Home » ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ගැන හොයන්න IMF නියෝජිත පිරිසක් දිවයිනට
Economy Featured News Sri Lanka

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ගැන හොයන්න IMF නියෝජිත පිරිසක් දිවයිනට

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් අද (මැයි 11වැනිදා) ශ්‍රී ලංකාවට පැමිණ මෙරට බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව ලබන සැප්තැම්බර් මාසයේදී සිය ණය වැඩසටහන පිළිබඳ පළමු සමාලෝචනයට සූදානම් වෙමින් සිටියදී, සිය නිත්‍ය උපදේශනවල කොටසක් ලෙස මැයි 11-23 අතරතුර මෙම නියෝජිත පිරිස මෙරටට පැමිණෙන බව IMF නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

IMF ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මැයි 12-15 යන දිනවලදී මෙම සංචාරයට එක්වන අතර, නියෝජිත පිරිස සහභාගිවන ජනමාධ්‍ය හමුවක් ලබන සඳුදා (15) පැවැත්වීමට නියමිතය.

මේ අතර IMF ණය වැඩසටහනේ (විස්තීරණ අරමුදල් පහසුකම – EFF) වැදගත්ම අංගය වන ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය පසුගිය අඟහරුවාදා(09) නිල වශයෙන් ආරම්භ විය.

ඒ, ශ්‍රී ලංකාවේ නිල ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ කමිටුවේ පළමු රැස්වීම අන්තර්ජාලය හරහා පවත්වමිනි.

ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය යන රටවල සම-සභාපතිත්වයෙන් මෙම රැස්වීම පවත්වන ලද්දේ, 2023 අප්‍රේල් මාසයේදී මෙම රාමුව අරඹන බවට මෙම පාර්ශ්වකරුවන් විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පළමු වරටය.

මෙම නිල ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ කමිටුවේ පළමු රැස්වීමේදී ශ්‍රී ලංකා බලධාරීන් නිල වශයෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කළ බව කමිටුවේ ප්‍රධාන පාර්ශවකරුවකු වන පැරිස් සමාජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මෙම කමිටුව සාමාජිකයන් 17 දෙනකුගෙන් සමන්විත වන අතර, පැරිස් සමාජය නියෝජනය කරන ණයහිමියන් මෙන්ම අනෙකුත් නිල ද්විපාර්ශ්වික ණයහිමියන් ද ඊට ඇතුළත් වේ.

සෞදි අරාබිය සහ ඉරානය වැනි ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් කිසිදු හිමිකම් පෑමක් නොමැති පැරිස් සමාජයේ සාමාජික රටවල් එම රැස්වීමේ නිරීක්ෂකයන් ලෙස සහභාගී වූ බවද අදාළ නිවේදනයේ දැක්වේ.

චීනය එකඟවෙයිද?

පසුගිය අප්‍රේල් මාසයේ ජපානයේ පැවැති ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණයහිමියන්ගේ ‘ඒකාබද්ධ වේදිකාව’ නිර්මාණය කරන අවස්ථාවේ, එම හමුව මගහැර ගිය චීනය, මෙවර පැවැති නිල ණය ප්‍රතිව්‍යුහගතකරන රැස්වීමටද සක්‍රියව දායක නොවීය.

ඒ වෙනුවට අනෙකුත් සියලුම ණයහිමියන්ගේ දැඩි ඉල්ලීමට අනුව, සෞදි අරාබිය සහ ඉරානය වැනි නිරීක්ෂණ භුමිකාවකට පමණක් එක්වෙමින්, චීනය ශ්‍රී ලංකාවට ලබදෙන පොදු ණය සහනයක් සඳහා තමන් එකඟ නැති බව නැවතත් ප්‍රදර්ශනය කළේය.(දැනටමත් දැනුම්දී ඇති ආකාරයට, සිය එක්සිම් බැංකුවෙන් ලබාගත් ඩොලර් බිලියන 02ක ණය වෙනුවෙන් වසර 02ක ආපසු ගෙවීම ප්‍රමාද කිරීමක් පමණක් ශ්‍රී ලංකාවට ලබාදීමට චීනය එකඟවී ඇති අතර, අනෙකුත් ද්විපාර්ශ්වික ණයහිමියන් එකඟතාව පළකරන පොදු ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රමවේදයට ඇතුළුවීමට මෙතෙක් කැමැත්ත පළකර නැත).

