Home » ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය: ඇරඹුණේ කොහොමද?
Featured News Sri Lanka

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය: ඇරඹුණේ කොහොමද?

ශ්‍රී ලාංකික ජනතාව තුළ වෘත්තීය සමිති පිළිබඳව පවතින්නේ මිශ්‍ර අදහසකි. බලයේ සිටින ආණ්ඩුව සම්බන්ධයෙන් පොදු විරෝධයක් නැගෙන අවස්ථාවලදී ජනතා මතය වෘත්තීය සමිතිවලට පක්ෂපාතී වන අතර, ආණ්ඩුව සම්බන්ධයෙන් ක්ෂණික ප්‍රසාදයක් නැගෙන අවස්ථාවලදී බහුතර ජන මතය වෘත්තීය සමිතිවලට එරෙහිව ක්‍රියාත්මක වේ. ඒ සඳහා ගෙවීගිය වසරින්ම උදාහරණ සපයාගත හැකිය.

පසුගිය වසරේ ‘අරගලය’ සමයේ ආණ්ඩුවට එරෙහිව සටනේදී, වෘත්තීය සමිති ඉදිරිපෙළ භූමිකාවක් නියෝජනය කළේය. විවිධ වෘත්තීන්ට අදාළ වෘත්තීය සමිති නියෝජිතයන් ගාලු මුවදොර අරගල භුමියේ නිරන්තරයෙන් දැකගත හැකිවිය. එහිදී ජන මතය පැවැතියේ වෘත්තීය සමිති හා සමගාමීවය.

එහෙත් පසුගිය මාසය අවසන් වන විට තත්ත්වය අංශක 180කින් ආපසු හැරී ඇති බව පෙනෙන්නට තිබේ. විශේෂයෙන්, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය අනුමතවීමෙන් අනතුරුව, අලුත් අවුරුදු සමය ඉලක්ක කරගනිමින් ආණ්ඩුව ලබාදෙමින් සිටින යම් යම් සහන (සාපේක්ෂව සුළු වුව ද) හමුවේ, බහුතර ජන මතය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට සහාය පළකරන ආස්ථානයක නොපවතින බව දැකගත හැකිය.

විශේෂයෙන්, ඛනිජතෙල් නීතිගත සංස්ථාව ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගනු ලැබූ තීරණවලට එරෙහිව ආයතනයේ වෘත්තීය සමිති ඒකාබද්ධව ගෙනගිය විරෝධතාවට රටේ පොදු ජන සහායක් ලැබුණේ නැත.

එසේම එම විරෝධතාවට එක්වීම හේතුවෙන් වැඩ තහනමට ලක්වූ වෘත්තීය සමිති නායකයන් සම්බන්ධයෙන් ජනතාව පෙනීසිටින බවක් පෙනෙන්නට තිබුණේද නැත.

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ ඉතිහාසය

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය වසර 130ක් පමණ දීර්ඝ සහ වෘත්තීය අයිතීන් දිනාගත් ඉතිහාසයකට හිමිකම් කියන්නකි.

මෙරට පළමු ‘සංවිධානාත්මක’ වෘත්තීය අරගලය හෙවත් වැඩවර්ජනය ලෙස සැළකෙන්නේ 1893 මුද්‍රණකරුවන්ගේ වැඩ වර්ජනය යි.

ඊට පෙර 1860 වර්ෂයේ දී තර්ස්ටන් කාර්මික පාසලේ ගුරුවරුන් සහ වඩු කාර්මිකයන් එහි පරිපාලනයට විරුද්ධ ව සිදු කළ වැඩ වර්ජනය, 1870 දී මඩකලපුව දිස්ත්‍රික්කයේ වාරිමාර්ග වැඩපොළක කම්කරුවන් සිදු කළ වැඩ වර්ජනය, 1879 මස්කඩ හිමිකරුවන් විසින් බදු මුදල් වැඩි කිරීමට එරෙහිව දියත් කළ වැඩ වර්ජනය ආදී වෘත්තීය ක්‍රියාමාර්ග රට තුළ වාර්තාවුව ද ඒවා සංවිධානාත්මක නොවීය.

