පුද්ගලයින් තිදෙනෙකුගේ DNA උපයෝගී කර ගනිමින් පළමු වරට එක්සත් රාජධානියේ දී දරුවෙකු උපත ලබා ඇති බව එරට සාඵල්‍යතා නියාමන කොමිසම විසින් තහවුරු කර තිබේ.
DNA වලින් වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ දෙමාපියන් දෙදෙනාගෙන් වන අතර 0.1%ක් පමණ තෙවන පරිත්‍යාගශීලී කාන්තාවගෙන් බව සඳහන් වෙයි.
භයානක මයිටොකොන්ඩ්‍රිය රෝගයන්ගෙන් යුක්තව දරුවන් ඉපදීම වැළැක්වීම මෙම පුරෝගාමී තාක්‍ෂණය හරහා ගනු ලබන උත්සාහයක් වේ.
මේ ආකාරයෙන් ළදරුවන් පස් දෙනෙකුට වඩා අඩු සංඛ්‍යාවක් උපත ලබා ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු වාර්තා වී නොමැත.
මයිටොකොන්ඩ්‍රියා රෝග සුව කළ නොහැකි අතර උපතින් දින කිහිපයක් තුළ හෝ පැය කිහිපයක් ඇතුළත මාරාන්තික විය හැක.
ඇතැම් පවුල්වලට දරුවන් කිහිප දෙනෙකු මෙම රෝගී තත්වයෙන් අහිමි වී ඇති අතර මෙම ක්‍රමය ඔවුන්ටම කියා නිරෝගී දරුවෙකු ලැබීමට ඇති එකම විකල්පය ලෙස සැලකෙයි.
මයිටොකොන්ඩ්‍රියා යනු ශරීරයේ සෑම සෛලයකම පාහේ ඇති කුඩා මැදිරි වන අතර ඒවා මගින් ආහාර, ශක්තිය බවට පරිවර්තනය කරනු ලබයි.
දෝෂ සහිත මයිටොකොන්ඩ්‍රියා හේතුවෙන් සිරුරට ශක්තිය ලබාදීම අපොහොසත් කරවන අතර එමගින් මොළයට හානි වීම, මාංශ පේශි ක්ෂය වීම, හෘදයාබාධ හා අන්ධභාවයට හේතු වේ.
ඒවා සම්ප්‍රේෂණය වන්නේ මවගෙන් පමණි. මයිටොකොන්ඩ්‍රියා පරිත්‍යාග ප්‍රතිකාරය යනු පරිත්‍යාගශීලියෙකුගේ නිරෝගී ඩිම්බ ප්‍රදානයක, මයිටොකොන්ඩ්‍රියා භාවිතා කරනු ලබන, නල දරු උපත් හි නවීකරණය කරන ක්‍රමවේදයකි.
මයිටොකොන්ඩ්‍රිය පරිත්‍යාග කිරීම සඳහා ක්‍රම දෙකක් තිබේ. එකක් සිදු වන්නේ මවගේ ඩිම්බය පියාගේ ශුක්‍රාණු මගින් සංසේචනය වීමෙන් පසුව වන අතර අනෙක සංසේචනය වීමට පෙර සිදු වේ.
කෙසේ වෙතත්, මයිටොකොන්ඩ්‍රියාවට ඔවුන්ගේම ජානමය තොරතුරු හෝ DNA ඇත, එයින් අදහස් කරන්නේ තාක්ෂණික වශයෙන් ප්‍රතිඵලයක් ලෙස ලැබෙන දරුවන්ට ඔවුන්ගේ දෙමාපියන්ගෙන් DNA උරුම වන අතර පරිත්‍යාගශීලියාගෙන් ද සුළු ප්‍රමාණයක් ලැබෙන බවයි. මෙය පරම්පරාගතව පවතින ස්ථිර වෙනසකි.
මෙම පරිත්‍යාගශීලි DNA ඵලදායි මයිටොකොන්ඩ්‍රියා සෑදීම සඳහා පමණක් අදාළ වන අතර, එය පෙනුම වැනි ලක්ෂණ වලට බලපාන්නේ නැත. මේ හේතුවෙන් තෙවන පාර්ශවය “මව්පියෙකු” බවට පත් නොවේ.
