Home » විදේශ ආයෝජනයන්ට, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනට බාධාවන ගැටලු හඳුනාගන්න යාන්ත්‍රණයක්
Featured News South Asia Sri Lanka Tourism Travel

විදේශ ආයෝජනයන්ට, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනට බාධාවන ගැටලු හඳුනාගන්න යාන්ත්‍රණයක්

විදේශ ආයෝජනයන්ට හා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට බාධා වන ගැටලු හා නව ආයෝජන අවස්ථා හඳුනාගැනීමට අදාළ සියලු පාර්ශව සමග සම්බන්ධිකරණයෙන් විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමට මුලිකත්‍වය ගන්නා මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නේය.

විදේශ කටයු අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, වාණිජ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI), අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) ඇතුළු අදාළ සියලුම ආයතන වලින් සම්න්විතව මෙම විධිමත් යාන්ත්‍රණය සකස් කරන ලෙස මන්ත්‍රී වරයා වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

මේ පිළිබඳ කරුණු සාකච්ජා වුයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.10.03 වැනි දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

විදේශ තානාපති කාර්යාල වල කටයුතු කරගෙන යාමේදී මතුවන ගැටලු විසඳීමට අවශ්‍ය සහය ලබාගැනීම සඳහා මෙම ආයතන ඒකාබද්ධව ගොඩ නගන ක්‍රියාකාරී කමිටුවට හැකියාව ලැබෙන බව සභාපතිවරයා අවධාරණය කළේය. එමෙන්ම ආයෝජකයන් මෙරට ආයෝජනයට දක්වන කැමැත්ත හා එසේ ආයෝජනය කිරීම් ප්‍රතික්ෂේප කර ඇත්නම් ඒවාට හේතු මොනවාද යන්න කරුණු දක්වමින් විදේශ ආයෝජනවල ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් සකස් කර කාරක සභාවට ලබා දෙන ලෙසද කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

බ්‍රික්ස් (බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව) රටවල් සමග කටයුතු කිරීම පිළිබඳව අන්තර් අමාත්‍ය කමිටුවක් (Inter-Ministerial Committee) පිහිටුවීමට අදාළ ප්‍රගතිය සම්බන්ධයෙන් කාරක සභාවේදී සාකච්ජා කෙරිණි. ඒ අනුව බ්‍රික්ස් රටවල් සමග කටයුතු කිරීම පිළිබඳව අන්තර් අමාත්‍ය කමිටුවක් පිහිටුවීම සඳහා කාරක සභාවේ නිර්දේශය විදේශ කයුතු අමාත්‍යවරයා වෙත ලබාදීමෙන් පසු එය කැබිනට් අනුමැතියට යොමු කිරීමට සුදානම් බව විදේශ කටයුතු අමාත්‍යංශ නිලධාරීහු පැවසූහ.

මේ අතර වාණිජ දෙපාර්තමේන්තුවේ වර්තමානයේ සිදුවන කාර්යයන් පිළිබඳවද කාරක සභාවේදී සාකච්ජා විය. එහිදී අදාළ නිලධාරීන් ප්‍රකාශ කළේ මානව සම්පතේ පවතින අඩු පාඩු හේතුවෙන් තම කටයුතු සිදු කිරීමේදී ගැටලු මතුව ඇති බවයි. ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ කටයුතු සිදු කරගෙන යාම සඳහා සීමාවාසිකයින් බඳවා ගැනීමට කටයුතු කරන ලෙසට සභාපතිවරයා උපදෙස් ලබාදුන්නේය. සභාපතිවරයා පෙන්වා දුන්නේ විදේශ තානාපති කාර්යාලවල පවතින සේවක හිඟය සඳහා මෙම ස්වේච්ජා සීමාවාසිකයින් සම්බන්ධ කරගනිමින් අදාළ රාජකාරිමය කටයුතු සිදු කළ හැකි බවයි.

මෙම අවස්ථාව සඳහා කාරක සභාවේ සමාජිකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා, මධුර විතානගේ, යදාමිණී ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වුහ.

මූලාශ්‍රය : දිනමිණ

Translate