Home » උද්ධමනය අඩු වුවත් – බඩු මිල අඩු නොවෙන්නේ ඇයි?
Asia Economy Featured News South Asia Sri Lanka

උද්ධමනය අඩු වුවත් – බඩු මිල අඩු නොවෙන්නේ ඇයි?

උද්ධමනය පාලනය කිරීම

ගිය වසරේ (2022) ඉතා වේගයෙන් සියයට 70 ද ඉක්මවා යමින් උද්ධමනය ඉහළ ගියේය. මේ සඳහා පොලී අනුපාත ඉහළ දමමින් මහ බැංකුව සිය මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කරමින් මේ ඉහළ යමින් පැවති උද්ධමනය මර්දනය කිරීම සඳහා පියවර ගත්තේය. මේ නිසා බඩු මිල ඉහළ යෑම පාලනය කර ගැනීමට පවා අපහසු අධි උද්ධමන තත්ත්වයකට යෑමට නොදී එම උද්ධමනය වර්ධනය වන තත්ත්වය පාලනය කර ගැනීමට හැකි විය.

එහෙත් එම පොලී අනුපාත වැඩි කිරීම ඇතුළු මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමේ ක්‍රියාමාර්ග රටේ ආර්ථික ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපාන බව ද කිව යුතුය. මේ හමුවේ ගිය වසරේ (2022) ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ඍණ ආර්ථික වර්ධන අගය වාර්තා කළේය. ඒ අනුව 2022 වසරේ දී අපේ ආර්ථිකය සියයට 7.8 කින් පසුබෑමකට ලක් විය. උද්ධමනය පාලනය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග හමුවේ එසේ ආර්ථිකයට සංකෝචනාත්මක බලපෑම් ඇතිවෙන නමුත් රට අධි උද්ධමන තත්ත්වයකට ගමන් කළේ නම් ඊට වඩා බරපතල ආර්ථික ප්‍රතිවිපාකවලට මහජනයාට මුහුණ දීමට සිදු වීමට ඉඩ තිබුණු බව ද කිව යුතුය.

බඩු මිල අඩු නොවෙන්නේ ඇයි?

මේ නිසා මේ ආකාරයෙන් උද්ධමනය විශාල ලෙස ඉහළ යමින් තිබුණු තත්ත්වය පාලනය කර ගැනීමට හැකි වීම ගැන අපට සතුටු විය හැකිය. උද්ධමනය අඩු වෙමින් තිබුණත් බඩු මිල අඩු නොවෙන්නේ ඇයි? මේ බොහෝ දෙනෙක් අසන ප්‍රශ්නයකි. මේ සඳහා උද්ධමනය කුමක් ද යන්න තේරුම් ගත යුතු වේ. උද්ධමනය යනු බඩු මිල නොවේ. උද්ධමනය යනු බඩු මිල වැඩි වීමේ වේගයයි. එනම් සමස්ත මිල මට්ටම අඛණ්ඩව ඉහළ යන තත්ත්වයකි. මේ නිසා උද්ධමනය අඩු වැඩි වීමෙන් වන්නේ මේ බඩු මිල වැඩිවෙන වේගය අඩුවැඩි වීමයි. එසේ නම් උද්ධමනය වැඩි වීමෙන් වන්නේ බඩු මිල වැඩි වීමේ වේගය වැඩි වීමයි. එනම් පෙරට වඩා වැඩි වේගයකින් බඩු මිල වැඩිවෙන තත්ත්වයකි. එසේ නම් උද්ධමනය අඩු වීම යනු කුමක් ද? උද්ධමනය අඩු වීම යනු බඩු මිල වැඩි වීමේ වේගය අඩු වීමයි. එනම් පෙරට වඩා අඩු වේගයකින් බඩු මිල වැඩිවෙන බවයි. ඒ නිසා උද්ධමනය අඩු වුවත් වැඩි වුවත් ධන උද්ධමන අගයක් තිබෙන්නේ නම් එහි අදහස බඩු මිල වැඩිවෙමින් තිබෙන බවයි. උදාහරණයක් ලෙස රු.100 ක් වටිනා භාණ්ඩයක් සියයට 10 ක උද්ධමනයක් තිබෙන විට වැඩි වෙන්නේ රු.110 දක්වාය. මේ උද්ධමනය සියයට 10 සිට සියයට 5 දක්වා අඩු වූයේ යැයි සිතමු. එවිට රු. 100 ක භාණ්ඩය වැඩි වෙන්නේ රු.105 දක්වාය. මේ නිසා උද්ධමනය සියයට 10 සිට සියයට 5 දක්වා අඩු වුවත් එම භාණ්ඩයේ මිල අඩු වීමක් සිදු නොවන බව අපට දැන් පැහැදිලිය. එහෙත් උද්ධමනය අඩු වීම නිසා එම භාණ්ඩයේ මිල වැඩිවෙන ප්‍රමාණය අඩු වීම සිදුව ඇත. මේ ආකාරයට ඉතා සරල ලෙස උද්ධමනය යන්නෙහි අදහස සහ උද්ධමනය අඩුවීමේ දී හා වැඩි වීමේ දී සිදු වන්නේ කුමක් ද යන්න තේරුම් ගත විට උද්ධමනය අඩු වුවත් බඩු මිල අඩු නොවෙන්නේ ඇයි ද යන ප්‍රශ්නය මතු නොවේ. බඩු මිල අඩුවෙන තත්ත්වය අවධමන තත්ත්වයකි.