කෙසේවෙතත් ජපානය සහ ඉන්දියාව ඇතුළු අනෙකුත් පාර්ශව විසින් චීනයෙන් ඉල්ලා ඇත්තේ, ලොව පුරා අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල් රැසකට ණය ලබාදී ඇති චීනය, එම රටවල ප්‍රතිපත්ති සම්පාදකයන්ට යම් බලාපොරොත්තුවක් ලබා දෙන පියවරක් ලෙස, අදාළ බහුතරයක් රටවල ණය අර්බුද විසඳීම වෙනුවෙන් පොදු සාකච්ඡා මේසයේ අසුන්ගන්නා ලෙසයි.

විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි මධ්‍යම ආදායම්ලාභී රටවල ණය අර්බුද විසඳීම සඳහා ආදර්ශයක් ලෙස ක්‍රියා කරනු ඇතැයි ණය හිමියන් අපේක්ෂා කරන නව රාමුව හඳුන්වාදීමේ රැස්වීම, පසුගිය අප්‍රේල් මාසයේදී වොෂින්ටනය පදනම් කරගෙන පවත්වන ලද්දේ අන්තර්ජාලය හරහා ය.

ඉන්දියාව සහ ප්‍රංශය සමඟ එක්ව ආරම්භ කළ මෙම නව වේදිකාවට ජපානය; චීනය ඇතුළු සියලුම ද්විපාර්ශ්වික ණයහිමියන්ට ඒ සඳහා ආරාධනා කළේය.

ජපාන මුදල් අමාත්‍යාංශයේ අන්තර්ජාතික කටයුතු පිලිබඳ මුදල් උප ඇමැතිවරයා වන මසාටෝ කන්ඩා පසුගිය අඟහරුවාදා රැස්වීමෙන් අනතුරුව වාර්තාකරුවන්ට පැවසුවේ, චීනය රැස්වීමට නිරීක්ෂකයකු ලෙස සහභාගී වූ බවත්, අනාගත රැස්වීම් සඳහා පූර්ණ සාමාජිකයකු ලෙස සහභාගී වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත්ය.

විදෙස් ණය ප්‍රතිව්‍යුගතකරණ සැලැස්මට මොකද වෙන්නේ?

මේ අතර G20 කණ්ඩායමේ සභාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකාව සඳහා වූ ණයහිමි කමිටුවේ පළමු රැස්වීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා බලධාරීන්ද මෙම රැස්වීමට සහභාගී වූ අතර, ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා වූ ඔවුන්ගේ ඉල්ලීම විධිමත් ලෙස ඉදිරිපත් කළ බවයි. එම නිවේදනයේ රැස්වීම පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කර ඇත්තේ මේ ආකාරයෙනි.

“ශ්‍රී ලංකාව සිය නිල ද්විපාර්ශ්වික ණයහිමියන්ට සැළකීමේදී විනිවිදභාවයෙන් සහ සංසන්දනාත්මකභාවයෙන් කටයුතු කිරීම සඳහා ඔවුන්ගේ කැපවීම නැවත වරක් අවධාරණය කළේය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු නියෝජිතයෝ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නවතම සාර්ව ආර්ථික වර්ධනයන් සහ රට සමඟ ඔවුන්ගේ සබඳතාවයේ වත්මන් තත්ත්වය ඉදිරිපත් කළහ.

2023 මාර්තු 14 වැනි දින ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින්, සියලු විදේශීය ණයහිමියන් සඳහා, ණය සහන ලබාගැනීමේදී විනිවිදභාවය සහ සංසන්දනාත්මක බව සහතික කරමින්, සිය නිල ද්විපාර්ශ්වික ණයහිමියන් වෙත යොමුකෙරුණු විවෘත ලිපිය මෙහිදී ණයහිමියන්ගේ කමිටුව සැළකිල්ලට ගනු ලැබීය.

2023 අප්‍රේල් 28 වැනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් සහාය දක්වන වැඩසටහන ක්‍රියාත්මක කිරී

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහනේ නිර්දේශයන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ විදේශ ණය අවදානම් සඳහා සුදුසු විසඳුමක් සෙවීම වෙනුවෙන් කැපවෙමින් කමිටුව සිය කාර්යය කරගෙන යනු ඇත. ණය සහන ලබාදීමේ මූලධර්මවල සංසන්දනාත්මකභාවයට අනුකූලව, මෙම ණයහිමි කමිටුව විසින් එකඟ වූ පරිදි, අවම වශයෙන් හිතකර කොන්දේසි මත, ණය සහන ලබාදීමේ වැදගත්කම ශ්‍රී ලංකාවේ පෞද්ගලික ණයහිමියන්ට සහ අනෙකුත් නිල ද්විපාර්ශ්වික ණයහිමියන්ට මෙම කමිටුව විසින් අවධාරණය කරයි. ණයහිමි කමිටුවට විධිමත් ලෙස සම්බන්ධ වන ලෙස අනෙකුත් ද්විපාර්ශ්වික නිල ණයහිමියන්ට කමිටුව නැවත ආරාධනය කර තිබේ.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු සමූහයේ නියෝජිතයෝ ද මෙම රැස්වීමට සහභාගි වූහ.

