Home » අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ලංකාවේ පිහිටට එයි
Economy Featured News Politics Sri Lanka

අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ලංකාවේ පිහිටට එයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සමාප්ත කරන ලෙස කඩිනම් යෝජනාවක් ස්ප්‍රින්ග් සමුළුව වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජෙනට් යෙලන් මහත්මිය පැවසුවාය.

එම සමුළුවේ දෙවන දිනය වන අද (11) ශ්‍රී ලංකාව ඇතුළු මැදි ආදායම්ලාභී රටවල ණය අර්බුදය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතය.

අඩු ආදායම්ලාභී රටවල් සඳහා ක්‍රියාත්මක G-20 යාන්ත්‍රණය හරහා විශේෂ සැලැස්මක් යටතේ ශ්‍රී ලංකාව ඇතුළු මැදි ආදායම්ලාභී රටවලට සහනයක් සලසන ලෙස අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරිය ඉල්ලා සිටියාය.

සමුළුව එළැඹෙන 16 වැනිදා දක්වා වොෂිංටන්හිදි පැවැත්වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව එක්ව වසන්ත සැසිවාරය හෙවත් ස්ප්‍රින්ග් සමුළුව අමෙරිකාවේ වොෂිංටන්හිදි ඊයේ (10) ආරම්භ වුණි.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සහභාගි වී සිටිති.

ස්ප්‍රින්ග් සමුළුවේ සමාරම්භක සංවාදයට එක් වූයේ ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මල්පාස් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මියයි.

විශේෂත්වය වූයේ මෙම සංවාදය මෙහෙයවනු ලැබුවේ ලෝක බැංකුවේ සන්නිවේදන නිලධාරීනි ශ්‍රී ලාංකික නොරෙයානා ප්‍රනාන්දු විසින් වීමය.

මෙහිදී ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මල්පාස් මහතා පැවසුවේ ගෝලීය ආර්ථිකය, සංවර්ධනය වෙමින් පවත්නා රටවල් මුහුණ දෙන ණය අර්බුදය මෙන්ම එම ගැටලුවලට විසඳුම් පිළිබඳව මෙම සමුළුවේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවය.

ලොව රටවල් රැසක් ඉහළ උද්ධමනය හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙන අතර බැංකු පොලී අනුපාත ඉහළ මට්ටමක පවත්වා ගැනීමට මේනිසා සිදුව ඇති බව සංවාදයට එක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය සඳහන් කළාය.

මූලාශ්රය : Sinhala Adaderana

Translate