Home » ශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර ආර්ථීක, දේශපාලන සබඳතා ගොඩනැගීමට වැඩසටහන් රැසක්
Asia Economy Egypt Featured News Politics South Asia Sri Lanka

ශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර ආර්ථීක, දේශපාලන සබඳතා ගොඩනැගීමට වැඩසටහන් රැසක්

ශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර ආර්ථීක, දේශපාලනික හා සාමාජීය වශයෙන් මිත්‍රත්වය ගොඩනැංවීම සඳහා කඩිනමින් අවධානය යොමුකොට ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හා ඊජිප්තුවේ පාර්ලිමේන්තුව අතර නව පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයක් ඇති කරීමට තීරණය කෙරේ.

මෙම කරුණු අනාවරණය වුයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති කාර්යාලයේ කන්සියුලර් මොහොමඩ් මඩී (Mohomed Mady) මහතා අතර පසුගියදා සිදු වු හමුවකදී ය.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක කාර්යාලයේදී පැවති මෙම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරුණේ ශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර සම්බන්ධතා වැඩිකරගැනීමට කළ යුතු කාර්යයන් පිළිබඳවයි.

මේ සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හා ඊජිප්තු පාර්ලිමේන්තුව අතර පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයක් ගොඩනැගීම මුලින්ම කළ යුතු බව තීරණය කෙරුණු අතර ඒ සඳහා වන යෝජනාව තමා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට යොමුකොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය.

ශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධන කිරීම සම්බන්ධයෙන්ද මෙම හමුවේ දී වැඩි අවධානයක් යොමු කෙරුණි.

ශ්‍රී ලංකාවේ සුන්දර පරිසරය, වනජීවි ජාතික උද්‍යාන නැරඹීමටත්, ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ ආස්වාදය විඳගැනීමටද ඊජිප්තු ජාතිකයින් කැමැත්තෙන් සිටින බව ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති කාර්යාලයේ කන්සියුලර් මොහොමඩ් මඩී මහතා ප්‍රකාශ කළේය.

ඊජිප්තුවේ පිරමීඩ පිළිබඳව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විමසු පැනයට පිළිතුරු ලබාදෙමින් කන්සියුලර්වරයා කියා සිටියේ වසරකට ලෝකය පුරා සංචාරකයින් මිලියන 11 ක් පමණ ඊජිප්තුවේ පිරමීඩ නැරඹීමට පැමිණෙන බවයි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියන්ගේ නොබැදි විදෙස් පිළිවෙතට ඊජිප්තුව හැමදාමත් ගෞරව කළ බවත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරියේදී දිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බවද කන්සියුලර් මොහොමඩ් මැඩි මහතා සඳහන් කළේය.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා කියා සිටියේ දෙරට අතර මිත්‍රත්වය වැඩි කරගැනීම තුළින් තවත් ප්‍රයෝජන රැසක් රටවල් දෙකටම හිමිවන බවයි.

මූලාශ්‍රය : සිංහල පුවත්

Translate