එහෙත්, ප්‍රසිද්ධ සහ ප්‍රමුඛතම මුද්‍රණ ආයතනයක් වූ එච්. ඩබ්ලිව්. කේව් සහ සමාගමේ කම්කරුවන් සිය වැටුප් මුදල් ප්‍රමාද වීම, ජීවන තත්ත්වය ආදිය පදනම් කරගෙන 1893 දී ආරම්භ කළ වැඩ වර්ජනය (අසාර්ථක වුවද) හේතුවෙන්, මෙරට වෘත්තීය සමිති ඉතිහාසය නිල වශයෙන් ආරම්භ විය.

වර්ජනයෙන් දින කිහිපයකට පසුව, එනම් එම වසරේ 1893 සැප්තැම්බර් 17 වැනිදා, මුද්‍රණාලවල මුද්‍රණ කම්කරුවෝ මෙරට ප්‍රථම වෘත්තීය සමිතිය ලෙස ‘මුද්‍රණ කම්කරුවන්ගේ සංගමය’ ආරම්භ කරන ලදී. එය පසු කලෙක කම්කරු අරගල රැසක ආරම්භයට පදනම දමනු ලැබීය.

ලෝක කම්කරු දිනය

ලොව ප්‍රථම කම්කරු සටන ලෙස හැඳින්වෙන්නේ 1886 ඇමෙරිකාවේ චිකාගෝ නුවර ඇති වූ කම්කරු සටනයි.

ඉන්පසු 1889 ප්‍රංශයේ පැරිස් නුවර දී ජූලි 14 වැනි දින දෙවන ජාත්‍යන්තරය බිහිවීම සිදු විය. එහි යෝජනා අනුව 1890 සිට ලොව පළමු කම්කරු දිනය මැයි පළමුවෙනිදා වශයෙන් නම්කොට ක්‍රියාත්මක කරන ලදී.

මීට පෙර සේවකයන්ට සෙනසුරාදා ද ඇතුළු ව පැය 10ක් වැඩ කිරීමට සිදු විය. නමුත් කම්කරු සටන්වලින් පසුව එය පැය අටක් ලෙස සංශෝධනය වූ අතර අවම වැටුපක් ද තීරණය විය. ලොව වෘත්තීය සමිති ව්‍යාපාරයේ ශක්තිමත් පදනම වැටෙනුයේ මෙම ‘චිකාගෝ සටන’ පදනම් කරගෙනය.

වෘත්තීය සමිති සම්බන්ධයෙන් එකහා සමානව ගැනෙන අන්තර්ජාතික නිර්වචන ගණනාවක් පවතී. අන්තර්ජාතික කම්කරු සංවිධානයේ ලෝක කම්කරු වාර්තාවට (1997-1998) අනුව, “වෘත්තීය සමිති යනු එහි සාමාජිකයන් සඳහා මූලික ක්‍රියාකාරකම් ලෙස ගෙවීම් ගිවිස ගැනීම් සහ රැකියාවේ තත්ත්වයන් ලබාගැනීම සඳහා සේවකකයන්ගේ ප්‍රමුඛත්වයෙන් නිර්මාණය වූ සංවිධානයකි.”

ලොව පැරණිතම අඛණ්ඩව ප්‍රකාශයට පත් කරන ලද විශ්වකෝෂය වන බ්‍රිටැනිකා විශ්වකෝෂය පැහැදිලි කර ඇති ආකාරයට වෘත්තීය සමිතියක් යනු, “පොදු අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම සහ උසස් කරගැනීම සඳහා සේවකයන්ගේ සාමාජිකත්වයෙන් සැදුම්ලත් සංවිධානයකි.”

මෙම සමස්ත අර්ථනිරූපණවල අවසන් අදහස වන්නේ, වෘත්තීය සමිතියක් යනු ඉහළ වැටුප් සහ ප්‍රතිලාභ ලබාගැනීම, වෘත්තීය තුළ එකමුතු බව ආරක්ෂා කර ගැනීම, සේව්‍යයන් විසින් බඳවාගන්නා සේවකයන් ප්‍රමාණය ඉහළ නංවා ගැනීම, ආරක්ෂිත ප්‍රමිති ඇතිකර ගැනීම සහ වඩා හොඳ වැඩ තත්ත්වයක් ඇතිකර ගැනීම වැනි පොදු අරමුණු ඉටුකර ගැනීම සඳහා සේවකයන් විසින් එකට එකතු වී සාදාගත් සංවිධානයක් යන්න යි.