නිව්කාසල් මෙම තාක්ෂණයට පුරෝගාමී වූ අතර 2015 වසරේ දී එක්සත් රාජධානිය තුළ මෙවන් දරුවන් නිර්මාණය කිරීමට අවසර දෙමින් නීති හඳුන්වා දෙන ලදී.
කෙසේ වුවත් එක්සත් රාජධානිය කඩිනමින් මෙම ක්‍රමය භාවිතා නොකරන ලදී. 2016 වර්ෂයේ පළමු වරට මෙම ක්‍රමය මගින් දරුවෙකු උපත ලැබුවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රතිකාර ලබමින් සිටි ජෝර්දාන පවුලකට දාවය.
මානව සංසේචන හා කළල විද්‍යා අධිකාරිය (HFEA) පවසන්නේ 2023 අප්‍රේල් 20 වන විට මෙම ක්‍රමය හරහා ළදරුවන් “පස් දෙනෙකුට වඩා අඩු” සංඛ්‍යාවක් උපත ලබා ඇති බවයි. පවුල් හඳුනා ගැනීම වැළැක්වීම සඳහා ඒ පිළිබද නිශ්චිත දත්ත ලබා දීමක් සිදු නොකෙරේ.
තොරතුරු දැනගැනීමේ නිදහස යටතේ ගාර්ඩියන් පුවත්පත කළ ඉල්ලීමකින් පසුව මෙම සීමිත තොරතුරු හෙළිව තිබේ.
ප්‍රගතිශීලී අධ්‍යාපනික භාරයේ අධ්‍යක්ෂ සාරා නොර්ක්‍රොස් පැවසුවේ “පරිත්‍යාග කරන ලද මයිටොකොන්ඩ්‍රියා වලින් ළදරුවන් කුඩා සංඛ්‍යාවක් දැන් එක්සත් රාජධානියේ උපත ලබා ඇති බවට වන පුවත, මයිටොකොන්ඩ්‍රිය පරිත්‍යාග තක්සේරු කිරීමේ සහ පිරිපහදු කිරීම ඉතා සෙමින් සහ ප්‍රවේශම් සහගත ක්‍රියාවලියක මීළඟ පියවර වනු ඇත” යනුවෙනි.
නිව්කාසල් හි කණ්ඩායමෙන් මෙතක් කිසිදු තොරතුරක් නොමැති බැවින් එම තාක්‍ෂණය සාර්ථක වූවාද යන්න තවමත් අවිනිශ්චිත වේ.
“මයිටොකොන්ඩ්‍රියල් ප්‍රතිස්ථාපන ප්‍රතිකාර ක්‍රමය ප්‍රායෝගික මට්ටමින් කෙතරම් හොඳින් ක්‍රියා කළේද යන්න දැන ගැනීම සිත්ගන්නාසුළු දෙයක්. ඒ හරහා ළදරුවන් මයිටොකොන්ඩ්‍රියල් රෝගවලින් තොරද යන්න සහ පසුකාලීනව ඔවුන්ට ගැටලු ඇතිවේද යන්න සොයා බැලිය යුතු යැයි” යනුවෙන් ෆ්‍රැන්සිස් ක්‍රික් පර්යේෂණ ආයතනයේ මහාචාර්ය රොබින් ලවෙල්-බැජ් පැවසුවේය.
මෙහි තාක්‍ෂණිකව “ප්‍රතිවර්තනය” වීමේ අවදානමක් ඇති අතර, එහිදී රැගෙන යන ඕනෑම දෝෂ සහිත මයිටොකොන්ඩ්‍රියාවක් සංඛ්‍යාවෙන් වැඩි වී තවදුරටත් රෝග ඇති විය හැකිය.
සෑම වසරකම එක්සත් රාජධානියේ මෙවැනි ළදරුවන් 150 ක් දක්වා උපත ලැබිය හැකි බව වරක් ඇස්තමේන්තු කර තිබුණි.
මූලාශ්රය : BBC