Home » පරිසරය : සංක්‍රමණික පක්ෂි දිනය වෙනුවෙන් වසරකට දින දෙකක් නම් කළේ ඇයි?
Featured News Sri Lanka

පරිසරය : සංක්‍රමණික පක්ෂි දිනය වෙනුවෙන් වසරකට දින දෙකක් නම් කළේ ඇයි?

ලෝක සංක්‍රමණික පක්ෂි දිනය අද (මැයි 13 වැනිදා) සමරනු ලැබේ. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර වශයෙන් වැදගත් කරුණක් පදනම් කරගෙන දිනයක් නම් කිරීමේදී එක් කරුණක් සඳහා නම් කරනු ලබන්නේ එක් දිනයක් පමණි. එහෙත් සංක්‍රමණික පක්ෂි දිනය සැමරීම සඳහා වසරකට දින දෙකක් නම් කර ඇත.

ඊට හේතුව උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ පක්ෂීන් සංක්‍රමණය වෙන කාලය වෙනස් වීමයි.

”මැයි මාසේ දෙවන සෙනසුරාදා සහ ඔක්තෝම්බර් මාසේ දෙවන සෙනසුරාදා කියන දවස් දෙකේම සංක්‍රමණික පක්ෂී දිනය සමරනවා. ඒක මුලින්ම සැමරුවේ මැයි මාසේ දෙවන සෙනසුරාදා. ඒකට බොහෝ දෙනාගේ විරෝධය එල්ල වුණා. ඒක යුරෝපයට අදාල වුණාට අපිට ඒ කාලේ කුරුල්ලෝ එන්නේ නැති නිසා අපේ රටවලට සමරන්න බෑ කියලා. ඒ නිසා තමයි ඔක්තෝම්බර් මාසේ තව දිනයක් ලැබුණේ” යනුවෙන් ආචාර්ය ජගත් ගුණවර්ධන සංක්‍රමණික පක්ෂි දිනයේ ඉතිහාස කතාව විස්තර කළේය.

මෙවර සංක්‍රමණික පක්ෂි දිනයේ දී තේමාව ප්‍රකාශය පත් කර තිබෙන්නේ පක්ෂි පැවැත්ම සඳහා ජලයේ වැදගත්කම පදනම් කර ගෙනයි.

”දේශගුණ විපර්යාස සහ මානව ක්‍රියාකාරකම් නිසා ජල ප්‍රභව විනාශ වීම පක්ෂීන්ගේ පැවැත්මට ලොකු තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. අපි දුර ගමනක් යනකොට ඉන්ධන ලබා ගන්න නතර වෙනවා වගේ සංක්‍රමණික කුරුල්ලෝ කිලෝමීටර් දහ පහළොස්දාහක් දුර පියාඹන කොට විවේක ගන්න, ආහාර සහ ජලය ගන්න තෙත් බිම්වල නවතිනවා. වනාන්තරයකට වඩා තෙත් බිමකින් ලබා ගන්න පුළුවන් ශක්තිය ගොඩක් වැඩියි. ඒ නිසා ජලාශ්‍රිත පක්ෂීන්ට විතරක් නෙමෙයි, වනාන්තර පක්ෂීන්ට සහ තෘණ භුමි ආශ්‍රිත පක්ෂීන්ටත් දිගු දුරක් යනකොට තෙත් බිම් බොහෝ වැදගත්” යනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය සම්පත් සෙනවිරත්න පැවසුවේය.

”අද විශේෂයෙන් මිරිදිය ජලජ පරිසර පද්ධතියට ලොකු තර්ජනයක් එල්ල වෙලා. මේ සියල්ල සැලකිල්ලට අරගෙන තමයි මෙවර ලෝක සංක්‍රමණික පක්ෂි දිනයේ තේමාව ජලය පදනම් කරගෙන ඉදිරිපත් කරලා තියෙන්නේ” යනුවෙන් මහාචාර්ය සම්පත් සෙනවිරත්න වැඩි දුරටත් විස්තර කළේය.

ශ්‍රී ලංකාවෙන් කුරුලු විශේෂ 500ක් පමණ වාර්තා වෙන අතර ඉන් විශේෂ 250ක් පමණ සංක්‍රමණික කුරුල්ලන් වීම විශේෂත්වයකි.

ඇතැම් කුරුල්ලන් එකම ස්ථානයකදී වසර කිහිපයක් දක්නට ලැබෙන අතර ඔවුන් නිවැරදිව පාර සොයා ගන්නේ කෙසේදැයි ඔබ මවිතයට පත්විය හැකිය.

කුරුල්ලන් සංක්‍රමණය වීමට හේතුව, ඔවුන් නිවැරදිව මග සොයා ගන්න ආකාරය, ශ්‍රී ලංකාව සංචාරක කුරුල්ලන්ගේ පාරාදීසයක් වීමට හේතුව සහ නවීන තාක්ෂණය භාවිතයෙන් කුරුල්ලන්ගේ ගමන් මාර්ගය අධ්‍යනය කිරීම ආදී තොරතුරු මෙම වීඩියෝවේ අන්තර්ගත වේ.

මූලාශ්රය : BBC

Translate