Home » කැනඩා අගමැතිගේ ප්‍රකාශයට ශ්‍රී ලංකාවේ බලවත් විරෝධය
Europe Featured Global News News Politics Sri Lanka

කැනඩා අගමැතිගේ ප්‍රකාශයට ශ්‍රී ලංකාවේ බලවත් විරෝධය

යුද ගැටුම් පැවති සමයේ ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදුවූ බව පවසමින් කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව රජය අවධාරණය කරයි. රටක ප්‍රමුඛ පෙළේ නායකයකු මෙවැනි වගකීම් විරහිත සහ පක්ෂග්‍රාහී ප්‍රකාශයන් සිදුකිරීම හේතුවෙන් සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම වෙනුවට කැනඩාව සහ ශ්‍රී ලංකාව තුළ අසමගිය සහ වෛරය ව්‍යාප්ත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වාදෙයි.

වෛරී, සාවද්‍ය තොරතුරු සහ අන්තවාදී අදහස් ප්‍රවර්ධනය කරන ගෝලීය වේදිකාවක් බවට කැනඩාව පත් කිරීමෙන් වළකින ලෙසත්, විකෘති කරුණු මත පදනම්ව ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන අනවශ්‍ය අවධානය නවතාලන ලෙසත් ශ්‍රී ලංකාව කැනඩාව සහ එහි නායකයන්ගෙන් ඉල්ලා සිටින අතර, මෙම ක්‍රියාව, Òලොව පුරා මානව හිමිකම් සුරකිමුÓ යනුවෙන් කැනේඩියානු අගමැතිවරයා සිදු කර ඇති අරමුණට පටහැනි බවද එම අමාත්‍යාංශය කියයි.

කැනඩාව තුළ තම පැවැත්ම තහවුරු කර ගැනීමේ අරමුණින් සාවද්‍ය තොරතුරු පතුරුවා හරිමින් ව්‍යාජ වෛරයක් නිර්මාණය කිරීමට වෙහෙසෙන, දේශාපාලනීකරණයට ලක් වූ ශ්‍රී ලංකා විරෝධී කොට්ඨාස ‘ජන සංහාරය’ පිළිබඳව හිතාමතා නිර්මාණය කර ඇති මෙම පදනම් විරහිත ප්‍රකාශය ශ්‍රී ලංකාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන අතර, සමාජ මාධ්‍ය වේදිකා ඇතුළුව විවිධාකාරයෙන් පළවන තොරතුරු හරහා ඉස්මතු වන අන්තරායන්ට එරෙහිව මුළු ලොවම සටන් කරන මොහොතක මෙවැනි ක්‍රියාමාර්ගවලට එළැඹීමෙන් වළකින ලෙස ඉල්ලීමක් කරයි. දශක තුනකට අධික කාලයක් මුළුල්ලේ ලොව කුරිරුතම ත්‍රස්තවාදී සංවිධානයක් වන “එල්ටීටීඊ” සංවිධානය මෙහෙයවූ කුරිරු ත්‍රස්තවාදය හේතුවෙන් මෙරට සෑම ප්‍රදේශයකම විසූ දමිළ, මුස්ලිම්, සිංහල යන සියලුම ජන කොටස් පීඩාවට ලක් විය. මෙකී සියලුම ජන කොට්ඨාසවල ජීවනාලිය හා ප්‍රජාජන්ත්‍රවාදී අයතීන් යටපත් කෙරිණි. ශ්‍රී ලංකාවේ සහ විදේශීය නායකයන් මෙන්ම මධ්‍යස්ථ දමිළ නායකයන් ද එල්ටීටීඊ සංවිධානය විසින් ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ අතර, මෙම ත්‍රස්තවාදී සංවිධානය පරාජය කිරීම හේතුවෙන් මෙරට ආරක්ෂාව සහ ස්ථාවරත්වය ගොඩනැඟීමට අවස්ථාව උදාවිය.

කැනඩාව ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කිහිපයක එල්ටීටීඊ සංවිධානය තවදුරටත් තහනම් කර ඇති අතර, මෙරට ස්වෛරීභාවය, ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ඉදිරියට පැමිණි ශ්‍රී ලාංකික රණවිරුවන් රැසක් ඝාතනයට ලක් වූ අතර, තවත් බොහෝදෙනෙකු ආබාධිත තත්ත්වයට පත්වූ බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර හරවත් සහ අන්‍යෝන්‍ය වශයෙන් ශක්තිමත් සබඳතාවක් පවත්වන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනේඩියානු ප්‍රජාව හරහා දෙරටේ සබඳතා ශක්තිමත් වී ඇත. කැනඩාවේ සහ විදේශ රටවල ප්‍රජාවන් ධ්‍රැවීකරණයට ලක් නොවන පරිදි මෙම වේදිකාව භාවිතා කරන ලෙසත්, මිනිසුන් අතර මිත්‍රත්වයේ සහ සහජීවනයේ බැඳීම් නිර්මාණය කිරීමට දායක වන ලෙසත් අප කැනේඩියානු රජයෙන් සහ එහි නායකයින්ගෙන් ඉල්ලා සිටී.

වර්තමානයේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන සමාජ-ආර්ථික අභියෝග මධ්‍යයේ වුව ද, ශ්‍රී ලංකාව සියලු ප්‍රජාවන් සහ සියලු ජන කොටස් අතර ස්ථාවරත්වය සහ ප්‍රකෘතිමත්භාවය වර්ධනය කිරීම සහ ප්‍රතිසන්ධානය වැඩි දියුණු කිරීම සඳහා විශිෂ්ට උත්සාහයක් දරා ඇත. මෙම ප්‍රයත්නය සඳහා ජාත්‍යන්තර ප්‍රජාව මෙරටට ලබා දුන් සහයෝගය අප බෙහෙවින් අගය කරයි. ශ්‍රී ලංකාව සහ කැනඩාව යන රාජ්‍යයන් ද්විත්වය, පොදු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්, ආයතන සහ සම්ප්‍රදායන් අනුගමනය කිරීමටත්, සෙසු පුරවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සාමය සහ සමෘද්ධිමත්භාවය ප්‍රවර්ධනය කිරීම සඳහාත් කැපව සිටින බැවින්, දිගුකාලීන ද්විපාර්ශ්වික සහ සංවර්ධන හවුල්කරුවකු වන කැනඩාව සමඟ අන්‍යෝන්‍ය ගෞරවයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන ශ්‍රී ලංකාව, සිය ජනතාවගේ සහ අනාගත පරම්පරාවේ සෞභාග්‍ය සුරක්ෂිත කිරීමෙහිලා අවධානය යොමු කර ඇති ජාතික අවශ්‍යතාවට හානි එල්ල නොවන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීමට කටයුතු කරන ලෙස කැනඩාවෙන් ඉල්ලීමක් කරයි.

මූලාශ්‍රය : දිනමිණ

Translate