Home » ‘කාලය පිළිබඳ ගැටලුවක් පමණක්’ බවට පත්වූ පිටසක්වල ජීවීන් සොයායෑම
Featured News Science

‘කාලය පිළිබඳ ගැටලුවක් පමණක්’ බවට පත්වූ පිටසක්වල ජීවීන් සොයායෑම

විශ්වයේ වෙනත් තැනක ජීවයක් ඇත්දැ යි බොහෝ තාරකා විද්‍යාඥයින් දැන් විමසන්නේ නැත.

ඒ වෙනුවට ඔවුන්ගේ මනසේ ඇති ප්‍රශ්නය වන්නේ, ‘අපි එය සොයා ගන්නේ කවදා ද?’ යන්න ය.

අප ජීවිත කාලය තුළ, බොහෝ දුරට ඉදිරි වසර කිහිපය තුළ, දුර ඈත ලෝකයක ජීවය පිළිබඳ සලකුණක් සොයාගැනීමට හැකි වනු ඇතැ යි බොහෝ දෙනෙක් සුබවාදීව පසුවෙති.

තව ද, බ්‍රහස්පති ග්‍රහයා වෙත ක්‍රියාත්මක එක් මෙහෙයුමක නායකත්වය දරන එක් විද්‍යාඥයෙකු, බ්‍රහස්පතිගේ අයිස් සහිත චන්ද්‍රයෙකු මත ජීවයක් නොමැතිවීම “පුදුමයක්” වනු ඇතිබව අවධාරණයෙන් යුතුව පවසයි.

නාසාහි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය (JWST) මෑතක දී අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකයක ජීවය පිළිබඳ සිත්ගන්නාසුළු ඉඟි කිහිපයක් අනාවරණය කර ගත්තේ ය. ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය තවත් ලෝක බොහෝ ගණනක් පිළිබඳව අවධානයෙන් පසුවෙයි.

දැනට ක්‍රියාත්මක හෝ ආරම්භ කිරීමට නියමිත මෙහෙයුම් විශාල ගණනක්, මෙතෙක් සිදුවූ විශාලතම විද්‍යාත්මක සොයාගැනීම සඳහා වන නව අභ්‍යවකාශ තරගයක පෙරනිමිති පෙන්වයි.

“අපි ජීවත් වෙන්නේ අනන්ත අප්‍රමාණ තාරකා සහ ග්‍රහලෝක තියෙන කෙලවරක් නැති විශ්වයක. මෙහෙ එක ම බුද්ධිමත් ජීවී කොට්ඨාසය අපි විතරක් වෙන්න බැහැ කියන එක අපි බොහෝ දෙනෙකුට පැහැදිලි කාරණයක්,” ස්කොට්ලන්තයේ රාජකීය තාරකා විද්‍යාඥ මහාචාර්ය කැතරින් හේමන්ස් පවසන්නී ය.

“මේ විශ්වයේ අපි ඉන්නේ තනිව ද නැද්ද කියන ප්‍රශ්නට පිළිතුර හොයාගන්න තරම් අවශ්‍ය තාක්ෂණය සහ හැකියාව අපිට තියෙනවා.”

‘ගෝල්ඩිලොක්ස් කලාපය’

දුරේක්ෂවලට දැන් ඈත තාරකාවල කක්‍ෂය වටා භ්‍රමණය වන ග්‍රහලෝකවල වායුගෝලය විශ්ලේෂණය කළ හැකි අතර, අවම වශයෙන් පෘථිවියේ හමුවන ජීවීන්ට පමණක් නිපදවිය හැකි රසායනික ද්‍රව්‍ය සෙවීමට හැකි ය.

පසුගිය සැප්තැම්බර් මස මුල දී එවැනි සොයාගැනීමක පළමු එළිය දැල්විණි. පෘථිවියේ සරල සාගර ජීවීන් විසින් නිපදවන වායුවක සංඥාවක් විය හැකි යමක් ආලෝක වර්ෂ 120ක් ඈතින් පිහිටි K2-18b නම් ග්‍රහලෝකයේ වායුගෝලයේ ඇතිබවට අනාවරණය විය.