උද්ධමනය අඩු වුවත් - බඩු මිල අඩු නොවෙන්නේ ඇයි?

ජූලි උද්ධමනය සියයට 4.6 ට බසී

ගිය වසරේ (2022) සියයට 70 ඉක්මවා ගිය උද්ධමනය මේ වන විට සියයට 5 ටත් අඩු මට්ටමක් දක්වා අඩු වී ඇත. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ජාතික පාරිභෝගික මිල දර්ශකය මාසිකව නිකුත් කරනු ලබයි. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මෙතෙක් පැවති 2013 වසරේ දර්ශක යොමු කාලය 2023 ජනවාරි මාසයේ සිට 2021=100 වන නව දර්ශක යොමු කාලයට යාවත්කාලීන කර ඇත.

මේ අනුව එම දෙපාර්තමේන්තුව විසින් ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කරන උද්ධමනය ඉකුත් ජූලි මාසයේ දී සියයට 4.6 ක් දක්වා තවදුරටත් සැලකිය යුතු ලෙස පහත වැටී ඇත. 2023 ජූලි මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ සියයට -1.2 ක හා ආහාර නොවන කාණ්ඩයේ සියයට 5.7 ක දායකත්වයක් පිළිවෙළින් ලබා දී ඇත. පසුගිය ජූනි මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කරන කල උද්ධමනය සියයට 10.8 ක් ලෙස වාර්තා විය.

ආහාර උද්ධමනය

2023 ජූනි මාසයේ දී සියයට 2.5 ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය ද 2023 ජූලි මාසයේ දී සියයට – 2.5 ක් දක්වා පහත වැටී ඇත. මෙම ආහාර කාණ්ඩය සැලකූවිට පොල්, එළවළු, පොල්තෙල්, සහල්, බිස්කට් වර්ග, පාන් (සාමාන්‍ය), මයිසූර් පරිප්පු, කිරිපිටි, මිරිස්කුඩු, අලුත් මාළු, මුංඇට, බනිස්, වියළි මිරිස්, තිරිඟුපිටි, සහල්පිටි, නූඩ්ල්ස් සහ කහකුඩු යන ආහාර ද්‍රව්‍යවල මිලෙහි අඩුවීමක් ප්‍රධාන වශයෙන් වාර්තා වී ඇත. එහෙත් අමුමිරිස්, අර්තාපල්, බිත්තර, ලොකු ලූනු, අලුත් පලතුරු, කුකුළු මස්, කරවල, තේ කොළ හෝ කුඩු, රතු ලූනු , සීනි, සුදුලූනු, ඉඟුරු සහ ටින්මාළු යන ආහාර ද්‍රව්‍යවල මිලෙහි වැඩිවීමක් වාර්තා වී ඇත.

