Home » කවුරුත් දන්නා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ආරම්භය කෙසේ සිදුවී ද?
China Economy Featured News Sri Lanka

කවුරුත් දන්නා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ආරම්භය කෙසේ සිදුවී ද?

කොළඹයැ යි කියූ සැණින් අප රටේ ජනතාවගේ පමණක් නොව ලොව ඕනෑම කෙනෙකුගේ මතකයට නැගෙන එක් නමක් තිබේ. ඒ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව යි.

ඉකුත් මැයි මස 10 වනදාට පනස් වසරක් සපිරූ මෙම සම්මන්ත්‍රණ ශාලාව මෙරට ජන සමාජය සමග බද්ධවී ඇත.

ලොකු කුඩා කවුරුත් දන්නා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ආරම්භය කෙලෙස සිදුවූවක් ද?

1956 වසරේ දී මෙරට අග්‍රාමාත්‍යධුරයට පත් දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩි. බණ්ඩාරනායක සිහිවනු පිණිස චීන රජය විසින් මෙම සම්මන්ත්‍රණ ශාලාව මෙරටට පරිත්‍යාග කෙරුණි.

ඒ, එස්. ඩබ්ලිව්. ආර්. ඩි. බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයාගේ ධුර කාලයේ දී ඔහු අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තියට ගරු කිරීමක් වශයෙනි.

මෙම සම්මන්ත්‍රණ ශාලාවේ ඉදිකිරිම සඳහා චීන රජයෙන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 35ක් පරිත්‍යාග කරනු ලැබීය.

සම්මන්ත්‍රණ ශාලාවේ ඉදිකිරීම් ආරම්භය

ලොව පළමු අග්‍රාමාත්‍යවරිය වන සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් 1970 වර්ෂයේ නොවැම්බර් 24 වෙනිදා පස්වරු 4.00ට එම කටයුතු ආරම්භ කෙරුණි.

එම අවස්ථාවට එවක මෙරට චීන තානාපතිවරයා සහ නිවාස අමාත්‍ය පීටර් කේනමන් ද එක්ව සිටියේ ය.

මෙම ඉදිකිරීමේ නිර්මාණ ශිල්පියා වූයේ චීන ජාතිකයෙකු වූ බීජිං කාර්මික සැලසුම් ආයතනයේ දායි නියැන්සි ය.

ඉදිකිරීම් කටයුතු සඳහා සේවකයින් දෙදහසක්

සේවකයින් දෙදහසකගේ ශ්‍රම දායකත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඉදිකිරීමේ කටයුතු 1973 වසරේ මැයි මස 17 වෙනිදා වන විට අවසන් කිරීමට ශ්‍රී ලංකා රජය සමත්විය.

අක්කර 40ක භුමි ප්‍රමාණයකින් යුක්ත දකුණු ආසියාවේ ජාත්‍යන්තර පහසුකම් සහිත උසස් ප්‍රමිතියෙන් යුත් සම්මන්ත්‍රණ ශාලාවක් ලෙස එය මෙරට ජනතාවට හිමිවිය.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඇති දුර්ලභ කෞතුගාරය

බණ්ඩාරනායක සම්මන්ත්‍රනශාලා භුමියේ ප්‍රධාන ගොඩනැගිල්ල අසල විශේෂ අංගනයක මෙරට පළමුවරට ජනසතු කරන ලද බස් රථය දැක බලා ගැනීමට අවස්ථාව තිබෙන බව එහි ව්‍යාපාර ප්‍රවර්ධන ප්‍රධානි දේවන්ති ඇඹුල්දෙනිය බීබීසී සිංහල සේවයට පවසා සිටියා ය.

“ලංකාවේ පළමු වරට ජනසතු කරන ලද බස් රථයට අමතරව මෙහි කෞතුගාර දෙකක් පිහිටා තිබෙනවා.

“ඉන් එකක් දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩි. බණ්ඩාරනායක හිටපු අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් වෙන්කර තිබෙන්නේ. එතුමා ඝාතනය වූ අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම් ඇතුළුව භාවිතයට ගත් උපකරණ රැසක් එහි තැම්පත් කර තිබෙනවා.

“අනෙක් කෞතුගාරය වෙන්කර තිබෙන්නේ දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිවරිය වෙනුවෙන්,” ඇඹුල්දෙනිය පැහැදිළි කළා ය.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වූ ප්‍රධාන උත්සව

1976 වර්ෂයේ දී රටවල් 85ක රාජ්‍ය නායකයින්ගේ සහභාගීත්වයෙන් යුක්තව බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේ දී පැවැති පස්වන නොබැදි ජාතීන්ගේ සමුළුව ඉන් ප්‍රධාන තැනක් ගනියි.

ඉන් පසුව 1991 සහ 1998 වසරේ දී සාර්ක් රාජ්‍ය නායක සමුළුව ද මෙහි පවත්වන ලදී.

පනස්වන නිදහස් දිනය වෙනුවෙන් සංවිධාන කළ ඓතිහාසික ප්‍රදර්ශනය ද මෙම සම්මන්ත්‍රණ ශාලා භුමියේ පැවති අතර එය නැරඹීමට දෛනිකව පුද්ගලයින් එක් ලක්ෂ පනස්දහසකට අධික පිරිසක් පැමිණ තිබේ.

“බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිකිරිම සිදුවූ 1973 වර්ෂයේ දී සාදා තිබුනේ ප්‍රධාන සම්මන්ත්‍රන ශාලාව පමණ යි. අද මේ වන විට මෙම භුමියේ ඕනෑම ආකාරයේ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට හැකි ශාලා 33ක් තිබෙනවා.

“ඉන් විසිදෙකක් ගෘහස්ත සම්මන්ත්‍රණ පැවැත්වීමේ ස්ථාන වන අතර, 12ක් එළිමහන් උත්සව පැවැත්වීමට හැකි ස්ථාන වනවා,” ඇඹුල්දෙනිය පවසා සිටියා ය.

පනස්වෙනි සංවත්සරයට නිකුත් කළ සමරු කවරය

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පනස්වන සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ඊයේ දිනයේ දී විශේෂ සමරු කවරයක් නිකුත් කරනු ලැබීය. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයක දී යි.

මෙම සැමරුම් කවරය රුපියල් 25ක අගයකින් යුක්ත වෙයි.

එම සැමරුම් කවරයේ ඇති මුද්දරයේ තිබෙන QR කේතය ස්කෑන් කිරීමේ දී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව සම්බන්ධයෙන් වන තොරතුරු ලබාගත හැකිබව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

මූලාශ්රය : BBC

Translate