එම ග්‍රහලෝකය ඇත්තේ “ගෝල්ඩිලොක්ස් කලාපය” ලෙස තාරකා විද්‍යාඥයින් විසින් හඳුන්වනු ලබන කලාපයේ ය. ගෝල්ඩිලොක්ස් කලාපය යනු, ජීවයට අත්‍යවශ්‍ය වන ද්‍රව ජලය පවතින පරිදි ග්‍රහලොවක් එහි පෘෂ්ඨය ඉතා උණුසුම් හෝ අධික ශීතල නොවන ලෙස මව් තාරකාවේ සිට නිවැරදි දුරකින් පිහිටිය හැකි කලාපය යි.

Artwork: K2-18 b orbits a cool dwarf star shown in red just far enough away for its temperature to support life.
ඡායාරූප ශීර්ෂ වැකිය,රූප සටහන: K2-18 b ග්‍රහලෝකය, ජීවයේ පැවැත්මට ආධාරවීමට අවශ්‍ය උෂ්ණත්වයක් තිබීමට ප්‍රමාණවත් දුරකින්, රතු පැහැයෙන් දිස්වන සිසිල් වාමන තාරකාවේ කක්ෂය වටා ගමන් කරයි.

මෙම ඉඟි සත්‍ය ද, නැතහොත් ඒවා මැකීගොස් ඇති ද යන්න වසරක් ඇතුළත දැන ගැනීමට කණ්ඩායම අපේක්ෂා කරයි.

මෙම අධ්‍යයනයට නායකත්වය දෙන, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා ආයතනයේ මහාචාර්ය නිකූ මධුසුදන්, එම ඉඟි සනාථවුවහොත් “එය ජීවය සෙවීම ගැන අප සිතන ආකාරය රැඩිකල් විදියට වෙනස් කරාවි”යි අප හා පැවසීය.

“අපි අධ්‍යයනය කරන පළමු ග්‍රහලෝකයේ ම ජීවයේ සලකුනු හොයාගත්තොත්, ඒක විශ්වයේ ජීවය පැවතීම පොදු යි කියන භාව්‍යතාව ඉහළ දමාවි.”

වසර පහක් ඇතුළත, විශ්වයේ ජීවය පිළිබඳ අපගේ අවබෝධයේ “විශාල පරිවර්තනයක්” සිදුවනු ඇතැ යි ඔහු අනාවැකි පළ කරයි.

ඔහුගේ කණ්ඩායමට K2-18bහි ජීවයක් ඇති බවට සලකුණු සොයා ගැනීමට නොහැකි වුවහොත්, ඔවුන්ට අධ්‍යයනය කිරීම සඳහා ඔවුන්ගේ ලැයිස්තුවේ තවත් ගෝල්ඩිලොක්ස් ග්‍රහලෝක 10ක් ඇතුළත් වේ.

ඔහුගේ ව්‍යාපෘතිය, විශ්වයේ ජීවයේ සලකුණු සෙවීම සඳහා ඉදිරි වසරවල දී ක්‍රියාත්මක වන හෝ සැලසුම් කරන තවත් බොහෝ ව්‍යාපෘති අතරින් එකක් පමණි. ඇතැම් ව්‍යාපෘති හරහා අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක පිළිබඳව සොයායන අතර, තවත් ව්‍යාපෘති අභ්‍යවකාශයේ ගැඹුරට යමින් දුර ග්‍රහලෝක පිළිබඳව සොයා යයි.

නාසාහි ජේම්ස් වෙබ් දුරේක්ෂය කෙතරම් බලවත් වුව ද ඊට යම් සීමා පවතියි. පෘථිවියේ විශාලත්වය සහ සූර්යයාට සමීපව පැවතීම නිසා එයට ජීවයේ පැවැත්මට සහය වීමට හැකියාව ඇත. නමුත් ජේම්ස් වෙබ් දුරේක්ෂයට පෘථිවිය තරම් කුඩා (K2-18b අටගුණයක් විශාල ය) හෝ ඒවායේ මව් තාරකාවලට ආසන්නව පිහිටා ඇති ග්‍රහලෝක, තාරකාවේ දැඩි දීප්තිය හේතුවෙන් හඳුනාගැනීමට නොහැකි වනු ඇත.