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති සම්බන්ධයෙන් ක්‍රියාත්මක නීතිය

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ප්‍රධානම නීතිය වන්නේ 1935 අංක 14 දරන වෘත්තීය සමිති ආඥා පනත යි. එම ආඥා පනතේ දෙවන වගන්තිය යටතේ වෘත්තීය සමිතියක් යන්න මෙසේ පැහැදිලි කර ඇත.

  • සේවකයන් හා සේවායෝජකයන් අතර හෝ සේවකයන් හා සේවකයන් අතර සේවායෝජකයන් හා සේවා යෝජකයන් අතර සම්බන්ධතා විධිමත් කිරීම
  • යම්කිසි වෘත්තියක/ ව්‍යාපාරයක ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සීමාකාරී කොන්දේසි පැනවීම
  • වෘත්තීය ආරවුලට බැඳී සේවකයන් හෝ සේවායෝජකයන් නියෝජනය කිරීම
  • ඕනෑම වෘත්තියක කර්මාන්තයක වැඩ වර්ජන ඇති කිරීම හෝ සංවිධානය කිරීම හෝ වැඩ වර්ජනයක් පවත්වාගෙන යන අවස්ථාවේ දී එහි සාමාජිකයන්ට වැටුප් හෝ අනෙකුත් ප්‍රතිලාභ සැපයීම

ඒ අනුව වෘත්තීය සමිතියක් යනු සේව්‍යයා සහ සේවකයා අතර සබඳතාව ගොඩනඟන ප්‍රධානතම මාධ්‍යයක් ලෙසින් සරලව හැඳින්විය හැකිය.

1893 මුද්‍රණකරුවන්ගේ තීරණාත්මක වැඩවර්ජනයෙන් අනතුරුව 1950 දශකය ආරම්භය දක්වා නිදහස ලබාගැනීමට පෙර වකවානුවේ, ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හෙවත් වැඩවර්ජන සහ සිදුවීම් කිහිපයක් මෙසේ හඳුනාගත හැකිය.

  • 1906 අගෝස්තු 13 දා කරත්තකරුවන් 5000ක් පමණ වැඩ වර්ජනයක් පවත්වා තිබේ. මෙය මෙරට කම්කරු ඉතිහාසයේ ප්‍රථම ජයග්‍රහණය ලෙස වාර්තා වේ.
  • 1920 මාර්තු 20 දා කොළඹ වරායේ කම්කරුවන් 5000ක් වැඩ වර්ජනයක් පවත්වා ඇත. මෙය ඉතිහාසයේ ප්‍රථම විශාලතම වැඩ වර්ජනයයි.
  • 1928 දී ඒ. ඊ. ගුණසිංහගේ ප්‍රධානත්වයෙන් සමස්ත ලංකා කම්කරු සංගමය ආරම්භ කරන ලදී. මෙහිදී ස්වාධීනව කටයුතු කළ වෘත්තීය සමිති 22ක් ඒකාබද්ධ කෙරිණි.
  • 1929 දී ලංකා ඉන්දියානු වතු සේවක සංගමය ද ආරම්භ කරන ලදී.
  • 1929 ජනවාරි වල ට්‍රෑම් සේවකයන් වැඩ වර්ජනයක් ආරම්භ කරන ලදී. එම වර්ජනයට හේතුව වුයේ වැටුප් වැඩි කිරිමට පාලක පක්ෂය එකඟ නොවීමයි. වර්ජනය අතරතුර සේවකයන් පස්දෙනෙකුට ජිවිත අහිමි විය.
  • 1931 වසරේදී ටයිම්ස් සිලෝන් කාර්යාල සේවකයන් විසින් සිදුකරන ලද වැඩ වර්ජනය මූලිකකොට ගෙන ලංකාවේ ප්‍රථම වෘත්තීය සමාගම් පනත වන 1931 අංක 03 දරන කාර්මික අර්බුද සමථයට පත් කිරිමේ ආඥා පනත සම්මත විය.
  • 1932 දී වැල්ලවත්ත රෙදි මෝලේ දී පිහිටවූ වෘත්තීය සමිතිය දේශපාලන මුහුණුවරක් ගත් අතර, එය අධිරාජ්‍යවිරෝධී සටන් මාර්ගයේ ගමන් කළ මෙරට පළමුවැනි වෘත්තීය සමිතියයි.
  • 1940 දෙසැම්බර් 22 දින වෘත්තීය සමිති 35 ක් පමණ එකතු වී ලංකා කම්කරු සමිති සම්මේලනය පිහිටුවන ලදී.
  • 1945 සැප්තැම්බර් 18 දා සිට 26 දක්වා කොළඹ කම්කරුවෝ 30,000ක් පමණ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළහ.
  • 1947 මැයි – ජුනි රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන් එකට සිදු කළ ප්‍රථම වැඩවර්ජනය ක්‍රියාත්මක විය.