ආහාර නොවන උද්ධමනය

එමෙන්ම, ජූනි මාසයේ දී සියයට 18.3 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද ජූලි මාසයේ දී සියයට 10.9 ක් ලෙස සැලකිය යුතු අගයකින් පහත වැටී ඇත. මේ අනුව පසුගිය මාසය හා සංසන්දනය කළ විට, 2023 ජූලි මාසයේ ආහාර නොවන කාණ්ඩයේ දර්ශක අගය අඩුවීම සඳහා නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන (විදුලි බිල හා එල්.පී. ගෑස්), සෞඛ්‍ය (ඖෂධ නිෂ්පාදන මිලදී ගැනීම), රෙදිපිළි හා පාවහන් (රෙදිපිළි) යන කාණ්ඩවලට අයත් අයිතමයන්ගේ මිල අඩුවීම ප්‍රධාන වශයෙන් බලපා ඇත. එහෙත් මධ්‍යසාර පාන වර්ග, දුම්කොළ හා මත්ද්‍රව්‍ය (අරක්කු හා දුම්වැටි), ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු, ප්‍රවාහන (පෙට්‍රල්), විනෝදාත්මක හා සංස්කෘතික (ලොතරැයි, අභ්‍යාස පොත් හා ලිපිද්‍රව්‍ය), අධ්‍යාපන (පෞද්ගලික පන්ති ගාස්තු), ආපනශාලා සහ හෝටල් සහ විවිධ භාණ්ඩ හා සේවා යන කාණ්ඩයට අයත් අයිතමයන්ගේ මිලෙහි වැඩිවීමක් වාර්තා වී ඇත. එමෙන්ම සන්නිවේදන කාණ්ඩයට අයත් අයිතමයන්ගේ මිල ජූලි මාසය පුරා නොවෙනස්ව පැවති බවත් වාර්තා වී ඇත.

ජාතික පාරිභෝගික මිල දර්ශකය

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස්වීම සංසන්දනය කළ විට, 2023 ජූනි මාසයේ 203.3ක් වූ දර්ශක අගය 2023 ජූලි මාසයේ දී දර්ශක 201.9ක් දක්වා අඩුවීමක් වාර්තා වී ඇත. පසුගිය මාසය හා සංසන්දනය කළ විට 2023 ජූලි මාසයේ දර්ශක අගයේ 1.4ක අඩුවීමක් එනම් 0.7 ක ප්‍රතිශතාංක අඩුවීමක් වාර්තා විය. මෙම මාසික වෙනස්වීමට ආහාර කාණ්ඩයේ දර්ශක අගය සියයට 0.17 කින් සහ ආහාර නොවන කාණ්ඩයේ දර්ශක අගය සියයට 0.53 කින් අඩුවීම දායක වී ඇත.

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ලක්ෂ්‍යමය වෙනස්වීම් පදනම්ව නිතර මිල උච්චාවචනය වන ආහාර වර්ග, බලශක්ති සහ ප්‍රවාහන අයිතමයන් ඉවත් කිරීමෙන් පිළිබිඹු වන යටිදැරි උද්ධමනය (Core Inflation) පසුගිය ජූනි මාසයේ පැවති සියයට 11.3 සිට ඉකුත් ජූලි මාසයේදී සියයට 6.3 දක්වා අඩුවීමක් වාර්තා වී ඇත.