එබැවින්, නාසා ආයතනය ඒ සඳහා හැබිටබල් වර්ල්ඩ්ස් ඔබ්සවර්ටරි (Habitable Worlds Observatory – HabEx) නම් මෙහෙයුමක් 2030 ගණන්වල දී දියත් කිරීමට සැලසුම් කරයි. එය අධිතාක්‍ෂණික සූර්ය කිරණ ආවරණයක් ඵලදායී ලෙස භාවිතා කරමින්, ග්‍රහලොවක මව් තාරකාවෙන් නිකුත් කෙරෙන ආලෝකය අවම කරයි. ඉන් අදහස් වන්නේ, අප වායුගෝලයට සමාන ග්‍රහලෝකවල වායුගෝලයන් හඳුනා ගැනීමට සහ නියැදි ලබා ගැනීමට එය සමත් වනු ඇති බව ය.

චිලී කාන්තාරයේ සිට සුපැහැදිලි අහස දෙස නිරීක්ෂණය කළ හැකි යුරෝපියන් සදර්න් ඔබ්සවර්ටරිහි (ESO) ‘එක්ස්ට්‍රීම්ලි ලාජ් ටෙලස්කෝප්’ දුරේක්ෂය (ELT) ද මෙම දශකය අග භාගයේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත මෙහෙයුම් අතර වෙයි. මේ දක්වා ඉදිකරන ලද කිසිදු උපකරණයක නොතිබූ විශාලතම දර්පණය (එහි විෂ්කම්භය මීටර් 39කි) එහි තිබීම හේතුවෙන් ඊට එහි පූර්වගාමීන්ට සාපේක්ෂව ග්‍රහලෝකවල වායුගෝලය පිළිබඳ සවිස්තර තොරතුරු ලබා ගත හැකි වනු ඇත.

වායුගෝල විශ්ලේෂණය කරන මෙම දුරේක්ෂ තුන ම, වසර සිය ගණනක් තිස්සේ රසායන විද්‍යාඥයින් විසින් භාවිත කරන ලද තාක්‍ෂණයක් යොදා ගනිමින් ග්‍රහලෝක නිකුත් කරන ආලෝකය හරහා ඒවායේ අඩංගු ද්‍රව්‍ය තුළ ඇති රසායනික ද්‍රව්‍ය හඳුනාගනියි.

එම දුරේක්ෂ කෙතරම් ඇදහිය නොහැකි තරම් බලවත් ද යත්, ආලෝක වර්ෂ සිය ගණනක් ඈතින් පිහිටි තාරකාවක් වටා කක්ෂගතව ගමන කරන ග්‍රහලෝකයක වායුගෝලයේ ඇති ඉතා සියුම් ආලෝක කදම්බයකින් පවා එය සිදු කළ හැකි වේ.

ඇතැමුන් ඈත පිහිටි ග්‍රහලෝක නිරීක්ෂණය කරන අතරේ තවත් සමහරු ඔවුන්ගේ ගවේෂණ අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝකවලට සීමා කරති.

ජීවය පැවතීමට බොහෝ දුරට ඉඩ ඇති ග්‍රහයෙකු වන්නේ, බ්‍රහස්පතිගේ අයිස් සහිත චන්ද්‍රයෙකු වන යුරෝපා ය. කොටි වයිරම් මෙන් දිස්වන මතුපිටක් ඇති එය සුන්දර ලෝකයකි. යුරෝපාහි අයිස් සහිත පෘෂ්ඨයට පහළින් සාගරයක් ඇති අතර එයින් ජල වාෂ්ප විශාල වශයෙන් අභ්‍යවකාශය වෙත නිකුත් වේ.

නාසාහි ක්ලිපර් සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ ජුපිටර් අයිසි මූන්ස් එක්ස්ප්ලෝරර් (ජූස්) යන මෙහෙයුම් දෙක ම 2030 ගණන්වල මුල් භාගයේ දී දියත් කෙරෙනු ඇත.