රාජ්‍ය ණය සාරාංශය

මුදල් අමාත්‍යංශය 2023 පෙබරවාරි මාසයෙන් නිකුත් කර ඇති ‘2022 අවසානයේ – රාජ්‍ය ණය සාරාංශය'(Public Debt Summary – As at End 2022) වර්තාට අනුව, 2022 වසර අවසන් වන විට ශ්‍රී ලංකාව විසින් සිය ද්විපාර්ශ්වික ණයහිමියන් සඳහා ගෙවිය යුතුව ඇති සමස්ත ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 12,180 කි.(බිලියන 12කට අධික)

ඒ අතුරින් ශ්‍රී ලංකාව විසින් IMF ණය වැඩසටහන වෙනුවෙන් කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණය කරවාගත යුතු බව ප්‍රකාශ කෙරෙන ණය ප්‍රමාණය ඩොලර් බිලියන 7.1 කි.

රජයේ දත්ත පෙන්වා දෙන පරිදි, එහිදී චීනයෙන් ලබාගත් ඩොලර් බිලියන 03 ක් ද, පැරිස් සමාජයට අයත් රටවල ඩොලර් බිලියන 2.4 ක් ද, ඉන්දියාවේ ඩොලර් බිලියන 1.6 ක් ද ශ්‍රී ලංකාව විසින් ප්‍රතිව්‍යුහගතකරණය කරවාගත යුතුව ඇත.

ශ්‍රී ලංකාවේ අනෙකුත් පෞද්ගලික ණය හිමියන්ගේ ණයවලින් කොටසක්ද, IMF ණය වැඩසටහනේ දෙවැනි අදියරේදී ප්‍රතිව්‍යුහගතකරණය කරගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.

මුදල් අමාත්‍යංශයට අනුව පෞද්ගලික සහ වාණිජ ණයහිමියන් සඳහා ශ්‍රී ලංකාව විසින් ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය ඩොලර් මිලියන 21,869 කි.(ඩොලර් බිලියන 22කට ආසන්න)

ඒ අතුරින් විදේශීය පෞද්ගලික ණයහිමියන් සමඟ ඩොලර් බිලියන 12 කට වඩා වැඩි ණය ප්‍රමාණයක් සහ අනෙකුත් වාණිජ ණය හිමියන් සමග ඩොලර් බිලියන 2.7 කට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගතකරණය කරවාගැනීම සඳහාද සාකච්ඡා කිරීමට ද ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන් පසුවේ.

IMF අවශ්‍යතාවන්ට අනුව මෙම සාකච්ඡා සියල්ල මේ මාසය (මැයි) අවසන් වීමට ප්‍රථම ප්‍රතිඵලදායක ලෙස අවසන් කළයුතුව ඇත.

MF විස්තීරණ ණය පහසුකමේ (EFF) පළමු වාරිකය ලබාගැනීමත් සමග ශ්‍රී ලංකාව සිය ණයහිමියන් සමග පෞද්ගලික මට්ටමින්ද ණය සහන ලබාගැනීම වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කර ඇත.

එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස, ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකම තවත් වසරකින් දීර්ඝ කිරීමට ඉන්දියාව එකඟතාව පළකර තිබේ.

මුදල් අමාත්‍යංශ වාර්තාවන්ට අනුව, අදාළ ණය මුදලින් ශ්‍රී ලංකාව මෙතෙක් භාවිත කර ඇත්තේ ඩොලර් මිලියන 700ක ප්‍රමාණයක් පමණකි.

එහි ඉතිරිය වන ඩොලර් මිලියන 300ක ප්‍රමාණය භාවිත කිරීමට හැකි වන ආකාරයෙන් ඉන්දියාව මෙම සහනය දීර්ඝ කිරීමට කටයුතු කර ඇත. ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදයේ උච්චතම අවස්ථාව වන විට ඉන්දියාව විසින් ලබා දුන් ඇමෙරිකානු ඩොලර් බිලියන 04 ක පමණ හදිසි ආධාරවල කොටසක් වන මෙම පහසුකම, 2023 මාර්තු මාසයේදී අවසන් වීමට නියමිතව තිබිණි.

මුදල් අමාත්‍යංශය පවසන්නේ එම ණය පහසුකම 2024 මාර්තු දක්වා දීර්ඝ කර ඇති බවය. ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ සහ ආහාර ආනයනය සඳහා ඉන්දියාව විසින් මෙම ණය පහසුකම ලබාදී ඇත.

මූලාශ්රය : BBC

Translate