Home » පාකිස්තානයම යුද පිටියකට ගෙනා ක්‍රිකට් පිටියේ වීරයාගේ නොඇසූ කතාව
Featured News Pakistan

පාකිස්තානයම යුද පිටියකට ගෙනා ක්‍රිකට් පිටියේ වීරයාගේ නොඇසූ කතාව

හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම නිසා ජාත්‍යන්තර අවධානය පසුගිය දින කිහිපයේදිම යොමුවී තිබුණේ පාකිස්තානය දෙසටය. ඉම්රාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු රට පුරා ප්‍රචණ්ඩ ක්‍රියා පැතිර යෑම හා දින තුනකට පසු ඔහු නිදහස් කිරීම එරට මාධ්‍යයට අනුව එක දිගට හමා ගිය චණ්ඩ කුණාටුවක් මෙනි. ගතවී තිබූ පැය 72කට වැඩි කාලයක් පාකිස්තානය එකම යුද පිටියක් විය.

1996දී ටෙහ්රීකි ඉන්සාෆ් නමින් තමන්ගේම දේශපාලන පක්ෂයක් පිහිටුවා ගනිමින් දේශපාලන කරළියට පැමිණි ඉම්රාන් ඛාන් මේ වන විට ගත කරමින් සිටින්නේ ඔහුගේ දේශපාලනයේ අතිශය අවදානම් ගමන් මඟකය. ඔහුගේ පක්ෂය 2002දී තනි ආසනයක් දිනා ගැනීමෙන් පසු පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසි ඉම්රාන් වසර දහයකට පසු එරට දෙවැනි බලවේගය බවට පත් වූ අතර, 2018 මැතිවරණයේදී පාකිස්තානයේ අගමැතිවරයා ලෙස තේරී පත් විය. විස්මයජනකය. මේ වන විට ඔහුගෙන් තොර පාකිස්තානයක් නැති තරමට ඔහු ජනතාව අතර විශ්වාසයක් ගොඩනඟමින් වත්මන් රජයේ ප්‍රබලතම ප්‍රතිවාදියා බවට පත්වී සිටී. පසුගියදා ඔහු අත්අඩංගුවට ගැනීමත් සමඟ පාකිස්තානය පුරා පැතිර ගිය විරෝධතා සහ ප්‍රචණ්ඩත්වය ඊට කදිම නිදසුනකි.

 

සිය ජීවිත කාලයෙන් වසර 21ක් ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසත්, තවත් වසර 4ක් සමාජ සේවය හා සුබසාධනයට කැපවූවකු ලෙසත් කටයුතු කළ ඉම්රාන්ගේ දේශපාලන ජීවිතයට දැන් වසර 27කි. සියල්ලෙහි එකතුව අඩසිය වසකට වැඩිය. අවුරුදු 18දී ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ආරම්භ වූ ඔහුගේ ගමන් මඟ අවුරුදු 70ක් වන විට ලොව පිළිගත් දේශපාලන නායකයකු බවට විශාල පරිවර්තනයට ලක් වූවකි. එකිනෙකට හාත්පසින්ම වෙනස් ක්ෂේත්‍ර දෙකක ප්‍රධාන භූමිකාව සාර්ථකව රඟ දැක්වූ මේ අපූරු මිනිසාගේ ජනප්‍රියත්වය පාකිස්තානයෙන් පවා ඔබ්බට ගිය එකකි. කෙටියෙන්ම කියන්නේ නම් ඔහු තවමත් ක්‍රීඩා කරමින් සිටියි. වෙනස වන්නේ එය ක්‍රිකට් පිටිය නොව දේශපාලන පොර පිටිය වීම පමණි. ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගනු ලැබුවේ අගමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේදී ඔහු සිය බිරිය සමඟ එක්ව සිදු කළ බව කියන පාකිස්තාන රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාවකට බව කියැවේ. අල් කදීර් භාරකාර නඩුව ලෙස හඳුන්වා ඇති එම නඩුව ගොනු කර ඇත්තේ එරට දූෂණ විරෝධී රාජ්‍ය ආයතනය වන ජාතික වගවීමේ කාර්යාංශය විසිනි.

