Home » ගිනිකෙළි කර්මාන්තය: ‘අපේ අමුද්‍රව්‍ය වල මිල එකට තුනක් වැඩිවෙලා’
Economy Featured News Sri Lanka

ගිනිකෙළි කර්මාන්තය: ‘අපේ අමුද්‍රව්‍ය වල මිල එකට තුනක් වැඩිවෙලා’

වසර 03ක කාලයකින් අනතුරුව මේ වන විට ගිනිකෙළි කර්මාන්තයේ යම් පිබිදීමක් දක්නට ලැබෙන බව සමස්ත ලංකා ගිනිකෙළි සංගමයේ සභාපති දිනේෂ් ප්‍රනාන්දු පවසා සිටියි. නමුත් ඊට සාපේක්ෂව අමුද්‍රව්‍ය මිල තෙගුණයකින් ඉහළ ගොස් ඇති බව හෙතෙම කියා සිටියේය.

“අපගේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය වල මිල ගණන් එකට තුනකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. අපිට ප්‍රධාන වශයෙන් බලපාන පොටෑසියම් නයිට්රේට් කිලෝග්‍රෑම් 25 බෑග් එකක් තිබුණේ රුපියල් එකලොස් දහස් දෙසිය පනහක මිලකට වුවත් දැන් එය රුපියල් තිස්හතර දහසක් දක්වා මිල ඉහළ ගිහින් තියෙනවා. ඒ වගේම බේරියම් නයිට්‍රේට් බෑගයක් රුපියල් එකලොස් දහස් දෙසිය පනහකට තිබ්බේ, දැන් ඒක රුපියල් විසිහය දහසක් දක්වා වැඩිවෙලා තිබෙනවා. ඇලුමිනියම් පවුඩර් බැරල් එකක් තිබුණේ රුපියල් තිස්හතර දහසක මුදලකට, මේ වෙද්දී එය රුපියල් එක් ලක්ෂ විසිඅට දහසක් දක්වා ඉහළ ගිහින් තියෙනවා” යනුවෙන් සමස්ත ලංකා ගිනිකෙළි සංගමයේ සභාපති දිනේෂ් ප්‍රනාන්දු බිබිසි සිංහල සේවයට පැවසීය.

ගිනිකෙළි නිෂ්පාදනයට ලැබෙන අමුද්‍රව්‍ය කලුකඩ වෙළඳපල තුළ ද අලෙවි වෙයි.

“ඇතැම් පුද්ගලයින් අඩු මිලට අමුද්‍රව්‍ය විකිණීමෙන් විශාල පරිමාණයේ ගිනිකෙළි කර්මාන්තයේ යෙදෙන පුද්ගලයින්ට මහත් පාඩුවක් ලබන්න සිද්ධවෙලා තියෙනවා. බලපත්‍රලාභින් 225ක ප්‍රමාණයක් ඉන්නවා, එයින් නිෂ්පාදන කටයුතු වල නිරත වන්නේ 150කට ආසන්න පිරිසක්. අනෙකුත් පිරිස තමන්ට ලැබෙන ගිනිකෙළි නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය කළු කඩ තුළ විකිණිම දක්නට ලැබෙනවා. මේකෙන් වෙන්නේ අපගේ කර්මාන්තයේ ස්ථාවර මිලක් පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති වීම. ඇතැම් වෙලාවට අපගේ නිෂ්පාදන පිරිවැයත් දරා ගැනීමට නොහැකි අවස්ථාවන් තිබෙනවා මේ හේතුවෙන්. මම රජයෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලා” ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

මූලාශ්රය: BBC

Translate