වෘත්තීය සමිති ක්‍රියාත්මක කරන වෘත්තීය ක්‍රියාමාර්ග අතර අවසානාත්මක සහ තීරණාත්මක කටයුත්ත වන්නේ ‘වැඩවර්ජනය’ යි.

1980 ජූලි වැඩවර්ජනය

ශ්‍රී ලංකා ඉතිහාසයට පාලකයන් විසින් දැවැන්ත කළු පැල්ලමක් එක්කරන ලද අවස්ථාවක් වූයේ 1980 ජූලි වැඩවර්ජනය යි.

1980 මාර්තු 08 – 09 දිනවල පැවැති විශේෂ ඒකාබද්ධ සමුළුවකදී මෙරට වෘත්තීය සමිති ඒකමතිකව ඉල්ලා සිටියේ දිනකට රුපියල් දහයකින්වත් වැටුප් වැඩිකර දෙන ලෙසය. 1980 ජූලි 05වැනිදා වැඩවර්ජනය ක්‍රියාත්මක වන්නේ ඒ ඉල්ලීම පෙරදැරි කරගෙනය.

එහෙත් රජය විසින් වර්ජකයන්ව නම්කරන ලද්දේ ‘ද්‍රෝහීන්’ ලෙස ය. එවකට ජනපති ජේ. ආර්.ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලය සියලු වර්ජකයන් රැකියා අහිමිවූවන් බවත් යළි පැමිණීම අනවශ්‍ය බවත් දැන්විය. ඒ අනුව 40,356 දෙනකුට රැකියා අහිමිවූ අතර දෙසතියකට පසු නව සේවකයන් බඳවා ගැනිණි.

වර්ජනයට සහාය නොදුන් සේවකයන්ට වැටුප් වර්ධක ලබාදී ඊට එක්වූ වෘත්තීය සමිති මූලස්ථානවලට සීල් තබනු ලැබිණි.

දේශපාලඥයන්ගේ හිතවතුන් අතරින් ආසන මට්ටමින් තෝරාගත් රැකියා නොමැති සියදෙනෙකු බැගින් ඇතුළත් වනසේ 40,356 ඉවත්කළ පිරිස වෙනුවට සේවයට බඳවා ගන්නා ලදී.

මෙම ‘ජූලි වර්ජනය’ හැඳින්විය හැක්කේ ශ්‍රී ලාංකික කම්කරු ජනතාව දේශපාලනයෙන් බැහැරව ජාතික බලවේගයක් ලෙස නැගී සිටි ප්‍රධානම අවස්ථාවක් ලෙසිනි.

1980 ජුලි මස 15 වන දින පළවූ ලංකාදීප පුවත්පතේ මුල් පිටුව

පෙරකී, 1935 දී අංක 14 දරන වෘත්තීය සමිති ආඥා පනත මෙරට සම්මත වීමට බලපෑ ප්‍රධානම හේතුව වූයේ විවිධ දේශපාලන නායකයන්ගේ අවශ්‍යතා මත නියමාකාර වෘත්තීය පදනමක් අනුගමනය නොකර බිහිවන වෘත්තීය සමිති සංවිධානාත්මක සහ ක්‍රමවත් සැලැස්මකට අනුව නියාමනය කිරීමයි.