මෙවැනි චෝදනා ඔහුට එල්ල වූයේ අගමැති පදවියේ සිටියදීමය. එවකට ඔහුට විදෙස් රාජ්‍ය නායකයන්ගෙන් සහ වෙනත් ප්‍රභූවරුන්ගෙන් ලැබුණු අතිශය වටිනා ත්‍යාග රජයේ භාණ්ඩාගාරයට භාර දීම මඟ හරිමින් ඒවා විකුණා දැමූ බවටත්, තම හිතවතුන් අතර බෙදා දුන් බවටත් තවත් චෝදනාවකි. ඉම්රාන්ට අගමැති ධුරය අහිමිවීමට බලපෑවේ එම චෝදනාවය. පාකිස්තාන දේශපාලන ඉතිහාසයේ විශ්වාසභංග යෝජනාවකින් බලය අහිමි කරගත් පළමු අගමැතිවරයා ලෙස ඉතිහාසයට එක්වූ ඉම්රාන්ගේ අරමුණ යළි රාජ්‍ය බලය ලබාගැනීමය. ඔහු කියන්නේ පාකිස්තානය පිරිසුදු රටක් බවට පත් කිරීම තම ඒකායන අරමුණ බවය. දූෂණ වංචා චෝදනාවට ලක්වූ හිටපු අගමැතිවරයා එසේ ප්‍රකාශ කිරීම ඇතැමුන්ගේ විමතියට කරුණක් වූවද, එරට බහුතර ජනතාව නම් කියන්නේ ඉම්රාන් ඛාන් යනු දූෂිත දේශපාලකයන්ගෙන් පිරුණු පාකිස්තානයේ පිරිසුදු යැයි කිව හැකි දේශපාලනඥයකු බවය.

එසේ කියන්නේ ඔහු ධනයට ලොල් වූ පුද්ගලයකු නොවන බවට නිදසුන් ද ගෙන හැර පාමිනි. එය සැබෑය. මන්ද ඉම්රාන් යනු එරට පතාන් පරපුරේ ධනවත් පවුලක උපන්නකු වන බැවිනි. කුඩා වියේ සිටම ඔහුට මුදලින් කිසිදු අගහිඟකමක් නොතිබිණි.

ලාහෝර් නුවර කතෝලික පාසලක මූලික අධ්‍යාපනයත්, එංගලන්තයේ වොරිස්ටෂයර් ප්‍රාන්තයේ රාජකීය ග්‍රැමර් විදුහලේ වැඩිදුර අධ්‍යාපනයත් ලබා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට එවකට පාකිස්තානයේ කිසිවකු සමත් වූයේ නම් ඒ ධනවත් පවුලක තරුණයකු පමණි. සොහොයුරියන් සිව්දෙනකුගෙන් යුතු පවුලක එකම පුත්‍රයා වූ ඉම්රාන්ට අතදිග හැර වියදම් කිරීමට ඔහුගේ පියාට ඇතිතරම් මුදල් තිබිණි.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔහු දස්කම් පෑම ආරම්භ වූයේ 1972දී එංගලන්තයට යෑමෙන් පසුවය. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමෙන් පසු ඔහු එහි ක්‍රිකට් කණ්ඩායමේ ද සාමාජිකයකු විය. ඔහු පළමුවරට පාකිස්තාන ජාතික පිලට සේන්දු වූයේ වොරිස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ කාලයේදීය.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් දර්ශනවාදය, දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිය ලබා පසුකාලීනව ලෝක ක්‍රිකට් පිටියේ නොම්මර එකේ තුන්ඉරියව් ක්‍රීඩකයකු ලෙසත්, සාර්ථක ක්‍රිකට් නායකයකු ලෙසත් ජාත්‍යන්තර පැසසුමට ලක්වූ ඉම්රාන් ඛාන්ගේ ක්‍රිකට් දිවියේ ඉහළම ජයග්‍රහණය වන්නේ 1992 වසරේ ඔස්ට්‍රේලියාවේදී එක්දින ලෝක කුසලානය දක්වා කණ්ඩායම මෙහෙයවමින් පාකිස්තානයට පළමුවරට ලෝක කුසලානයක් දිනා දුන්නේය. ඒ වන විට 39 හැවිරිදි වියෙහි පසු වූ ඉම්රාන්ට ක්‍රීඩාවෙන් සමුගැනීමේ බලවත් අවශ්‍යතාවක් තිබිණි. සැබැවින්ම ඔහු ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කළේ ඊට වසර පහකට පෙර 1987 ලෝක කුසලාන තරගාවලිය අවසානයේදීය. එහෙත් ඒ වන විට පාකිස්තානයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජෙනරාල් සියා උල් හක්ගේ බලවත් ඉල්ලීම මත සිය තීරණය වෙනස් කිරීමට ඔහුට සිදු වී තිබිණි.