Europa's tiger stripes are caused by cracks on its icy surface
ඡායාරූප ශීර්ෂ වැකිය,යුරෝපාහි ‘කොටි වයිරම්’ නිර්මාණය වී ඇත්තේ එහි ඇති අයිස් පෘෂ්ඨය පළුදුවීමෙනි

2012 වසරේ දී ජූස් මෙහෙයුම සඳහා අනුමැතිය ලැබී ටික කලකට පසු, ජීවය සොයා ගැනීමට අවස්ථාවක් ඇතැ යි සිතන්නේදැ යි යුරෝපීය මෙහෙයුමේ ප්‍රධාන විද්‍යාඥවරිය වන මහාචාර්ය මිෂෙල් ඩොගර්ටිගෙන් අපි ප්‍රශ්න කළෙමු. ඇය ඊට පිළිතුරු දෙමින්, “බ්‍රහස්පති ග්‍රහයාගේ අයිස් සහිත චන්ද්‍රයෙක් මත ජීවය නොතිබුණොත් නම් එය පුදුමයක්,” බව ප්‍රකාශ කළා ය.

නාසා ආයතනය ද ඩ්‍රැගන්ෆ්ලයි නම් අභ්‍යවකාශ යානයක් සෙනසුරු ග්‍රහයාගේ එක් චන්ද්‍රයෙකු වන ටයිටන් මත ගොඩබෑමට යවනු ලබයි. ටයිටන්, ඊට භයානක පෙනුමක් දෙන කාබන් බහුල රසායනික ද්‍රව්‍යවලින් සෑදුණු තැඹිලි පැහැ වළාකුළු සහ විල් සහිත අසාමාන්‍ය ලෝකයකි. ජලය සේම, මෙම රසායනික ද්‍රව්‍ය ද ජීවය සඳහා අවශ්‍ය අංග ලෙස සැලකෙයි.

A view of Titan taken by ESA’s Huygens lander as it descended to its surface
ඡායාරූප ශීර්ෂ වැකිය,යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියට අයත් හයිජන්ස්, ටයිටන්හි පෘෂ්ඨය වෙත ළඟා වූ අවස්ථාවක ලබා ගත් ඡායාරූපයක්

අඟහරු ග්‍රහයා දැනට ජීවීන්ට වාසය කළ නොහැකි තත්ත්වයක පවතිනමුත්, තාරකා ජීව විද්‍යාඥයන් විශ්වාස කරන්නේ එම ග්‍රහලෝකය කලක් සශ්‍රීකව පැවති අතර ඝන වායුගෝලයක් සහ සාගරවලින් සමන්විතව ජීවයේ පැවැත්මට උපකාර වූ බව ය.

නාසා ආයතනයේ පර්සිවියරන්ස් රෝවරය දැනට පැරණි ගංගා ඩෙල්ටාවකැ යි උපකල්පනය කෙරෙන ආවාටයක සාම්පල එකතු කරමින් සිටියි. 2030 ගණන්වල දියත් කිරීමට නියමිත තව ත් මෙහෙයුමක් එම පාෂාණ පෘථිවියට ගෙන එනු ඇති අතර, ඒවා තුළ මීට බොහෝ කලකට පෙර නැතිවී ගිය සරල ජීවීන්ගේ ක්ෂුද්‍ර ෆොසිල ඇතිදැ යි විශ්ලේෂණය කෙරෙනු ඇත.

පිටසක්වල ජීවීන් අප හා සම්බන්ධවීමට උත්සහ කරනවා විය හැකි ද?

ඇතැම් විද්‍යාඥයන් මෙම ප්‍රශ්නය විද්‍යා ප්‍රබන්ධයක් සහ විය නොහැකි දෙයක් ලෙස සලකන නමුත්, පිටසක්වල ලෝකවලින් රේඩියෝ සංඥා ලැබෙන්නේදැ යි සෙවීම ‘සර්ච් ෆෝ එක්ස්ට්‍රා ටෙරස්ට්‍රියල් ඉන්ටෙලිජන්ස්’ (සෙටී/Search for Extra Terrestrial Intelligence-Seti) ආයතනයෙන් පමණක් නොව දශක ගණනාවක් තිස්සේ සිදු වී ඇති දෙයකි.