මෙම පනත 1946, 1948, 1958 සහ 1970 යන වසර වලදී සිව් වතාවක් සංශෝධනය කරමින් යාවත්කාලීන කර තිබේ. එම පනතට අමතරව, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1999 අංක 56 දරන කාර්මික ආරවුල් සංශෝධන පනත මෙන්ම ‘ආයතන සංග්‍රහය’ හරහාද ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය පිළිබඳ නීතිමය තත්ත්වය ප්‍රකාශයට පත්කර ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් වෘත්තිය සමිති පිහිටුවීමට ප්‍රකාශිතවම අයිතිය ලබාදී නොමැති වුවද එහි (18)(1) (ඊ) ව්‍යවස්ථාව මගින් එක්රැස් වීමට ඇති අයිතිය පිළිගෙන ඇත. එනම්, වක්‍රාකාරයෙන් එහි සඳහන් කර ඇත්තේ වෘත්තිය සමිති පිහිටුවා ගැනීමට ඇති අයිතිය පිළිගන්නා බවයි.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වෙනි පරිච්ඡේදය මගින් මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ප්‍රතිපාදන දක්වා ඇත. ඒ අනුව, 14(1)d ව්‍යවස්ථාව මගින් සෑම පුරවැසියෙකුටම වෘත්තීය සමිති පිහිටුවීමේ හා වෘත්තිය සමිතිවලට බැඳීමේ නිදහස ලබා දී තිබේ.

එසේම එහි දක්වා ඇති භාෂණයේ නිදහස, ප්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහස, සාමකාමීව රැස්වීමේ නිදහස, සමාගමේ නිදහස ආදි අයිතීන් ද වෘත්තිය සමිති අයිතිවාසිකම් හා සම්බන්ධ වේ.

කාර්මික ආරවුල් පනතේ 32 (a) වගන්තිය අනුව සේවායෝජකයකු විසින් සේවකයෙකුට වෘත්තීය සමිතියක් පිහිටුවීම හෝ වෘත්තිය සමිතියක සාමාජිකයකු වීම වැළැක්වීම හෝ ඊට බලපෑම් කිරීම සිදුකළ නොහැක.

වෘත්තිය සමිතියකට යම් ආයතනයක සේවකයන්ගෙන් හතළිහකට වඩා වැඩි ප්‍රමාණයක් සිටියි නම් සේවායෝජකයා විසින් එම ආයතනයේ සේවකයන් හට වෘත්තිය සමිති හරහා සෑම සාමූහික කේවල් කිරීම සඳහා ඇති අයිතිය පිළිගත යුතුය.

කාර්මික ආරවුල් පනතේ සඳහන් කර ඇති වෘත්තිය අයිතිවාසිකම් කඩකරන සේවායෝජකයකු නීතිමය වරදක් සිදු කරයි. ඒ අනුව ඔහුට විරුද්ධව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිය හැක.

ඊට අමතරව අමාත්‍ය මණ්ඩල අනුමතිය මත රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කරනු ලබන ආයතන සංග්‍රහය යටතේද වෘත්තීය සමිති නායකයන් සහ සාමාජිකයන් වෙනුවෙන් පවතින අයිතිවාසිකම් ආදී ප්‍රතිපාදන ප්‍රකාශයට පත්කර ඇත.

පූර්ණකාලීන වෘත්තීය සමිති කටයුතු සඳහා ලැබෙන වරප්‍රසාද

පසුගිය ඛනිජතෙල් සංස්ථා අර්බුදයත් සමග කරළියට පැමිණි ප්‍රධාන කාරණයක් වූයේ මෙරට වෘත්තීය සමිති නායකයන්ට ලැබී ඇති වරප්‍රසාද පිළිබඳවය.

විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර ජනමාධ්‍ය හමුවකදී සඳහන් කරන ලද්දේ, ඛනිජතෙල් සංස්ථාවේ වෘත්තීය සමිති නායකයන්ට සුඛෝපභෝගී මෝටර් රථ පවා ලබාදී ඇති බවය.

එසේම පසුගිය අධ්‍යාපන සේවයේ වැඩවර්ජන හමුවේ ආණ්ඩුවේ දේශපාලකයන් විසින් එල්ල කරන ලද තවත් චෝදනාවක් වූයේ ගුරුවරුන් වන ඇතැම් වෘත්තීය සමිති නායකයන් වසර ගණනාවකින් පාසලකට ගොස් ඉගැන්වීමේ කටයුතුවල නිරතව නැති බවයි.

ඇත්තෙන්ම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක නීතියට අනුව වෘත්තීය සමිති නායකයන්ට එලෙස සිය රාජකාරි පැහැරහරිමින් කටයුතු කළ හැකිද? ඊට අදාළ ප්‍රතිපාදන ‘ආයතන සංග්‍රහයේ’ සඳහන්ව ඇති බව දැකගත හැකිය.