ඔහුගේ අරමුණ වූයේ ජනතාවට සේවය කිරීමය. එය එක් අතකින් ඉම්රාන්ගේ දේශපාලන ජීවිතයේ මූලාරම්භය ලෙසත් ඇතැමුන් හඳුන්වති. 1991 වසරේදී එවකට පාකිස්තානයට විශාල අඩුවක් ලෙස පැවැති පිළිකා රෝහලක් ඉදි කරමින් ජනතාව අතර ක්‍රීඩාවෙන් ඔබ්බට ගිය ජනප්‍රියත්වයකට හිමිකම් කී ඉම්රාන් 1992 වසරේ ලෝක කුසලානය ජය ගැනීමෙන් පසු සදහටම පිටියෙන් ඉවත් වූයේ තවත් එවැනි සුබසාධන ව්‍යාපෘති රැසකට එක්වීමටය. පාකිස්තානයේ අදටත් ඇති එකම පිළිකා රෝහල ඔහු ඉදි කළේ පිළිකා රෝගයෙන් මිය ගිය සිය මව වන ෂවුකත් කානුම් සිහිපත් කිරීමටය. එය නම් කර ඇත්තේ ද ෂවුකත් කානුම් අනුස්මරණ පිළිකා රෝහල සහ පර්යේෂණ මධ්‍යස්ථානය ලෙසිනි.

‘මගේ ලෝකයේ සිහින දෙකක් තිබුණා. එකක් පිළිකා රෝගයෙන් මෙලොව හැර ගිය මගේ ආදරණීය මව වෙනුවෙන් ජනතාවට පිළිකා රෝහලක් ඉදි කරදීම. අනික මගේ නායකත්වයෙන් පාකිස්තානයට ක්‍රිකට් ලෝක කුසලානයක් අත්කර දීම. මේ සිහින දෙකම මගේ ජීවිතයේ සැඳෑ සමයේදී සැබෑ කරගැනීමට මට හැකියාව ලැබුණා.‘ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී එක්දින ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු ඔහු මිලියන ගණනාවක ක්‍රීඩාලෝලීන් හමුවේ එසේ ප්‍රකාශ කළේය.

ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසු ඔහු තවත් එවැනි සුබසාධන වැඩසටහන් රැසකට අත තැබූ අතර, ක්‍රීඩාව සම්බන්ධව යුනිසෙෆ් සංවිධානයේ විශේෂ නියෝජිතයකු ලෙස ද කටයුතු කළේය. ඔහු කලක් එංගලන්තයේ බ්‍රැඩ්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස කටයුතු කළ බව දන්නේ අතලොස්සකි. හෙතෙම 2005 වසරේ සිට එම ධුරයේ කටයුතු කළ ඉම්රාන්ට දේශපාලන ජීවිතයේ කාර්යබහුලත්වය හේතුවෙන් ඊට වසර 9කට පසු තනතුර හැර යෑමට සිදු වී තිබිණි. ඒ වෙද්දී ඔහු තනතුරෙන් ඉවත් කිරීමට බ්‍රැඩ්ෆෝර්ඩ් විශ්විද්‍යාලයීය සංගමයත් යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ දේශපාලන අවිවේකිකම නිසා ඉම්රාන් 2010 වසරේ සිට එම විශ්වවිද්‍යාලයේ කිසිදු වාර්ෂික උපාධි පිරිනැමීමේ උත්සවයකට සහභාගි නොවීම නිසාය. බ්‍රැඩ්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට පත්ව මාසයක් ගතවීමටත් පෙර ඔහු එහි අනුබද්ධිත විදුහලක් ලෙස නමාල් විදුහල නමින් පන්ජාබයේ කාර්මික විදුහලක් ඉදි කිරීමට ද කටයුතු කර තිබිණි.

