Home » කැලෑ ගිනි ගැනීම් අවම කර ගැනීමට ආරක්ෂක ඇමැතිගෙන් වැඩපිළිවෙළක්
Asia Featured News South Asia Sri Lanka

කැලෑ ගිනි ගැනීම් අවම කර ගැනීමට ආරක්ෂක ඇමැතිගෙන් වැඩපිළිවෙළක්

වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවන කැලෑ ගිනි ගැනීම් අවම කර ගැනීමට ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩපිළිවෙළක් ආරම්භ කෙරේ.

රටේ පවතින වියළි කාලගුණ තත්ත්වය හා වර්තමානයේ වැඩි වී ඇති කැලෑ ගිනී ගැනීම් පිළිබඳව ඉකුත් 22දා ආරක්‍ෂක රාජ්‍ය අමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්විණි.

අමාත්‍යවරයා විසින් මේ සාකච්ඡාවට පැමිණි සිටි ත්‍රිවිධ හමුදා, පොලිස්, ගිනි නිවන හමුදා හා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් මෙන්ම අනෙකුත් අදාළ පාර්ශ්වයන්ගේ අවධානයට යොමු කළ අතර, එම ඇති විය හැකි වන විනාශයන් අවම කර ගැනීම සඳහා ගත හැකි පියවර සම්බන්ධයෙන් ද වැඩි වශයෙන් සාකච්ඡාවට භාජනය විය.

ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා-

වියළි කාලගුණයත් සමඟ ඇතැම් පිරිස් සිතාමතාම හෝ නොසැලිකිමත්ව සිදුකරන ඇතැම් ක්‍රියා හේතුවෙන් මේ කැලෑ ගිනි ගැනීම් වැඩි වී ඇති බවත් කඳවුරු බඳිමින් සංචාරයේ නිරත වන කණ්ඩායම් හේතුවෙන් මෙවැනි ක්‍රියා සිදුවීමට බොහෝ ඉඩ ඇති බවත් පැවසීය.එබැවින් මෙවැනි වන විනාශයන් ඇතිවීමට ප්‍රථම ඒවා වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද වැඩිදුරටත් සියලු දෙනාගේ අවධානය යොමු කළයුතු බවද පවසා සිටියේය.

වර්තමානයේ වැඩි වී ඇති කැලෑ ගිනි ගැනීම් සහ ඒ සඳහා ගන්නා ලද පියවර සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීමට කටයුතු කරන ලදි. සිය අදහස් දක්වමින් ඔහු පැවසූයේ දැනට පවතින වියළි කාලගුණය හේතුවෙන් කැළෑ, රක්ෂිත සහ වතු ආශ්‍රිතව ගිනි තැබීම් විශාල වශයෙන් පසුගිය කාලය තුල වාර්තා වු බවත්, පසුගිය වසරේ වාර්තා වු කැළෑ ගිනි තැබීම් 78 කට සාපේක්‍ෂව මේ වන විට මේ වසරේ කැළෑ ගිනි තැබීම් 123 ක් වාර්තා වී ඇති බවත්, ඒ අනුව පසුගිය වසරට වඩා කැළෑ ගිනි තැබීම්වල වර්ධනයක් පෙන්නුම් කරන බවත්ය.

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන අප රටේ පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් රටේ කැලෑ ගිනි ගැනීම් මැඩ පැවැත්වීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව, ගිනි නිවන හමුදාව, දිසාපති කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, වනජීවී දෙපාර්තමේන්තුව සහ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විශාල ප්‍රයත්නයක් පසුගිය දින කීපයේදී දරා තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වන ජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, වැවිලි කර්මාන්තය සහ වරාය අධිකාරිය වෙත ක්‍රියාකාරකම් නිරී‍ක්‍ෂණ ප්‍රමාණයක් ලබාදීමට කටයුතු කර තිබෙන බවත්,අධි සංවේදි කලාපවල මේ තත්වය පාලනය කිරීම සඳහා වන සංරක්‍ෂණ දෙපාර්තුමේන්තුවට සහ වන ජිවි දෙපාර්තමේන්තුවෙන් විශේෂ ඉල්ලිමක් කර ඇති බවත්, ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබාදීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ආරක්‍ෂක අමාත්‍යාංශය සාකච්ඡා කළ බව ද මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව ගිනිපටි (Fire Belt) ඇති කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ඉදිරි දින කීපයේදි යෙදීමට අපි බලාපොරොත්තු වන අතර, ගිනි නිවින හමුදාව මගින් ත්‍රිවිධ හමුදාවේ හා සිවිල් ආරක්‍ෂක බලකායේ පුහුණුව සදහා විශේෂ වැඩපිළිවෙළක් අපි ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට පියවර ගනු ලැබීය.

