Home » ලෝක ආර්ථිකය සමඟ තරග කළ හැකි විදිහට මෙරට ආර්ථිකය නැංවීමට සිව් වසරක වැඩසටහනක්
Asia Economy Featured News South Asia Sri Lanka

ලෝක ආර්ථිකය සමඟ තරග කළ හැකි විදිහට මෙරට ආර්ථිකය නැංවීමට සිව් වසරක වැඩසටහනක්

ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක

රටේ ආර්ථික ස්ථාවරය ඇති කිරීම සහ ලෝක ආර්ථිකය සමඟ තරග කළ හැකි අන්දමින් මෙරට ආර්ථිකය ප්‍රතිස්ථාපනය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සකච්ඡා කර වසර හතරක වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති බව ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා පැවසීය.

2024 අයවැය යෝජනා සම්බන්ධයෙන් වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුම්වත් කිරීමේ සාකච්ඡාවක් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පෙරේදා (27) පැවැත්වුණු අවස්ථාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

වෘත්තීය සමිති නායකයන්, ජාතික තරුණ සේවා සභාවේ නියෝජිතයන්, තරුණ සංවිධාන සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

වර්ෂ 2048 වන විට ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන රටක් කිරීම අරමුණු කර ගනිමින් දිගුකාලීන ප්‍රතිසංස්කරණ රැසක් මෙවර අයවැයට ඇතුළත් කර තිබෙන බව ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා මෙහිදී පැවසීය. රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසක දීමනාවක් ලබා දීම, ගොවි ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීම,රාජ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය,දේශීය ව්‍යවසායකයන් නඟාසිටුවීම යන යෝජනා හරහා මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් වන ආකාරය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් පැහැදිලි කෙරිණි.

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ද 2024 අය වැය යෝජනා සහ ඉන් රටට ලැබෙන කෙටිකාලීන සහ දිගුකාලීන ප්‍රතිලාභ පිළිබඳ කරුණු පැහැදිලි කළේය.

ආහාර සුරක්ෂිතතාව පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කපිල සේනානායක මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මූලාශ්‍රය : දිනමිණ

Translate