එංගලන්තය සමඟ ඔහුට ඇත්තේ අතිශය කිට්ටු සම්බන්ධතාවකි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සිසුවකු ලෙසත්, ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසත් ඉම්රාන්ට එංගලන්තයේ තිබුණේ ඉහළ පිළිගැනීමකි. නළුවකු මෙන් කඩවසම් පෙනුමක් තිබූ බැවින් එංගලන්තයේදී ඔහුට පෙම්වතියන්ගෙන් ද අඩුවක් නොතිබිණි. ඇතැම් තොරතුරුවලට අනුව ඔහුට එවකට ලන්ඩන් නුවර රාත්‍රී සමාජශාලා අතර නිතර ගැවසුණු සෙල්ලක්කාර තරුණයෙකි. එය එංගලන්තය තනිකරම ඉම්රාන්ගේ නිජබිම බවට පත්ව තිබුණු කාලයකි. එවකට බ්‍රිතාන්‍ය රජ පවුලේ ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා වූයේ ද ඉම්රාන් ය. තම ජීවිතයේ වඩාත්ම ප්‍රියජනක දේවල් කුමක් දැයි වරක් මාධ්‍යවේදියකු ඩයනා කුමරියගෙන් විමසා සිටි මොහොතේ ඇය පැවැසූයේ යෝගට්, චාල්ස් කුමරුගෙන් ඉවත්ව සිටිම සහ ඉම්රාන් ඛාන් පන්දු යැවීමට දිව එන විලාසය ඇගේ ප්‍රියතම දේවල් බවය.

ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ලොව පුරා බොහෝ රටවල තරුණියන්ගෙන් ඔහුට ලැබුණු පෙම් ඇරියුම්වලත් නිමක් නොවීය. වතාවක් ඔහු පාකිස්තාන පිල සමඟ ඉන්දීය සංචාරයකට එක්වූ මොහොතක බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ඔහුට රඟපෑමට ද ඇරියුම් කර තිබිණි. ඔහු එය මඟ හැර ඇත්තේ ‘ඇයි ඉන්දියාවට නළුවන්ගේ අඩුවක් තියෙනවද‘ අසමිනි.

සිය තරුණ වියේදී සෙල්ලක්කාර තනිකඩයකු ලෙස ලෝකය පුරා රස්තියාදු ගසමින් විනෝද වූ ඉම්රාන් විවාහ වූයේ 42 හැවිරිදි වියට පා තැබීමෙන් පසුවය. ඔහුගේ අත ගත්තේ ද එංගලන්තයේ සුදු ජාතික තරුණියකි. ඇය එරට වංශවත් පවුලක රූමත් තරුණියක වූ 21 හැවිරිදි ජෙමීමා ගෝල්ඩ් ස්මිත්ය. එය ද පාකිස්තානයේ ආන්දෝලනයකට තුඩු දුන් විවාහයකි. 1995 මැයි මාසයේ සිදු වූ එම විවාහය දැඩි මතධාරී ඉස්ලාම් භක්තියන්ගෙන් පිරුණු පාකිස්තානයට බර වැඩි විය. කෝපය හා විරෝධය ද එල්ල විය. එහෙත් කල් යෑමේදි ජෙමීමා පාකිස්තානයේ තාලයට ජීවත්වීම නිසා එංගලන්ත ලේලිය ගැන පාකිස්තාන ජනතාවට එතරම් ගැටලුවක් මතු නොවීය. ඔහු පුතුන් දෙදෙනකුටම තාත්තා කෙනකු වූ අතර, අතිශය කාර්බහුල දේශපාලන ජීවිතයක් ගත කරමින් සිටියේය. එහෙත් කල් යෑමේදී සියල්ල වෙනස් විය. අවුරුදු 9කට පසුව විවාහය කුරුටු ගෑ ජෙමීමා සිය පුතුන් දෙදෙනාත් රැගෙන නැවත එංගලන්තයට ගියාය.

