතුන් සමඟ සංස්කෘතිකමය හා ආගමික බැඳීමක් තිබුණ ද වර්තමානයේ ඒ නමින් අලිඇතුන් හිංසනයට ලක් කිරීම අනුමත කිරීමට නොහැකි බව ද මහින්ද කුමාර දළුපොත පෙන්වා දුන්නේ ය.
“පෙරහැර කාලයට මිනිස්සු අලිඇතුන්ට හරිම ආදරෙයි. ලොකු ආකර්ෂණයක් තියෙනවා. නමුත් පෙරහැරෙන් පස්සෙ ඒ සතා දම්වැල්වලින් හිරවෙලා දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ. දම්වැල්වලට ඒ සතාගෙ හම පසාරු කරගෙන යනවා. ඒ විදිහට අහිංසක සත්තුන්ට දුක්ඛිත ජීවිතයක් හිමිවෙන එක ගැනත් ජනතාව අවධානය යොමු කරන්න අවශ්‍යයි.”
මූලාශ්රය: බීබීසී