බඩු මිල සහ භාණ්ඩ මිල

මේ උද්ධමනය ගැන සාකච්ඡා කිරීමේ දී අපි බඩු මිල ගැන කතා කරමු. මෙසේ බඩු මිල යනුවෙන් අප සාමාන්‍යයෙන් කතා කරන්නේ රටේ සමස්ත මිල මට්ටම ගැනයි. එසේ නැතුව කිසියම් භාණ්ඩයක හෝ භාණ්ඩ කිහිපයක මිල වෙනස්වීමක් ගැන නොවේ. මේ අනුව උද්ධමනය අඩුවැඩි වීමේ දී බඩු මිල වැඩිවීමේ වේගය අඩුවැඩි වීම සිදු වුව ද කිසියම් භාණ්ඩයක හෝ භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩු වීම ද සිදු විය හැකිය. එහෙත් එසේ යම් භාණ්ඩ ප්‍රමාණයක මිල ගණන් අඩු විය හැකි වුවත් එම මිල අඩු වීමේ බලපෑම ඉක්මවා යමින් මිල වැඩිවෙන භාණ්ඩ ප්‍රමාණයේ බලපෑම වැඩි නිසා හැම විටම උද්ධමනය ධන අගයක් ගනී. එනම් කිසියම් වේගයකින් සමස්ත මිල මට්ටම වැඩිවෙමින් පවතින බවයි.

ආහාර අවධමනයක්

උද්ධමන අගය යම් හෙයකින් ඍණ බවට පත් වන්නේ නම් එහිදී ඇත්තේ අවධමනයකි. එනම් සමස්ත මිල මට්ටම අඩුවෙන තත්ත්වයකි. අවධමනය යන්නෙන් අදහස් කරන්නේ ආර්ථිකයක සාමාන්‍ය මිල මට්ටමේ පහත වැටීමකි. මේ සමග ඇති වගුව නිරීක්ෂණය කිරීමේ දී අපට ආහාර උද්ධමනය ඍණ තත්ත්වයට පත් වී ඇති බව දැකගත හැකිය. ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 ජුනි මාසයේ පැවති සියයට 2.5 සිට 2023 ජුලි මාසයේ සියයට – 2.5 ක් දක්වා එනම් අවධමනකාරී මට්ටමකට පත්ව ඇති බවයි. එනම් සමස්තයක් ලෙස ඉකුත් ජූලි මාසයේ ආහාර මිල ගණන් පහත වැටී ඇති බවයි.

අවධමනයේ බලපෑම

භාණ්ඩ මිල අඩුවෙන තත්ත්වයක් නිසා අවධමනය යනු මේ අර්ථයෙන් ගත් විට උද්ධමනයට ප්‍රතිවිරුද්ධ දෙයකි. භාණ්ඩ මිල අඩුවෙන නිසා අවධමනය හොඳ යැයි ඇතැම් විට ඔබට සිතෙනවා විය හැකිය. එහෙත් ආර්ථික වර්ධනය සඳහා කිසියම් මට්ටමක උද්ධමනයක් පැවතිය යුතු බව පිළිගැනේ. අවධමනය පිළිබඳ ගැටලුව නම් පහත වැටෙන මිල ගණන් හමුවේ වැටුප් හා නිෂ්පාදනයට ද එම තත්ත්වය බලපෑම නිසා ඒ සියල්ල එකට එකතු වී රටක ආර්ථික වර්ධනයට ද බරපතල අහිතකර තත්ත්වයක් එමගින් ඇති විය හැකි වීමයි. එනම් අවසානයේ එම තත්ත්වය ආර්ථිකයේ අවපාතයකට ද තුඩු දිය හැකිය. උදාහරණයක් ලෙස අප නිෂ්පාදනය කරන භාණ්ඩ විකිණීමට සිදු වන්නේ පෙරට වඩා අඩු මිලකට නම් ඇතිවෙන තත්ත්වය කුමක් ද? එවිට අප නිරන්තරයෙන්ම පෙළඹෙන්නේ අපගේ නිෂ්පාදනය කරන ප්‍රමාණය අඩු කිරීමටයි. භාණ්ඩ මිල ගණන් අඩු වන්නේ ඉල්ලුමට වඩා සැපයුම වැඩි තත්ත්වයකදීය.