ඉන් පසුව ඉම්රාන්ට දේශපාලනයෙන් තොර ජීවිතයක් තිබුණේ නැත. ඔහු පාකිස්තානයේ එවකට ජනපති පදවිය දැරූ ජෙනරාල් ෆර්වේස් මුෂාරෆ්ට එරෙහිව වීදි බැස්සේය. මෙය වූකලී ඉම්රාන්ගේ දේශපාලන ජීවිතය මුවහත් කිරීමට බලපෑ ප්‍රධානතම සාධකය ද විය. පසුකලෙක පාකිස්තානයේ මුල් පුරවැසියා වීමේ සියලු සුදුසුකම් සපුරා ගැනීමට ඉම්රාන්ට මාවත හෙළි පෙහෙළි කළ සිදුවීමකි.

ඔහු සිය දෙවැනි විවාහය සිදු කරගනු ලැබුවේ ඊටත් වසර 10කට පසුවය. එවර ඔහුගේ මනාලිය වූයේ බටහිර පන්නයට හැදී වැඩුණු පාකිස්තාන ජාතික ගැහැනියකි. රෙහාම් ඛාන් නැමැති මේ ගැහැනිය ඔහුට මුණගැසුණේ රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදීය. පාකිස්තාන සම්භවයක් සහිතව ලන්ඩනයේ හැදී වැඩුණු මේ සුරූපි කාන්තාව කාලයක් බී.බී.සී. රූපවාහිනියේ මාධ්‍යවේදිනියක ලෙස සේවය කළ අතර එහි කාලගුණ වාර්තාව ඉදිරිපත් කිරීම නිසා ‘කාලගුණ කෙල්ල‘ (weather girl) නමින් ප්‍රචලිතව සිටියාය. ඇය ද කලින් දික්කසාද වූ කාන්තාවකි. ඇය ඉම්රාන්ගේ සෙවණට පැමිණියේ පළමු කසාදේ දරුවන් තිදෙනා ද කැටුවය.

ඉම්රාන් – රෙහීමා විවාහය මාස දහයකින් බිඳ වැටුණේ දේශපාලනික වශයෙන් දෙදෙනා අතර තිබූ මත ගැටුම් නිසා බැව් එරට මාධ්‍ය වාර්තා කළේය. මේ යුවළ අතර පෞද්ගලික ආරාවුල් කිසිවක් නොතිබුණත් දේශපාලනමය වශයෙන් දෙදෙනා අන්ත දෙකකට බෙදී සිටි බැව් ඇතැමුන් කියති. මේ අතර රෙහීමාගේ 22 හැවිරිදි පුත් සහීර් පෞද්ගලික කරුණක් සම්බන්ධව ඉම්රාන් සමඟ වාදයක පැටළුණු බවත් එය දුරදිග යාමෙන් රෙහීමා සහ ඉම්රාන් අතර ගැටුමක් ඇතිවූ බවත් පසුව වාර්තා විය. ඉන් අනතුරුව ඉම්රාන් රෙහීමා සමඟ කතා බහ කිරිම ප්‍රතික්ෂේප කිරීමෙන් ගැටලුව දික්කසාදය දක්වා ඇදී ගිය බවට තවත් වාර්තාවක සඳහන් විය.