ආයතන සංග්‍රහයේ XXV පරිච්ඡේදයේ 04වැනි වගන්තියට අනුව “පූර්ණකාලීන වෘත්තීය සමිති කටයුතු සඳහා සංගමයක නිලධාරියකු සේවයෙන් මුදාහැරිය හැකිය.”

ඒ අනුව,

  • සංගමයක නිලධරයකු පළමු වතාවට වර්ෂ දෙකක කාලයකට හෝ ඔහු සංගමයේ තනතුරු දරන තාක් කල් හෝ යන දෙකින් වඩා කෙටි කාලය දක්වා, සේවයේ හදිසි අවශ්‍යතාවන්ට යටත්ව, පූර්ණකාලීනව සංගමයේ කටයුතු සඳහා මුදා හැරිය හැක. අදාළ සංගමයේ ඉල්ලීම මත නිලධරයෙකුගේ මුදාහැරීමේ කාලය වර්ෂ හතරක් දක්වා දීර්ඝ කළ හැකිය.
  • නිලධරයෙකු මුදාහැරීමට නම්, සංගමයේ සාමාජිකත්වය විසිරී ඇති විට යටත් පිරිසෙයින් සාමාජිකයින් 1000ක් සහ විසිරී නැති විට හෝ එක් ආයතනයකට හෝ සේවා ස්ථානයකට සීමා වී ඇති විට යටත් පිරිසෙයින් සාමාජිකයින් 1500 ක් සංගමයේ සිටිය යුතු ය. සාමාජික සංඛ්‍යාව 3000ක් ඉක්මවා සිටින සංගමයක් වෙනුවෙන් නිලධරයන් දෙදෙනෙකු පූර්ණකාලීනව සංගමයේ කටයුතු සඳහා මුදා හැරිය හැකි ය. සාමාජික සංඛ්‍යාව 1000ට අඩු එහෙත් 500ට වැඩි රජයේ ලියාපදිංචි වෘත්තීය සමිති වල, වෘත්තීය සමිති කටයුතු සඳහා නිලධරයන් පූර්ණකාලීනව නිදහස් නොකරන අතර, එහි ප්‍රධාන නිලධරයකුට මසකට දින දෙකක උපරිමයකට යටත්ව එවන් කටයුතු සඳහා රාජකාරි නිවාඩු ලබාදිය හැකි ය.
  • රජය පිළිගත් එක් එක් වෘත්තීය සමිති සම්මේලනයක් වෙනුවෙන් නිලධරයන් දෙදෙනකු පූර්ණකාලීනව සම්මේලනයේ කටයුතු සඳහා මුදාහැරිය හැකි ය.
  • එසේම, එලෙස මුදාහරිනු ලබන නිලධාරියකුගේ වැටුප් හා අනෙකුත් දීමනා රජය විසින් ගෙවිය යුතුය.

සාමාන්‍යයෙන් රජයේ සේවකයන්ට ජනමාධ්‍ය අමතා ප්‍රකාශ නිකුත් කිරීමේදී සිය ආයතන ප්‍රධානියාගෙන් විශේෂ අවසරයක් ලබාගත යුතු වුවද, වෘත්තීය සමිති නායකයන්ට එවැනි අවසරයකින් තොරව ප්‍රසිද්ධියේ ප්‍රකාශ සිදුකිරීමට හැකියාව පවතියි.

එසේම, විශේෂයෙන් ඇතැම් රාජ්‍ය ආයතන පරිශ්‍ර තුළ වෘත්තීය සමිති වෙනුවෙන් කාර්යාල පහසුකම් ලබාදෙන නමුත්, බොහෝවිට එම කාර්යාල භාවිත කරනු ලබන්නේ ඒ වන විට බලයේ සිටින ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිතිය විසිනි.

මීට අමතරව සිය ඉහළ නිලධරයාගේ සිට ජනාධිපතිවරයා දක්වා ඕනෑම තරාතිරමේ රාජ්‍ය ධූරාවලියේ තනතුරක් ආමන්ත්‍රණය කරමින් රාජකාරි ලිපි ලිවීමේ හැකියාවද වෘත්තීය සමිති නායකයන්ට හිමි අයිතියක් ලෙස දැකගත හැකිය.

මෙම සියලු වරප්‍රසාද රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන්ගෙන් සැදුම්ලත් වෘත්තීය සමිති වෙත එකසේ හිමිවේ.

මූලාශ්රය : BBC

Translate

Featured