ඉන්දියාව, ලොව පුරා බිලියන ගණනක් ජනයාගේ ආහාරවේලෙහි අත්‍යවශ්‍ය අංගයක් වන ප්‍රධාන ආහාරයක් අපනයනය කිරීම තහනම් කළ විට කුමක් සිදුවේ ද?
ජුලි 20 වැනිදා, රට තුළ සහල් මිල ඉහළයෑම පාලනය කිරීමේ ප්‍රයත්නයක් ලෙස ඉන්දියාව බාස්මතී නොවන සුදු සහල් වර්ග අපනයනයට තහනමක් පැනවීය. ඉන් තැතිගත් ජනයා සහල් වැඩි වැඩියෙන් මිලට ගනිමින්, කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඉන්දියානු සිල්ලර වෙළඳසැල්වල රාක්ක හිස්කරනු දැක්වෙන විඩියෝ සහ වාර්තාවන් සංසරණයවූ අතර, මේ නිසා එම රටවල්වලද සහල් මිල ඉහළ ගියේ ය.
ඉන්දියාව ලොව විශාලතම සහල් අපනයනකරුවා වන අතර, ගෝලීය වෙළඳාමෙන් 40%ක් ඔවුන් සතුවෙයි (අනෙකුත් විශාලතම අපනයනකරුවන් වන්නේ තායිලන්තය, වියට්නාමය, පාකිස්ථානය හා එක්සත් ජනපදය යි).
සහල් මිලට ගන්නා ප්‍රධාන ගැනුම්කරුවන් වන්නේ චීනය, ෆිලිපීනය සහ නයිජීරියාව යි. එසේම, ඔවුන්ගේ රට තුළ සහල් සැපයුමේ හිඟයක් ඇතිවූ විට පමණක් සහල් තොග මිලට ගන්නා, ඉන්දුනීසියාව හා බංගලාදේශය වැනි “යනෙන ගැනුම්කරුවෝ” ද වෙති. අප්‍රිකාව තුළ සහල් පරිභෝජනය ඉහළ අතර එය තවත් ඉහළයමින් පවතියි. කියුබාව සහ පැනමාව වැනි රටවල සහල් ප්‍රධාන ආහාරයකි.
සහල් අපනයනයේ පුරෝගාමියා
පසුගිය වසරේ දී ඉන්දියාව රටවල් 140කට මෙට්‍රික් ටොන් මිලියන 22ක සහල් අපනයනය කළේ ය. මෙයින් ටොන් මිලියන හයක්, සාපේක්ෂව මිලෙන් අඩු ඉන්ඩිකා සුදු සහල විය.
නමුත් දැන් ඉන්දියාව ඉන්ඩිකා සහල් (සහල්වල එනම් උපවිශේෂය) අපනයනය නවතා දමා තිබේ. මෙය සිදුවූයේ, පසුගිය වසරේ දී ඉන්දියාව සුණුසහල් අපනයනය තහනම්කර බාස්මතී නොවන සහල් අපනයනය සඳහා ද 20%ක බද්දක් පනවා තිබිය දී ය.
ජුලි මාසයේ අපනයන තහනම නිසා ගෝලීය සහල් මිල ඉහළයනු ඇතැ යි කණස්සල්ලක් ඇතිව තිබීම පුදුමයට කරුණක් නොවේ. තහනම නිසා මිල ඉහළ නගිතැ යි IMFහි ප්‍රධාන ආර්ථික විශේෂඥ පියෑර්-ඔලිවියේ ගුආන්ෂා ගණන් බලා තිබේ.
එසේම, ඉන්දියාවේ අපනයන තහනම පැමිණියේ එතරම් හිතකර කාලයක නොවේයැ යි, එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ (FAO) සහල් වෙළඳපොළ විශ්ලේෂිකා ෂර්ලි මුස්තෆා අපට පැවසුවා ය.
ඊට එක් හේතුවක් නම්, 2022 වසරේ සිට ගෝලීය සහල් මිල ගණන් නොනැවතී ඉහළයමින් පැවැතීම යි.
දෙවැනි හේතුව වන්නේ, වෙළඳපොළට නව බෝග පැමිණීමට තවත් තුන් මසක් පමණ ඉතිරිව ඇති හෙයින් සැපයුම් අවමවී තිබීම යි.