සියල්ල අවසානයේ ඉම්රාන් සමඟ දික්කසාදයට අවශ්‍ය ලිපිවලට අස්සන් කළ රෙහීමා ලන්ඩනය බලා පිටත්ව ගියාය. සිය ජීවිතයේ සැඳෑසමය ගත කරමින් සිටි ඉම්රාන්ට 2018 මුල් භාගයේදී තුන්වැනි වරටත් විවාහ වීමේ සිතක් පහළ වූයේ කිනම් හේතුවක් අරභයා දැයි පැහැදිලි නැත. තුන්වැනි වරට ඔහුගේ අතගත්තේ කාලයක් තිස්සේ ඔහුට ඉස්ලාමයේ මූලධර්ම ඉගැන්වූ අාධ්‍යාත්මික උපදේශිකාව වන බුෂ්රා බීබි නැමැති කාන්තාවය. දැඩි ආගම් භක්තිකයකු වූ 45 හැවිදිරි බුෂ්රා සමඟ 65 හැවිරිදි ඉම්රාන්ගේ විවාහය සිදුවීම පාකිස්තානයේ ඉම්රාන්වාදී ජනතාව අතර දැඩි ප්‍රසාදයට කරුණක් වී ඇත්තේ මිට පෙර ඔහු දෙවතාවේදීම විවාහ වූයේ බටහිර සමාජයට බර සංකර ගැහැනුන් සමගවීම නිසාය. එබැවින් මිය යාමට මොහොතකට පෙර හෝ පාකිස්තානයේ පළමු පුරවැසියා වීමේ නොතිත් ආසාවෙන් සිටි ඉම්රාන්ට බුෂ්රා සමග ඇතිකරගත් විවාහය සිය බලාපොරොත්තුව ඉක්මන් කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර තිබිණි. ඔහු පාකිස්තානයේ අගමැති ධුරයට පත් වූයේ ද එම වසරේදීමය. ඇතැමුන් කියන්නේ ඉම්රාන් ඛාන් හොඳම ඉනිම් කිහිපය ක්‍රීඩා කළේ ක්‍රිකට් පිටියේදී නොව ඔහුගේ පෞද්ගලික ජීවිතයේදී බවය. ඇරත් ඉම්රාන් ඛාන් කිසිදාක ක්‍රිකට් පිටියේ කඩුලු ත්‍රිත්වයක් දවාගෙන නැත. බුෂ්රා ද දික්කසාද වූ කාන්තාවකි. ඇයට පුතුන් තිදෙනකු සහ දියණියන් දෙදෙනෙකි. සිය මුල් විවාහයේ පුතුන් දෙදෙනා ද සමඟ දැන් ඉම්රාන් දරුවන් 7කටම ‘තාත්තා‘ කෙනෙකි.

එක් අතකින් බැලූ විට ඉම්රාන් ඛාන් යනු සිය ජීවිතය හැම අතින්ම විඳගත් ඉතා දුර්ලභ වර්ගයේ මිනිසෙකි. ඔහු ක්ෂේත්‍ර ගණනාවකින් සාර්ථකත්වය කරා ගියේ විමතිය දනවන ආකාරයකිනි.

ඔහුගේ නායකත්වයෙන් පාකිස්තාන පිල 1992 දී ලෝක කුසලානය ජයගැනීමේ උද්දාමය විදහා පාමින් ඊට උපහාර පිණිස එරට ජනප්‍රිය ගායක ගායිකාවන් වන ෆායිසා මුජාහිද්,හසන් ඔමර් සහ ආසිෆ් මෙහමූද් එක්ව අපූරු ගීතයක් නිර්මාණය කර තිබිණි. Who rules the world නැමැති එම ගීතය වසර ගණනක් යනතුරුම පාකිස්තානයේ අතිශය ජනප්‍රිය ගීතයක් බවට පත්වී තිබිණි. ඉම්රාන් ඛාන් 2018 මහමැතිවරණ දිනයේදී සිය ඡන්දය භාවිත කිරීමෙන් පසු සිය මෝටර් රථයෙන් ආපසු යද්දී අසමින් ගියේ ද එම ගීතයයි. පසුගියදා පාකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු නිදහස් කිරිමෙන් පසු අධිකරණ භූමියෙන් පිටතට පැමිණෙද්දී Who rules the world යළි යළිත් ඔහුගේ සවන් අතර නින්නාද වූවාට සැකයක් නැත.

මූලාශ්‍රය : සිළුමිණ

Translate