අභ්‍යවකාශය අතිවිශාල බැවින් ඒ ඒ ආයතනවල මෙහෙයුම් අද දක්වා ම අහඹු ලෙස සිදුකර ඇත. නමුත් ජේම්ස් වෙබ් වැනි දුරේක්ෂවලට පිටසක්වල ජීවීන් පැවතිය හැකි ස්ථාන හඳුනා ගැනීමට ඇති හැකියාවෙන් අදහස් වන්නේ, සෙටීට එහි සෙවීම් යම් නිශ්චිත තැන් කරා යොමු කළ හැකි බව ය.

විශ්වයේ ජීවය පිළිබඳ අධ්‍යයනය සඳහා වූ සෙටීහි කාල් සේගන් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය නැතලි කබ්‍රෝල් පවසන පරිදි එය නැවුම් ජවයක් ලබා ඇත. එම ආයතනය එහි දුරේක්ෂ පෙළ නවීකරණය කර ඇති අතර, දූරස්ථව පිහිටි ග්‍රහලෝකවල සිට නිකුත් වන ප්‍රබල ලේසර් කදම්බ ඔස්සේ පැමිණෙන සන්නිවේදන සංඥා සෙවීමට දැන් උපකරණ භාවිත කරයි.

ඉහළ සුදුසුකම් ලත් තාරකා ජීව විද්‍යාඥවරියක ලෙස, ඇතැම් විද්‍යාඥයින් සෙටී ආයතනය පිටසක්වල සංඥා සෙවීම ගැන සංශයවාදී වීමට හේතුව පිළිබඳව ආචාර්ය කබ්‍රෝල්ට අවබෝධයක් තිබේ.

නමුත් දුර බැහැර වායුගෝලයන්ගෙන් ලැබෙන රසායනික දත්ත, සඳ ආසන්නයෙන් පියාසර කිරීම්වල දී ලබා ගන්නා දත්ත සහ අඟහරු ග්‍රහයාගෙන් ලබා ගන්නා ක්ෂුද්‍ර ෆොසිල පවා අර්ථ නිරූපණයට විවෘත බව ආචාර්ය කබ්‍රෝල් තර්ක කරයි.

රේඩියෝ සංඥා සොයා යාම “ජීවයේ සලකුණු සොයා ගැනීම සඳහා අනුගමනය කරන විවිධ ප්‍රවේශ සියල්ලට ම වඩා අසම්භව්‍යබව පේනවා. නමුත් එය ඕනෑ ම මොහොතක සිදුවිය හැකි නිශ්චිත පිළිතුරක් වේවි.”

“හිතල බලන්න අපිට ඇත්තට ම තේරුම් ගන්න පුළුවන් සංඥාවක් ලැබෙන එක ගැන,” ආචාර්ය කබ්‍රෝල් පවසයි.

මීට වසර තිහකට පෙර ග්‍රහලෝක වෙනත් තාරකා වටා ගමන් කළ බවට කිසිදු සාක්ෂියක් අපට නොතිබිණි. නමුත් දැන් තාරකා විද්‍යාඥයින්ට සහ තාරකා ජීව විද්‍යාඥයින්ට පෙර නොවූ විරූ ලෙස සවිස්තරාත්මකව අධ්‍යයනය කළ හැකි ග්‍රහලෝක 5,000කට වඩා සොයාගෙන ඇත.

K2-18b ග්‍රහයා පිළිබඳ අධ්‍යයනය කරන කණ්ඩායමේ සාමාජිකයෙකු වන කාඩිෆ් විශ්වවිද්‍යාලයයේ ආචාර්ය සුභජීත් සර්කර් පවසන පරිදි, ඇදහිය නොහැකි විද්‍යාත්මක සොයා ගැනීමක් සඳහා සියලු දෑ නිසි පරිදි ස්ථානගත වී තිබේ.

“අපි ජීවයක් ඇති බවට සලකුණක් හොයා ගත්තොත්, ඒක විද්‍යාවේ විප්ලවයක් වෙනවා වගේ ම ඒක මනුෂ්‍යයා තමන් දෙස සහ විශ්වය තුළ තමාගේ ස්ථානය දෙස බලන ආකාරය පිළිබඳ දැවැන්ත වෙනසක් ද වේවි.”

මූලාශ්රය: බීබීසී

Translate