Home » පෙරපාසල් අධ්‍යාපනය විධිමත් කිරීමට පියවර
Featured News South Asia Sri Lanka

පෙරපාසල් අධ්‍යාපනය විධිමත් කිරීමට පියවර

පෙරපාසල් ගුරුවරුන්ට නිශ්චිත වූ පුහුණුවක් හා ඩිප්ලෝමාවක් ලබා දී ඉදිරියේ දී විධිමත් සහතිකයක් අනුව පමණක් පෙරපාසල් ආරම්භ කිරීමට අවසරය ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි. මෙරට තුළ පෙරපාසල් 19,000ක ගුරුවරුන් 40,000ක් පමණ සිටින බව ද හෙතෙම කීවේය.

ප්‍රාථමික අධ්‍යාපනයේ අඩිතාලම වැටෙන පෙරපාසල් අධ්‍යාපනය කෙරෙහි සුවිශේෂ අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය බැව් පැවසූ අමාත්‍යවරයා, ජපානයේ වැඩිම අවධානයක් යොමු කරන්නේ පෙරපාසල් අධ්‍යාපනයට බවත් සදහන් කළේය.

යම් රාමුවක්තුළ ක්‍රියාකාරකම් පදනම් කරගත් අධ්‍යාපනයක් පෙරපාසල් දරුවන්ට ලබා දීමේ පදනම සැකසීම මගින් ප්‍රාථමික අධ්‍යාපනය ඇතුළු අනෙකුත් අධ්‍යාපන තලයන්හි අනවශ්‍ය ඉගෙනුම් පීඩනය අවම කිරීමට හැකි වන පරිදි විභාග බර අඩු කළ හැකි බවත්, එමගින් නිරායාසයෙන්ම ඉදිරි වසර කිහිපය තුළ දරුවන්ගේ පාසල් බෑගයේ බර ද ක්‍රමානුකූල ව අඩු වනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. මෙහි දී ප්‍රාථමික අධ්‍යාපනය ශක්තිමත් කිරීම වෙනුවෙන් ගෙන ඇති විවිධ පියවර ගැන ද සඳහන් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, අධ්‍යාපන අමාත්‍යාංශය 2022 වර්ෂයේ ප්‍රාථමික ගුරුවරුන් 13,800ක් පුහුණු කර ඇති අතර, 2023 වර්ෂයේදී ද එවැනි ම ප්‍රමාණයකට පුහුණුව ලබා දීම මේ වන විටත් ආරම්භ කර ඇති බවයි. ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් යුනිසෙෆ් සංවිධානයත් සමග එක්ව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත්, එක වසරේ සිටම භාවිතයෙන් ඉංග්‍රීසි කථනය මේ වන විට ප්‍රායෝගික ව අරඹා ඇති බවත්,

ඒ අනුව පෙරපාසල් වඩාත් ශක්තිමත් කිරීම මගින් ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධන ඉලක්කය සපුරාගන්නා බවත් හෙතෙම පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ ආර්ථික අපහසුතා සහිත දරුවන් ලක්ෂයකට නොමිලේ පාසල් පොත් ලබා දීම වෙනුවෙන් බෝමිරිය ජාතික පාසලේ දී ඊයේ (03) පැවති උත්සවයකට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි. ‘ලොව හොදම දේ දරුවන්ට’ යන තේමාව යටතේ සමෘද්ධි සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන, ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පාසල් යෑම අතරමග නතර කරන දරුවන් එයින් වළක්වාගැනීමේ අරමුණින් ක්‍රියාත්මක ජාතික වැඩසටහනක සමාරම්භක අවස්ථාවයි.

මූලාශ්‍රය : Gossiplanka News

Translate