වතු අංශයේ කැලෑ ගිනී ගැනීම් ඇතිවිමේ ප්‍රවණතාවක් ඇති නිසා පෞද්ගලික හා රජයේ වතු අධිකාරිවරුන්ට මේ තත්ත්වය අවබෝධ කර දීමටත් ඇතිවිය හැකි යම් තත්වයන් වැළැක්වීමේ නිසි පියවර ගැනීමට සියලු උත්සාහයන් ගන්නා ලෙසටත්, වැවිලි කර්මාන්ත ඇමැතිවරයාට සහ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනුම් දුන් බව මාධ්‍ය වෙත පැවසූ අමාත්‍ය තෙන්නකෝන් මේ අවස්ථාවේ අධි සංවේදි කලාප වලට මිනිසුන් ඇතුළුවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්න ලෙස වන ජිවි අමාත්‍යයවරියගෙන් විශේෂ ඉල්ලිමක් කළ බව තවදුරටත් පැවසීය.

කැලෑ ගිනි තැබිම් නිසා වර්ෂාව ලබා ගතහැකි බවට යම් ජන කොටස් යම් අවස්ථාවල දරන මිත්‍යා මත අනුව, ගම්වාසීන් කැළැ ගිනි තැබිම් සිදුකරන බව ද නිරික්‍ෂණය වේ. මෙවැනි ඉතා බරපතල විනාශකාරී කටයුතු වලින් වැලකෙන ලෙස රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින අමාත්‍යවරයා මෙම තත්ත්වය පාලනය කිරිමට සියලු දෙනාගේ සහාය දෙන ලෙසද අවධාරණය කර සිටි.

දඩයම් කිරීම සහ හේන් ගොවිතැන් කිරීම මෙන්ම විනෝදාස්වාදය සඳහා කැලෑව තුලට පිවිසෙන තරුණ තරුණියන්, කඳු තරණය කරන්නන් සහ කඳවුරු බඳිමින් සංචාරයේ නිරත වන කණ්ඩායම්වලින් මෙම කැළෑ ගිනි තැබීමට උත්තේජනයක් බව නිරීක්‍ෂණය වේ.

මෙවැනි හානිකර ක්‍රියාවන්ගෙන් වැලකෙන ලෙස සියලු අයවලුන්ගෙන් ඉල්ලා සිටින අමාත්‍ය තෙන්නකෝන් මෙහිදී අවධාරණය කර සිටීයේ පවත්නා නීති රාමුව තුළ කැලෑ ගිනි තැබීම්වලට සම්බන්ධවන අයවලුන්හට උපරිම දඩුවම් පමුණුවන ලෙස වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවී දෙපාර්තමේන්තුව සහ පොලීසිය වෙත ඉල්ලීම් කර තිබෙන බව ප්‍රකාශ කළේය.

පසුගියදා අමෙරිකාවේ හවායි දූපතේ ඇති වූ ගින්නෙන් සිදු වූ ඛේදනීය ජීවිත, දේපල හා ආර්ථික හානි විනාශය පිළිබඳව ද අමාත්‍යවරයා සිහිපත් කරන ලදි.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ආරක්‍ෂක) හර්ෂ විතානාරච්චි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ, අධ්‍යක්‍ෂ ජෙනරාල් නාවික පාබල රියර් අද්මිරාල් පී.ඒ.ජේ.එන්. පොන්නම්පෙරුම, වන සංරක්‍ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් කේ.එම්.ඒ.බණ්ඩාර, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් සුරිය බණ්ඩාර, ප්‍රධාන ගිනිනිවන නිලධාරී පි.ඩි.කේ.ඒ. විල්සන්, සිවිල් ආරක්‍ෂක බලකායේ අතිරේක අධ්‍යක්‍ෂක ජෙනරාල් රියර් අද්මිරාල් ඩබ්.ඩී.ඊ.එම් සුදර්ශන, යුද හමුදා ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් නජීව එදිරිසිංහ, වැඩබලන මණ්ඩලික නිළධාරී 1 ගුවන් මෙහෙයුම් වින්ග් කමාන්ඩර් පසන් දයානන්ද, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩි.ඩි.ඩි හෙට්ටිආරච්චි, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයේ එච්.කේ.එස්.එස් ගුණසේකර, ඇතුළු ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීන්ද මේ අවස්ථාවට සහභාගි වූහ.

මූලාශ්‍රය : දිනමිණ

Translate