Home » නව ආයෝජන අවස්ථා බිහි කිරීමට සංචාරක දුම්රියෙන් නව මාවතක් විවර වෙනවා
Featured South Asia Tourism Travel

නව ආයෝජන අවස්ථා බිහි කිරීමට සංචාරක දුම්රියෙන් නව මාවතක් විවර වෙනවා

‘ශනිදා සීතාවක ඔඩිසි’ නව සංචාරක දුම්රිය අරඹමින් ඇමැති, ආචාර්ය බන්දුල ගු ණවර්ධන කියයි

අවම පිරිවැයකින් ඉහළ සංචාරක අත්දැකීමක්

ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවමින් නව ආයෝජන අවස්ථා බිහි කිරීමේ ජාතික වගකීම ඉටු කිරීමට සංචාරක දුම්රිය තුළින් නව මාවතක් විවර වන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මේ අදහස් පළ කළේ ‘ශනිදා සීතාවක ඔඩිසි’ නව සංචාරක දුම්රිය පෙරේදා (05) ගමන් ආරම්භ කළ අවස්ථාවට එක් වෙමිනි.

ඇමැතිවරයාගේ සංකල්පයකට අනුව ආරම්භ කළ ‘සීතාවක ඔඩිසි’ දුම්රියට පවතින ඉහළ මගී ඉල්ලුම පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් ‘ශනිදා සීතාවක ඔඩිසි’ නමින් සෙනසුරාදා දිනයේ මේ දුම්රිය ධාවනයේ යොදවා තිබේ.

එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“සීතාවක ප්‍රදේශය ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කර ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් පසුගිය ජනවාරි මාසයේ සීතාවක ඔඩිසි දුම්රිය ආරම්භ කළේ ප්‍රදේශයේ සුන්දර පරිසරය සහ විශේෂ ස්ථාන වෙත සංචාරය කිරීමේ නව අත්දැකීම ජනතාවට දීමටයි. මේ වන විට ඉරිදා දිනයේදී එය සම්පූර්ණයෙන්ම මගීන්ගෙන් පිරී යන තරමට විශාල ඉල්ලුමක් ඇතිවී තිබෙනවා. ඒ පිළිබඳ සැලකිල්ල යොමු කරමින් සෙනසුරාදා දිනයේදී ද නව දුම්රියක් ආරම්භ කිරීමට අප කටයුතු කළා. කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ දෙනකුට මඟ හැරී තිබෙන මේ සෞන්දර්යාත්මක අත්දැකීම් පිළිබඳ පණිවිඩයක් රටට දීමට චීන, වියට්නාම තානාපතිතුමන්ලා, රුසියානු තානාපති කාර්යාලයේ නිලධාරීන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා ඇතුළු විශේෂ පිරිසක් සහභාගී කර ගනිමින් එහි මංගල චාරිකාව සිදු කළා.

කෙටි කාලයකදී අවම පිරිවැයකින් ඉහළ සංචාරක අත්දැකීමක්‌ ගැනීමේ අවස්ථාවක් මේ සමඟ උදා වෙනවා. සංචාරක ආකර්ෂණය ගැනීමට අමතරව සීතාවක ප්‍රදේශයේ ඓතිහාසික වටිනාකම් සහිත ස්ථාන නැරඹීමටත්, ප්‍රදේශයේ පවතින ගැමි පරිසරයේ අත්දැකීම විඳ ගැනීමටත් මෙයින් අවස්ථාව හිමි වෙනවා.

ඒ සමඟම ප්‍රදේශයේ ජනතාවට නව ආදායම් මාර්ග උත්පාදනය වෙනවා. ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවමින් නව ආයෝජන අවස්ථා බිහි කිරීමේ ජාතික වගකීම ඉටු කිරීමට නව මාවතක් විවර වනු ඇති බවට මා විශ්වාස කරනවා.

අග්‍රාමාත්‍යතුමාගේ මැතිවරණ ප්‍රදේශය ලෙස මේ ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම පිළිබඳව එතුමාගේ ද විශේෂ අවධානය නිරන්තරයෙන් යොමු වෙනවා. අප විසින් ආරම්භ කරන ලද මේ සංකල්පයෙන් ඇල්ල, දකුණු පළාත වැනි ජනප්‍රිය සංචාරක ගමනාන්ත අතරට සීතාවක ප්‍රදේශය ද නුදුරේදීම එක්වනු දැකීම අපගේ බලාපොරොත්තුවයි.

කොළඹ ප්‍රදේශයට ජලය සපයන ප්‍රධානම ජලාශයක් වන කලටුවාව ජලාශය සහ එහි කටයුතු සිදු කෙරෙන ආකාරය, සුවිශේෂී සංචාරක ආකර්ෂණයක්‌ හිමි වන රන්මුදු ඇල්ල ඇතුළු ස්ථාන රැසක සංචාරය කිරීමේ අවස්ථාව ද සීතාවක ඔඩිසි සංචාරක දුම්රිය ගමනට එක් වන පිරිසට හිමි වෙනවා.”

නව දුම්රිය ගමන් ආරම්භය සිහිපත් කිරීම වෙනුවෙන් විශේෂ රුක් රෝපණ වැඩසටහනක් ද ඇමැතිවරයා ප්‍රමුඛ විදේශ තානාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් සීතාවක උද්භිද උද්‍යානයේදී සිදු කෙරිණි.

වැඩසටහනේ අවසන් අංගය ලෙස දේශීය සංස්කෘතිය විදහා දැක්වෙන සංස්කෘතික සංදර්ශනයක්‌ ද උද්භිද උද්‍යාන පරිශ්‍රයේදී ඉදිරිපත් කරනු ලැබීය.

මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති චී සෙන්හොන්ග් (Qi Zhenhong) ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති හෝ ති තන් ටෘක් (Ho Thi Thanh Truc), රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී නටාලිය කුලිෂෙන්කෝ (Natalia Kulishenko), මෙරට විදේශ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර, දිස්ත්‍රික් ලේකම්, දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ඇතුළු නිලධාරීන්, අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනවල ප්‍රධානීන්, දෙස් විදෙස් සංචාරකයන් ඇතුළු මාධ්‍යවේදීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

Source : Dinamina

Translate