Home » විදුලි බිලටත් මිල සූත්‍රයක්
Economy Featured News Sri Lanka

විදුලි බිලටත් මිල සූත්‍රයක්

ඉන්ධන මිල සංශෝධනය කරන මිල සූත්‍රයක් හඳුන්වා දුන් පරිදිම සෑම වසරකම ජනවාරි 01 වෙනිදා හා ජූලි 01 දක්වා විදුලිබිල සංශෝධනය කිරීමේ මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව ඉන්ධනවලට මාසිකව ක්‍රියාත්මක වන මිල සූත්‍රයක් ද විදුලි බිලට අර්ධ වාර්ෂික මිල සූත්‍රයක් ද හඳුන්වා දීමට නියමිතව ඇතැයි මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ආර්ථික ස්ථායිකරණය තුළින් තිරසර වර්ධනයක් කරා මැයෙන් කරුණු දක්වන රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව වැඩි මිලට මිලදී ගෙන අඩු මිලට විකිණීමේ ක්‍රියාදාමය නිසා විදුලිබල මණ්ඩලයත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් ලබන පාඩුව අතිවිශාල බව වාර්තා වේ. දිගින් දිගටම මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා ගෙන මෙම ආයතන පවත්වාගෙන යාම අසීරු කරුණක් වී තිබේ. එය මඟහැරවීම සඳහා මිල සූත්‍රය හඳුන්වා දෙනු ඇත.

මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ රජය සිදුකළ ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාව යටතේ ඉන්ධන මිල මාසිකව සංශෝධනය කරන ලද අතර ඒ තුළින් සංස්ථාවට දැරීමට සිදුවූ පාඩුව අවම කර ගැනීමට හැකි වූ බවයි. එලෙසින් ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවන පාඩුව අවම කර ගැනීම සඳහා අර්ධ වාර්ෂිකව මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජය කටයුතු කරමින් සිටින බව ද රාජ්‍ය ඇමැතිවරයා කීය.

මූලාශ්‍රය : සිළුමිණ

Translate