Home » ශ්‍රී ලංකා – අමෙරිකා- වසර 75ක සබඳතා වොෂින්ටනයේදී උත්කර්ෂවත්ව සැමරේ
Featured News South Asia Sri Lanka

ශ්‍රී ලංකා – අමෙරිකා- වසර 75ක සබඳතා වොෂින්ටනයේදී උත්කර්ෂවත්ව සැමරේ

ශ්‍රී ලංකා – අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කොට වසර 75ක් සම්පූර්ණ කරන මේ මොහොතේ දෙරට අතර මිතුදම සදාතනික එකක් බව අවධාරණය කරන්නේ යැයි අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් පිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් අමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංන්ටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කළ අතර, එහිදී අදහස් දක්වමින් තානාපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව හා අමෙරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවට වසර 75ක් පිරීම නිමිත්තෙන් වොෂින්ටන් ඩීසී හි ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ප්‍රමුඛ පිරිස එම තානාපති පරිශ්‍රයේ දී මෙම උත්සවය සංවිධාන කළ අතර, විදේශ ඇමැති අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ එම උත්සවය හරහා දෙරට අතර සබඳතා වඩාත් ශක්තිමත් වූ බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

වොෂින්ටන් හි පැවැති උත්සවය සඳහා ශ්‍රී ලංකා රජයෙන් මුදල් ලබා නොගැනීමට ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ ක්‍රියා කිරීම ද විශේෂත්වයක් වන අතර, මෙම අවස්ථාවට ධවල මන්දිරය, රාජ්‍ය දෙපාර්තමේන්තුව, අමෙරිකානු භාණ්ඩාගාරය, ආරක්ෂක, වාණිජ දෙපාර්තමේන්තුව, යූ.එස්.ඒඩ් (US Aid) ලෝක බැංකුව (IMF) ඇතුළු අමෙරිකානු රජයේ හා සෙසු ආයතනවල ඉහළ පෙළේ නියෝජිතයන් සෙනෙට් හා කොංග්‍රස් සභිකයන් මෙන්ම තානාපතිවරුන් හා ලාංකිකයන් ඇතුළු 400ක් පමණ එක්ව සිටියහ.

ශ්‍රී ලංකා හා අමෙරිකානු ජාතික ගී ගායනා කිරීමෙන් අනතුරුව පිළිගැනීමේ කතාව කළ තානාපති මහින්ද සමරසිංහ මහතා, දෙරටේ මිත්‍රත්වය ඉතිහාසගතයි. අමෙරිකාවේ ඔල්කට්තුමා ලංකාවට පැමිණ පාසල් ඇරැඹුවා. බෞද්ධ කොඩිය නිර්මාණය කළා. අපේ කුමාරස්වාමි මහතා ඇතුළු අය ලංකාවේ කලාව හා බෞද්ධ පන්සල් අමෙරිකාවේ ඇරැඹුවා. ලංකාව සුනාමියට බිලිවී පැය 48ක් තුළ අමෙරිකානු හිටපු ජනපතිවරුන් තිදෙනෙක් ලංකාවට පැමිණ උපකාර කළා. අමෙරිකානු දරුවන් තම දිවා ආහාර මුදල් ශ්‍රී ලංකාවේ දරුවන්ගේ පාසල් අධ්‍යාපනයට තෑගි කළා. අප දෙරට අතර මිත්‍රත්වය සදාතනිකයි මහින්ද සමරසිංහ මහතා අවධාරණය කළේය.

අනතුරුව යූ.එස්.ඒඩ් (US Aid) වෙනුවෙන් ක්ලින්ටන් වයිට් මහතා අදහස් දක්වමින්: 1956 සිට යූ.එස්. ඒඩ් ශ්‍රී ලංකාවට කළ උදවු මෙන්ම ඉදිරියටත් උපරිම සහාය දෙන බව කීය. දකුණු හා මධ්‍යම ආසියානු සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ ප්‍රකාශ කළේ දෙරටේ තරුණ පරපුර එක්ව ගමන් කරන පසුබිම තැනීම අත්‍යවශ්‍ය බවය.

සෙනෙට් සභික ක්‍රිස් වෑන් හොලන්ඩ් මහතා, ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මම සති දෙකකට පෙර නුවර පෙරහැර නැරඹුවා. අමෙරිකානු වාණිජ මණ්ඩලය හා කතා කොට ශ්‍රී ලංකාවට උදව් කරන හා ආයෝජන ගෙන යන වැඩපිළිවෙළ හදනවා. තානාපති මහින්ද සමරසිංහ මහතාගේ කැපවීම අගය කරනවා. දෙරට අතර සබඳතාව තව වසර දහස් ගණන් පවතීවි.

විදේශ ඇමති අලි සබ්‍රි මහතා කතා කරමින්, ආර්ථිකය සහජීවනය හා සෙසු ක්ෂේත්‍රවලට අමෙරිකාව ශ්‍රී ලංකාවට සමීපම රටක් ලෙස දැක්වූ සහාය අගය කරන අතර, ඉදිරියටත් එම සුහද බව හා සහාය වර්ධනය වීම ඒකාන්තයි. තානාපති මහින්ද සමරසිංහ මහතා මෙම තනතුරට පත්වීමෙන් දෙරට අතර සබඳතා තර වුණා. අපේ විදේශ සේවයත් ශක්තිමත් වුණා යැයි ඇමැතිවරයා කීය.

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික සිංහල, දෙමළ හා මුස්ලිම් ආහාර පානවලින් ආරාධිතයන්ට සංග්‍රහ කෙරුණු අතර, සියලු සංස්කෘතීන්ට අයත් කලා සංගීත නැටුම් බෙර වාදනවලින් ද සැඳෑව වර්ණවත් වූ අතර, ආරාධිතයෝ ඉන් ප්‍රමෝදයට පත් වූහ. ජනනාත් වරකාගොඩ, අචිලා පෙරේරා චතුරි, සෙරන්ඩිබ් නර්තන කණ්ඩායම හා අංජලිකා එම ඉදිරිපත් කිරීම් සිදු කළහ. පිටු 54 කින් යුතු වර්ණවත් සමරු පොතක් හා ශ්‍රී ලංකාවේ තේ පාර්සලයක් ද සියලු ආරාධිතයන්ට බෙදා දෙනු ලැබුණි.

මූලාශ්‍රය : දිනමිණ

Translate