දකුණු ආසියාවේ කඪෝර කාලගුණය – ඉන්දියාවේ අසමාන මෝසම් වැසි හා පාකිස්ථානයේ ජලගැල්ම – සැපයුම්වලට බලපා තිබේ. පොහොර මිල ඉහළයෑම නිසා සහල් වැවීමේ වියදම ද ඉහළගොස් තිබේ.
මුදල් ඒකකයන්හි අගය අවප්‍රමාණයවීම ද රටවල් බොහොමයක අපනයන වියදම් ඉහළ දැමීමට හේතුවී ඇති අතර, ඉහළ උද්ධමනය නිසාවෙන් වෙළඳාමේ ණය ගැනීමේ පිරිවැය ද ඉහළගොස් ඇත.
ආහාර උද්ධමනය
“ආනයනකරුවන්ට බලපාලා තියෙන තත්ත්වෙක අපි ඉන්නේ. මේ ගැනුම්කරුවන්ට වැඩිදුර මිල ඉහළයෑම් එක්ක වැඩ කරන්න පුළුවන් ද කියලා අපි තවම දන්නේ නැහැ,” මුස්තෆා පැවසීය.
ඉන්දියාව සතුව ටොන් මිලියන 41ක සහල් තොගයක් තිබේ – එය එරට ආරක්ෂිත තොග අවශ්‍යතාවට වඩා තෙගුණයකින් ඉහළ ප්‍රමාණයකි. ඒවා, එරට උපායමාර්ගික සංචිතය ලෙස ද, දුප්පත් වැසියන් මිලියන 700කට වැඩි පිරිසකට ලාබදායක ආහාර සඳහා ප්‍රවේශය දෙන මහජන බෙදාහැරීමේ පද්ධති (PDS) සඳහා ද පොදු ධාන්‍යාගාරවල ගබඩාකර තිබේ.
පසුගිය වසර පුරාවට ඉන්දියාව දැඩි ආහාර උද්ධමනයක් සමග පොරබදමින් සිටියේ ය.
පසුගිය ඔක්තෝබරයෙන් පසු එරට දේශීය සහල් මිල 30%කට වැඩි අගයකින් ඉහළගොස් ඇති අතර, එය ලබන වසරේ මහ මැතිවරණයට සැරසෙන රජය මත යෙදෙන දේශපාලන පීඩනය වැඩිකර තිබේ.
එමෙන්ම, ඉදිරි මාස කීපයේ දී ප්‍රාන්ත මට්ටමේ මැතිවරණ පැවැත්වීමට සිදුව තිබෙන රජයට, වේගයෙන් ඉහළ නැගෙන ජීවන වියදම අභියෝගයක්බවට පත්ව තිබේ.
“බාස්මතී නොවන සහල් අපනයනය තහනම් කිරීමට ගත්ත ක්‍රියාමාර්ගය බොහෝදුරට ආරක්ෂක පියවරක් කියලත්, තාවකාලික යි කියලත් මම හිතනවා,” ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයේ (IFPRI) ජෝසෆ් ග්ලෝබර් අප හා පැවසුවේ ය.
ඉන්දියාවේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රවීණයෙකු වන දෙවින්දර් ශර්මා පවසන්නේ, රජය අපේක්ෂිත නිෂ්පාදන හිඟයකට පිළියම් යෙදීමට තැත් කරමින් සිටිනබව යි. මේවසරේ අගභාගයේ දී එල් නිනෝ කාලගුණ තත්ත්වයන් බලපැවැත්වෙන විට දකුණුදිග ඉන්දියාවේ සහල් වවන ප්‍රදේශයන් වියළි වැසි (අහසින් ඇදහැලුණ ද පොළොවට ළඟා නොවන වැසි – මේවා මඟදී වාෂ්පවී යයි) ලැබීමේ අවදානමට මුහුණපා තිබෙන බව ඔහු ප්‍රකාශ කරයි.
ගෝලීය ආහාර සුරක්ෂිතතාවට අනර්ථදායක වනබැවින්, ඉන්දියාව සහල් අපනයන තහනමෙන් වැළකී සිටිය යුතුයැ යි බොහෝදෙනා විශ්වාස කරති.
