Home » ‘අස්වැසුමට’ පාර්ලිමේන්තු අනුමැතිය: ලක්ෂ 37කට ප්‍රතිලාභ ගෙවීම ජූලි 01දා සිට
Featured News Sri Lanka

‘අස්වැසුමට’ පාර්ලිමේන්තු අනුමැතිය: ලක්ෂ 37කට ප්‍රතිලාභ ගෙවීම ජූලි 01දා සිට

“අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා පාර්ලිමේන්තු අනුමැතිය මැයි 12 වෙනිදා සිකුරාදා හිමි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සිළුමිණට කීය. ඒ යටතේ ප්‍රතිලාභ ගෙවීම් කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයිද පැවසූ ඇමැතිවරයා මේ සඳහා අදාළ සුදුස්සන් තෝරා ගැනීම ප්‍රධාන සංඝටක 6ක් සහ අනු සංඝටක 22ක් යටතේ සිදු කෙරෙන බවත් පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ උපදෙස් පරිදි ආරම්භ කර ඇති අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් අයැදුම්පත් ලක්ෂ 37ක් (3,712,096) ලැබී ඇති අතර එම අයැදුම්පත් අතුරින් සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ මෙකී සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙනු ඇත. ඊට අමතරව විශේෂ අවශ්‍යතා ඇති තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද අදාළ දීමනා ලබා දෙනු ඇත.

සංක්‍රාන්තික ප්‍රතිලාභීන් 400,000ක් සඳහා මාසිකව රුපියල් 2500/= බැගින් 2023 දෙසැම්බර් 31වැනිදා දක්වාද, අවදානමට ලක් වූ ප්‍රතිලාභීන් 400,000ක් සඳහා මාසිකව රුපියල් 5000/= බැගින් 2024 මාර්තු 31වැනිදා දක්වාද ලබා දීමට නියමිත අතර, දුප්පත් ප්‍රතිලාභීන් 800,000ක් සඳහා මාසිකව රුපියල් 8500/= බැගින් සහ අන්ත දිළිඳු ප්‍රතිලාභීන් සඳහා මාසිකව රුපියල් 15,000/= බැගින් 2023 ජූලි 01වැනිදා සිට වසර තුනක කාලයක් ලබා දීමට නියමිතය. මේ අතර දැනට සුබසාධක ප්‍රතිලාභ ලබන ආබාධිත තැනැත්තන් 72,000ක් සඳහා මාසිකව රුපියල් 5000/= බැගින්ද, වකුගඩු ආධාර ලබන තැනැත්තන් 39,150ක් සඳහා රුපියල් 5000/= බැගින්ද, වැඩිහිටි ආධාර ලබන තැනැත්තන් 416,667ක් සඳහා රුපියල් 2000/= බැගින්ද ලබා දිමට නියමිතය.

මෙහි විනිවිද භාවය ඉතා පූර්ණ ලෙසින් සිදුවන බවත් මීට පෙර ලබා දුන් මෙවැනි දීමනා ලබාදීමේදී සුදුස්සන්ට දීමනා නොලැබී නුසුදුස්සන්ට ලැබීම් සිදුව ඇති බවත් පෙන්වා දුන් ඇමැතිවරයා මෙවර දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් විසින්ද මේ සඳහා පූර්ණ අධීක්ෂණ කටයුතු සිදු කරන බවද අවධාරණය කළේය. අස්වැසුම හරහා ‘සමෘද්ධි‘ ප්‍රතිලාභ අහිමි වන බවට පැතිර යන කතාව අසත්‍ය බව පෙන්වා දුන් ඇමැතිවරයා සමෘද්ධි බැංකුව හෝ එම නිලධාරීන්ගේ රැකියා අහිමිවීමක් හෝ සිදු නොවන බව පෙන්වා දුන්නේය. සමෘද්ධිය හරහා දැනට වඩා ජනතාව සවිබල ගැන්වීම සිදු කෙරෙන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මූලාශ්‍රය : සිළුමිණ

Translate