Home » “ගොවීන්ට දුන් සහනාධාරයට වංගු ගැසූ සමාගම්වල බැංකු වාර්තා හොයන්න” – කොළඹ මහේස්ත්‍රාත්
Asia Featured News South Asia Sri Lanka

“ගොවීන්ට දුන් සහනාධාරයට වංගු ගැසූ සමාගම්වල බැංකු වාර්තා හොයන්න” – කොළඹ මහේස්ත්‍රාත්

රජයේ අනුමැතිය ඇතිව ගොවීන්ට ලබා දීම සඳහා වසර 6කට ආසන්න කාලයක් තිස්සේ මෙරටට ආනයනය කරන ලද පොහොර සහනාධාර ගොවීන්ට ලබා නොදී කෘෂිකර්මාන්තයේ නොවන වෙනත් කර්මාන්ත වෙත වැඩි මිලට විකුණා කෝටි ගණන් වංචනිකව මුදල් ඉපයූ බව කියන පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි සමාගම් කිහිපයක බැංකු වාර්තා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (දෙසැ. 14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.

සහනාධාර ක්‍රමය යටතේ ගොවීන්ට පොහොර ලබාදෙන බව පවසමින් සමාගම් 18ක් 2018 වසරේදී පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති නමුත් ගොවීන්ට මෙතෙක් එම සහනාධාර ක්‍රමය යටතේ පොහොර ලැබී නොමැති බවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරුන් වන සුමේධ පෙරේරා හා රුවන් චන්ද්‍ර කළ පැමිණිල්ලට අනුව කළ විමර්ශනයේදී මෙම වංචා සහගත සිද්ධිය අනාවරණය කර ගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ උපපොලිස් පරීක්ෂක අනුර ගමගේ අධිකරණයට දැන්වීය.

රුපියල් 2,500ක මිලකට ආනයනය කරන පොහොර කොට්ටයක් රුපියල් 1,100ට ලබා දෙන බව පවසමින් එම සංගම් පොහොර ආනයනය කර ඇති බවත් ඉතිරි මුදල රජය මගින් එම සමාගම් වෙත ගෙවා ඇති බව ද එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.

එසේ ගෙන්වන ලද පොහොර අඩු මිලට ගොවීන්ට ලබා දිය යුතු වුව ද පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති සමාගම් කිහිපයක් එසේ ආනයනය කරන ලද පොහොර ගොවීන්ට ලබා නොදී කෘෂිකර්මාන්තයේ නොවන වෙනත් කර්මාන්තශාලා වෙත රුපියල් 2,500-3,000 ලෙස වැඩි මිලකට විකුණා කෝටි ගණනින් මුදල් උපයාගෙන ඇති බවට කරුණු තහවුරු වී ඇති බවද එම දෙපාර්තමේන්තුව පැවසීය.

මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයට අනුව පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි සමාගම් 18න් 7ක් පමණ මේ වනවිට මෙම වංචාව කර ඇති බවට හඳුනාගෙන ඇති බව ද සෙසු සමාගම් ද මෙම සිද්ධියට සම්බන්ධ වී තිබේ ද යන්න පිළිබඳව සොයා බලන බව ද එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.

මෙම විමර්ශනවලට අනුව මෙවැනි එක සමාගමක් වංචනික ආකාරයෙන් රජයේ මුදල් කෝටි 10ක් පමණ අවභාවිත කර ඇති බව කරුණු කෙළි වී ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.

ඉහත කී පැමිණිලිකරුවන් දෙදෙනා සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමෙන් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පොහොර ලේකම් කාර්යාලය මගින් කමිටුවක් පත් කර ඇති බවද උපපොලිස් පරීක්ෂක අනුර ගමගේ අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළිවිය.

එසේ පත් කරන ලද කමිටුව ප්‍රධාන පෙළේ කර්මාන්තශාලා පිළිබඳව අවධානය යොමු නොකර එසේ පොහොර ලබාගත් වෙනත් කුඩා සමාගම්වලින් දෙකකට පමණක් රජයේ මුදල් යැවීම නවතා ඇති බව ද පැවසීය.

බලගතු කර්මාන්තශාලා පිළිබඳව අවධානය යොමු නොකර කුඩා සංගම් දෙකක් කෙරෙහි පමණක් එසේ කටයුතු කර ඇත්තේ ඔවුන්ගෙන් සන්තෝසම් වශයෙන් මුදල් ලබාගෙන තිබීම නිසා බවට මේ වන විට කරන ලද විමර්ශනවලින් පැහැදිලි වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ඉහත කී සමාගම් 18න් සමාගම් 7ක් පමණ මෙම වංචාව කර ඇති බවට දැනට කර තිබෙන විමර්ශනවලට අනුව අනාවරණය වන බව ද සෙසු සමාගම් මෙම වංචාවට සම්බන්ධදැයි යන්න පිළිබඳව තවදුරටත් විමර්ශනය කරන බව ද වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.

මූලාශ්රය: මව්බිම

Translate