Home » ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය අපනයන කේන්ද්‍රස්ථානයක් කළ යුතුයි
Economy Featured News Sri Lanka

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය අපනයන කේන්ද්‍රස්ථානයක් කළ යුතුයි

යුරෝපයෙන් හා ජපානයෙන් එන මත්ස්‍ය ඉල්ලුම සපුරාලීම සඳහා ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය අපනයන ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අගමැතිවරයා මේ බැව් පැවැසුවේ ඊයේ (08) කොළඹ පදනම් ආයතනයේ පැවැති, 1967 වසරේදී නොර්වේ රජයේ අනුග්‍රාහකත්වයෙන් ඇරැඹි සීමාසහිත සී-නෝර් ආයතනය පනස් පස්වැනි සංවත්සරයට සමගාමීව ඉදිරිපත් කළ පස් අවුරුදු සැලැස්ම හා වෙබ් අඩවිය එළි දැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

තවදුරටත් අගමැතිවරයා මෙසේද පැවසීය. සීනෝර් ආයතනය බිහිවීමෙන් පසුව අලුත් තාක්ෂණය ධීවර කර්මාන්තය සමඟ මුසු කර තිබෙනවා. එම තාක්ෂණය ප්‍රයෝජනයට ගෙන මෙරට ධීවර කර්මාන්තය තුළ විශාල පරිවර්තනයක් කළ හැකියි.

අපේ රට නව පරිවර්තනයකට ලක්වන, අනාගතයට බලපාන අලුත් වැඩපිළිවෙළකට ධීවර ක්ෂේත්‍රය පිවිසෙන මොහොතක සී නෝර් ආයතනය සිය 55වැනි සංවත්සරය සමරනු ලබනවා. රජයේ වේවා, පෞද්ගලික අංශයේ වේවා ඕනෑම ආයතනයකට සැලැස්මක් හා ඉලක්කයක් තිබිය යුතුයි. එවැනි සැලසුමක්, ඉලක්කයක් නොමැතිව ආයතනයකට ඉදිරියට ගමන් කරන්න බැහැ. මේ අවස්ථාවේ රටේ තිබෙන අර්බුදය ආයතනවලටත්, රටටත් බලපානවා. ඒ නිසා සීනෝර් ආයතනය ඉදිරි අවුරුදු පහක් වෙනුවෙන් වූ සැලැස්මක් අද දින ඉදිරිපත් කිරීම ඉතාම වැදගත්.

ඉන්දියන් සාගරයේ, අතිශය වැදගත්කමක් උසුලන මුහුදු මාර්ගයක තමයි ලංකාව පිහිටා තිබෙන්නේ. වටිනා මාළු අස්වැන්නක් ලබන ආකාරය හා ඒ සඳහා හැකියාව ඇති අය ඔවුන්ට ලබාදිය යුතු පහසුකම් සම්බන්ධයෙන් ඉදිරි සැලැස්මක් අවශ්‍යයි. මේ සැලසුම් තමයි අපේ රටේ අනාගතය.

අපි අවුරුදු දෙසීයක් පමණ කාලයක් තේ, රබර් අපනයනය කරනවා. ඒ වගේම අනාගතයේදී ධීවර මත්ස්‍ය අපනයනය වැඩි කරන්න පුළුවන්. සීනෝර් ආයතනය බිහිවීමෙන් පසුව අලුත් තාක්ෂණය ධීවර කර්මාන්තය සමඟ මුසුකර තිබෙනවා. මෙම ෆයිබර් ග්ලාස් තාක්ෂණය ප්‍රයෝජනයට ගෙන අපේ ධීවර කර්මාන්තය තුළ විශාල පරිවර්තනයක් කළ හැකියි. සංචාරක ක්ෂේත්‍රයට පිවිසිය හැකි වන ලෙස විවිධ නව බෝට්ටු නිෂ්පාදනය සඳහා වූ සුවිශේෂ අලුත් පියවර රැසක් මෙම සැලසුමට ඇතුළත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා මුහුදෙන් අල්ලන මසුන් රසයෙන් වැඩි බව පවසන යුරෝපය හා ජපානය අපෙන් ඉල්ලා සිටින මත්ස්‍ය ඉල්ලුම සපුරාලන්න අදටත් අපිට හැකි වෙලා නැහැ. නව ක්‍රියාකාරී සැලැස්ම තුළින් එම ඉල්ලුම සපුරාලීමේ මූලික අඩිතාලම ආරම්භ කෙරෙනවා. මාළු සුරක්ෂිතව කල්තබා ගැනීමේ ගැටලු තිබෙනවා. ඒ සඳහා අලුත් වැඩපිළිවෙළකට ලෝක ආහාර සංවිධානය පසුගියදා පිවිසුණා. ෆයිබර් ග්ලාස් තාක්ෂණය වැඩි ප්‍රයෝජනයකට පරිවර්තනය කරමින් මාළු සුරක්ෂිත කිරීමට හැකි ක්‍රම පිළිබඳව අපි කල්පනා කළ යුතුයි.

අපේ සමුද්‍රය තරණය කරන්නට, නව පරම්පරාවට දියුණු තාක්ෂණික පුහුණුවක් ලබා දීමට මෙන්ම ඔවුන් විදේශ රැකියා සඳහා යොමු කිරීමටත් අවශ්‍යයි. අලුත් පියවරක් ලෙස සීනෝර් ආයතනය තාක්ෂණ විද්‍යායතනයක් බවට පරිවර්තනය කරන්නට රජයේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා.

ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා, ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත, මහත්වරු මෙහිදී අදහස් දැක්වූහ.

සීනෝර් ආයතනයේ විසිපස් වසරක සේවා කාලයක් සම්පූර්ණ කළ සේවකයින් සඳහා සම්මාන ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

ආචාර්ය කිරින්දේ අස්සජි හිමි, ඇමැතිවරුන් වන මනූෂ නානායක්කාර, රොෂාන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, තානාපතිවරු, ධීවර අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක, සීනෝර් ආයතනයේ සභාපති දුලාන් හෙට්ටිආරච්චි මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

මූලාශ්රය : Dinamika

Translate