IFPRI ආයතනයට අනුව, බොහෝ අප්‍රිකානු රටවල සහල් ආනයනය තුළ ඉන්දියාව සතු වෙළඳපොළ කොටස 80% ඉක්මවයි.
උදාහරණයක් ලෙස, බංගලාදේශය, භූතානය, කම්බෝජියාව, ඉන්දුනීසියාව, තායිලන්තය සහ ශ්‍රී ලංකාව වැනි ආසියාවේ සහල් පරිභෝජනය වැඩිම රටවල, දෛනික පූර්ණ කැලරි පරිභෝජනයෙන් 2/3ක්ම සහල් මත රඳා පවතියි.
වැඩිම බලපෑම කාට ද?
“මේ තහනම්වලින් වැඩියෙන්ම පීඩාවට පත්වෙන්නේ අනතුරට ලක්වීමේ හැකියාවක් ඇති මිනිස්සු, මොකද එයාලා එයාලගේ ආදායමෙන් විශාල කොටසක් යොදවන්නේ කෑමබීම ගන්න,” මුස්තාෆා පවසන්නී ය.
“මිල ඉහළ ගියාම එයාලට සිද්ධවෙන්න පුළුවන් එයාලා කන කෑම ප්‍රමාණෙ අඩුකරන්න, සාපේක්ෂව පෝෂණ ගුණයෙන් අඩු විකල්පවලට යොමුවෙන්න හෝ නවාතැන් හෝ ආහාර වගෙ වෙනත් මූලික අවශ්‍යතා වෙනුවෙන් වැය කරන මුදල කපාහරින්න.” (කෙසේ නමුත්, ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රජය විසින් ඇතැම් රටවලට සහල් තොග යැවීමට මෙම තහනමෙන් අවසර හිමිවේ).
ආහාර අපනයන තහනම අලුත් දෙයක් නොවේ. රුසියාව යුක්රේනය ආක්‍රමණය කළ දා පටන්, ආහාර සඳහා අපනයන තහනමක් පැනවූ රටවල් සංඛ්‍යාව තුනේ සිට 16 දක්වා ඉහළ නැග ඇතැ යි IFPRI පවසයි.
ඉන්දුනීසියාව පාම් තෙල් අපනයනය තහනම් කළේ ය; ආජන්ටිනාව ගවමස් අපනයනය තහනම් කළේ ය; තුර්කිය සහ කිර්ගිස්ථානය ධාන්‍ය නිෂ්පාදන රැසක් අපනයනය තහනම් කළේ ය.
නමුත් ඉන්දියානු අපනයන තහනමෙන් ඇතිකරන අවදානම වඩාත් ඉහළබවට විශේෂඥයින් අනතුරු අඟවයි. එමඟින් “සුදු සහල්වල ගෝලීය මිල ඉහළයෑමක් අනිවාර්යයෙන්ම ඇතිවනු ඇති” අතර “බොහෝ අප්‍රිකානු රටවල ආහාර සුරක්ෂිතතාවට අනිටු බලපෑම් ඇතිකරනු ඇතැ”යි දිල්ලියේ පිහිටි බුද්ධි මණ්ඩලයක් වන ජාත්‍යන්තර ආර්ථික සබඳතා පිළිබඳ පර්යේෂණ සඳහා වන ඉන්දියානු කවුන්සිලයේ (ICRIER) අශෝක් ගුලාටි සහ රායා දාස් පවසති.
ඔවුන් පවසන පරිදි, ඉන්දියාවට “G-20 සමූහයේ ගෝලීය දකුණේ වගකීම්සහගත නායකයෙකු” වීමට අවශ්‍ය නම්, එය විසින් එවැනි හදිසි තහනම් පැනවීමෙන් වැළකීමට පරිශ්‍රම දැරිය යුතු ය. නමුත් ඔවුන් පවසන පරිදි “වඩාත් විශාල හානිය” වනු ඇත්තේ, “ඉන්දියාව ඉතා අවිශ්වස්‍ය සහල් සපයන්නෙකු ලෙස [ලෝකය විසින්] දකිනු ඇතිවීම” ය.
Source : BBC