Home » මුදල් ගෙවීම් චීන යුවාන්වලින් කරන්නැයි රුසියාව ඉන්දියාවට කියයි
Asia China Economy Europe Featured News Russia

මුදල් ගෙවීම් චීන යුවාන්වලින් කරන්නැයි රුසියාව ඉන්දියාවට කියයි

යුක්‍රේන යුද්ධය නිසා පැනවුණු සම්බාධක හේතුවෙන් රුසියානු ඛනිජ තෙල් අපනයනය කරන ප්‍රධානතම විකල්ප වෙළෙඳපොළක් ගෙවීම් සිදුකිරීමේ අභියෝගයකට මුහුණදෙන බව වාර්තා වෙයි.

යුරෝපීය රටවල් රැසක් රුසියානු ඛනිජ තෙල් ආනයනය අත්හිටුවීමෙන් පසු එම තෙල් මිලදී ගන්නා ප්‍රධාන රටක් බවට පත්වුයේ ඉන්දියාවය. 

විශේෂයෙන් මුහුදු මාර්ගයෙන් අපනයනය කරන රුසියානු ඛනිජ තෙල්වලින් 60%ක් පමණ මිලදී ගත්තේ ඉන්දියාව විසිනි. 

බටහිර සම්බාධක පැනවීමත් සමග රුසියාව සිය ගනුදෙනු ලොව වඩාත් ප්‍රචලිත විනිමය වන අමෙරිකානු ඩොලර් සහ යුරෝවලින් පිටත විකල්ප විනිමය මගින් සිදුකිරීමට පෙළඹුණි. 

ඒ, ජාත්‍යන්තර බැංකු පද්ධතිය මගින් රුසියානු ගනුදෙනු වළක්වාලීම හේතුවෙනි. 

ඒ අනුව රුසියානු තෙල් ආනයනය ඉහළ නැංවු චීනය යුවාන් විනිමයෙන් ගෙවීම් සිදුකළ අතර ඉන්දියාව ඉන්දීය රුපියල්වලින් ගෙවීම් සිදුකිරීමට කටයුතු කළේය. 

එහෙත් රුසියානු බැංකු, හුවමාරු කිරීමට අපහසු එමෙන්ම වෙනත් ආනයනයන් සඳහා යොදාගත නොහැකි ඉන්දීය රුපියල් ප්‍රතික්ෂේප කිරීමට පටන් ගත්තේය.

රුසියානු බොරතෙල් අපනයනයන්ට සරිලන අපනයන සිදුකිරීමට ඉන්දියාව සමත් නොවීම ද මෙම තත්ත්වය වඩාත් උත්සන්න කර තිබේ.

එහෙත් චීනයට අපනයනය කරන තෙල්වලට ආසන්න වටිනාකමින් යුත් වාහන, යන්ත්‍රෝපකරණ සහ අනෙකුත් භාණ්ඩ රුසියාව, චීනයෙන් ආනයනය කරයි.

එමෙන්ම පසුගිය අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ඉන්දියාව රුසියාවෙන් සිදුකළ තෙල් ආනයනවල වටිනාකම ඩොලර් බිලියන 30.4ක් පමණ වෙයි. 

එහෙත් IOC සමාගම ඇතුළු ඉන්දීය පිරිපහදු තෙල් නිෂ්පාදකයින් රුසියානු ආනයනය සඳහා ගෙවීම් සිදුකිරීමේ අර්බුදයට මුහුණදී සිටී. 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාම් රුසියාව සමග තෙල් ගනුදෙනු කිරීමේ තවත් මුදල් ඒකකයක් වුවද, එය ද මේ වනවිට අර්බුදයකට ලක්වී තිබේ. 

ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අමෙරිකානු සම්බාධකවලට අනුකූලව රුසියානු තෙල් සඳහා ගෙවිය හැකි උපරිම මිල සීමාව සොයා බැලීම හේතුවෙනි. 

මේ තත්ත්වය මත ඉන්දියාවට චීන යුවාන් විනිමයෙන් තමන් සමග ගනුදෙනු කරන ලෙස රුසියාව දන්වා ඇතත්, සිය පසමිතුරු චීනයේ විනිමය ජාත්‍යන්තර ගනුදෙනු සඳහා යොදා ගැනීමට ඉන්දියාව මැලිකමක් දක්වයි. 

කෙසේ නමුත් මෙම ගනුදෙනු සියල්ල රුසියානු සමාගම් සහ ඉන්දීය සමාගම් අතර සිදුවන නිසා ඇතැම් ඉන්දීය සමාගම් මේ වනවිට චීන යුවාන් විනිමයෙන් රුසියාවට ගෙවීම් කරන බව වාර්තා වෙයි. 

මේ සම්බන්ධයෙන් රුසියානු මහ බැංකුව අදහස් පළ කිරීම ප්‍රතික්ෂේප කරන බවද රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි. 

මේ වනවිට දිනකට බැරල් මිලියන 09ක් පමණ වන රුසියානු තෙල් අපනයනවලින් 10%කට අඩු ප්‍රමාණයකටයි ඩොලර් හෝ යුරෝ විනිමය හිමිවන්නේ. 

ඩොලර් සඳහා විකල්පයක් සොයාගැනීමට රුසියාව කටයුතු කරමින් සිටියදී ඒ සඳහා පරිපූර්ණ විකල්පයක් මෙතෙක් සොයා ගැනීමට හැකිවී නොමැත. 

මේ නිසා අප්‍රිකානු රටවල් සහ තුර්කියට ද රුසියානු තෙල් ආනයනයන් සඳහා ගෙවීම් සිදුකිරීම ගැටලුවක් වී ඇති බව සඳහන්ය. 

රුසියානු සමාගම් මේ සඳහා ඉන්දියාවට යෝජනා කරන විකල්පය වන්නේ වැඩි වැඩියෙන් ඉන්දීය නිෂ්පාදන රුසියාවට අපනයනය කිරීමය.

මූලාශ්‍රය: අදදෙරණ

Translate