Home » “ජනතාව ඉල්ලීමක් කළොත් ජනාධිපතිවරණයට එනවා”: රොෂාන් රණසිංහ කියයි
Asia Featured News Politics South Asia

“ජනතාව ඉල්ලීමක් කළොත් ජනාධිපතිවරණයට එනවා”: රොෂාන් රණසිංහ කියයි

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස රටේ ජනතාව තමාගෙන් ඉල්ලීමක් කරන්නේ නම්, එම ඉල්ලීම ප්‍රතික්ෂේප නොකරන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද (දෙසැ. 15) මහනුවරදී මල්වතු අස්ගිරි නා හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව ය.

හිටපු අමාත්‍යවරයා ප්‍රථමයෙන් මල්වතු මහා විහාරයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමි මෙන් ම එම අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමි සහ අස්ගිරි මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගෙන ඇත.

නාහිමිවරු දෙපළ මෙහිදී සඳහන් කර ඇත්තේ, අද සෑම තැනක ම වංචාව දූෂණය රජයන බව ය.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රොෂාන් රණසිංහ සඳහන් කළේ, “අද වන විට මේ රටේ සෑම අස්සක් මුල්ලක් නෑර ම අඩු වැඩි වශයෙන් වංචා දූෂණ සිදුවන බව ත් එම වංචා දූෂණ පෙන්වා දෙන, ඊට එරෙහිව සටන් කරන සියලු දෙනාගේ බෙල්ල කැපී යන” බව ත් ය.

නමුත් තමාගේ සටන ජනතාව වෙනුවෙන් දිගට ම රැගෙන යන අතර ක්‍රිකට් දූෂිතයන්ගෙන් රට බේරා ගැනීම ඉදිරි ජනාධිපතිවරණයේදී හෝ සිදු කර රට තුළ සිදුවන වංචා දූෂණවලට තිත තැබීම තමාට සිදු කළ හැකි බව ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

මූලාශ්රය: මව්බිම

Translate