අවධමනයක දී නිෂ්පාදකයින් අඩුවෙන් නිෂ්පාදනය කරන අතර, එයින් ඇඟවෙන්නේ ඔවුන්ට තම සේවකයින්ගෙන් කොටසක් ඉවත් කිරීමට සිදුවනු ඇති බවයි. පහත වැටෙන මිල ගණන් සේවක වැටුප්, සේවා නියුක්තිය සහ නිෂ්පාදනය කෙරෙහි ද අහිතකර ලෙස බලපානූ ලබයි. මෙසේ ආර්ථික කටයුතු පසුබෑමට ලක් වීමේ තවත් බලපෑම් ද තිබේ. මේ අර්ථයෙන් ගත් විට අවධමනය හොඳ දෙයක් ලෙස අපට සඳහන් කළ නොහැකිය.

මිල ස්ථායිතාවය

මේ නිසා වඩාත් වැදගත් වන්නේ රටේ මිල මට්ටම්වල ස්ථායිතාවයක් පවත්වාගෙන යෑමයි. මිල ස්ථායිතාවය යනු පාරිභෝගික භාණ්ඩවල සාමාන්‍ය මිල මට්ටම නොවෙනස්ව පැවතීම හෝ එය වෙනස් වන්නේ නම්, එසේ වන්නේ ආර්ථිකයක කුටුම්භ හා ව්‍යාපාරික ආයතනවල ආර්ථික තීරණ ගැනීම් කෙරේ සැලකිය යුතු බලපෑමක් ඇති නොවන ආකාරයේ අඩු වේගයකින් වීමයි. පරිභෝජනය, ආයෝජනය, නිෂ්පාදනය හෝ වෙළෙඳාම යනාදී කටයුතුවල යෙදීමේ දී මිලදී ගන්නන් හෝ අලෙවිකරුවන් ලෙස අපට එදිනෙදා විවිධාකාර වූ මිල ගණන්වලට මුහුණ දීමට සිදුවේ. භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම හා සැපයුම අනුව මිල ගණන් වෙනස්වීම වෙළෙඳපළ ආර්ථිකයක සාමාන්‍ය දෙයකි. මිල ගණන් වෙනස්වීම අඩු සහ වැඩි යන දෙදිශාවටම සිදු වේ. එම වෙනස්වීම් විවිධ ප්‍රමාණයෙන්ද සිදුවීම නිසා එක් එක් මිල ගණන් තනි තනිව ගෙන විග්‍රහ කිරීමෙන්, සාමාන්‍ය මිල මට්ටමේ සිදුවන වෙනස්කම් හඳුනාගැනීමට අපහසුය. එමනිසා සාමාන්‍ය මිල මට්ටම යන සංකල්පය මෙහිදී ඉතා වැදගත් වේ. එය භාවිත වන්නේ එක් එක් මිල ගණන්වල වෙනස්වීමේ සමස්ත බලපෑම හඳුනා ගැනීම සඳහාය. මේ අනුව මිල ස්ථායීතාවය යනු ආර්ථිකයේ සාමාන්‍ය මිල මට්ටමේ සාපේක්ෂ ස්ථායිතාව වන අතර, එයින් එක් එක් භාණ්ඩවල හෝ භාණ්ඩ වර්ග කිහිපයක හෝ මිල ගණන්වල ස්ථායීතාව අදහස් නොවෙන බව ද අප තේරුම් ගත යුතුය.

සාමාන්‍යයෙන් අපේ මහ බැංකුව අපේක්ෂා කරන්නේ අපගේ උද්ධමන අගය සියයට 4 – 6 අතර අගයක ස්ථාවර කර ගැනීමටයි. මේ වන විට උද්ධමනය අඩුවෙමින් මහ බැංකුව අපේක්ෂා කළ පරාසයන්ට පැමිණ ඇත. මේ අනුව ඉකුත් ජූලි මාසයේ තනි අගයක මට්ටමට අඩු වූ උද්ධමනය මැදිකාලීනව අපේක්ෂිත මට්ටම්වල ස්ථායි වනු ඇති බව මහ බැංකුව කියයි.

මූලාශ්‍රය : දිවයින

Translate

Featured