Home » IMF පළමු කඩඉමෙන් ශ්‍රී ලංකාව සමත්වෙයි; දෙවැනි වාරිකය සඳහා අනුමැතිය
Asia Economy Featured News South Asia Sri Lanka

IMF පළමු කඩඉමෙන් ශ්‍රී ලංකාව සමත්වෙයි; දෙවැනි වාරිකය සඳහා අනුමැතිය

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන පළමු සමාලෝචනය සම්පූර්ණ කිරීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් විස්තීරණ ණය පහසුකම් පිළිබද වන අමෙරිකානු ඩොලර් මිලියන 337ක් වූ දෙවන වාරිකය නිකුත් කිරීමට අද (දෙසැ 13) අනුමැතිය ලැබිණි.

මාස 48ක විස්තීර්ණ ණය පහසුකම් යටතේ මේ දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අනුමත කර ඇති සම්පූර්ණ ණය මුදල අමෙරිකානු ඩොලර් 670ක් වේ.

2023 මාර්තු 20 දින වැඩසටහන් අනුමත කරන විට ශ්‍රී ලංකාවේ විස්තීරණ ණය පහසුකමේ සම්පූර්ණ වටිනාකම අමෙරිකානු බිලියන තුනක් පමණ විය.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ වර්ධනය ඉලක්කකර ගත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට මෙම වැඩසටහන සහාය වේ.

පළමු සමාලෝචනයෙන් පසු ශ්‍රී ලංකාව ගැන IMF පවසන්නේ කුමක්ද?

ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ඵල දැරීමට පටන් ගෙන ඇති බවත්, සීඝ්‍ර නිරුද්ධමනය, සැලකිය යුතු ආදායම් මත පදනම් වූ මූල්‍ය ගැලපීම සහ සංචිත ගොඩනැගීම සමග ආර්ථිකය ස්ථායීකරණයේ තාවකාලික ලකුණු පෙන්නුම් කරන බවත් IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

විස්තීරණ ණය පහසුකම් පිළිබඳ සහය දක්වන වැඩසටහන යටතේ කාර්ය සාධනය සතුටුදායක බවත්, ජූනි මස අවසානය වන විට සම්පූර්ණ කළ යුතු කාර්ය සාධක නිර්ණායකයන් එකක් හැර අනෙක් සියලු කාර්ය සාධක නිර්ණායක සපුරා ඇති බවත් නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ ය.

බදු ආදායම හැර අනෙකුත් සියලුම දර්ශක ඉලක්ක සපුරා ගෙන ඇති අතර බොහෝ ව්‍යුහාත්මක මිණුම් සලකුණු 2023 ඔක්තෝම්බර් මස අග වන විට ප්‍රමාද වී හෝ ක්‍රියාවට නංවා තිබෙන බව එහි සඳහන්ය.

එමෙන්ම ආසියාවේ ප්‍රථම වරට ව්‍යුහාත්මක මිණුම් ලකුණක් වන පාලන නිර්ණ වාර්තාවක් (Governance Diagnostic Report), ප්‍රකාශයට පත් කිරීම ගැඹුරින් මුල්බැසගත් දූෂණ දුර්වලතා ආමන්ත්‍රණය කිරීමේ ප්‍රශංසනීය පළමු පියවරක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.

පාලනය වැඩිදියුණු කිරීම සඳහා අඛණ්ඩ කැපවීම සහ වාර්තාවේ නිර්දේශ කාලානුරූපව ක්‍රියාත්මක කිරීම මඟින් රටේ සියලුම පුරවැසියන්ට ප්‍රත්‍යක්ෂ ආර්ථික වාසි ලබාදිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් නිල ණයකරුවන්ගේ කමිටුව සහ චීනයේ අපනයන ආනයන බැංකුව සමග ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය ගිවිසුම්වලට එළඹීම විස්තීරණ ණය පහසුකම් ගිවිසුමේ ඉලක්කවලට අනුකූල බවත්, ඒවා ශ්‍රී ලංකාවේ ණය තිරසාරත්වය කරා යන මාවතට ගෙන යන වැදගත් සන්ධිස්ථානයක් බවත්, නිල ණය හිමියන් සමග අවබෝධතා ගිවිසුම් කඩිනමින් නිම කිරීම සහ අත්සන් කිරීම වැදගත් බවත් IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ගිවිසුම් කාලානුරූපව ක්‍රියාත්මක කිරීම සහ සංසන්දනාත්මක කොන්දේසි මත විදේශීය පුද්ගලික ණය හිමියන් සමග සමග විසඳුමකට එළඹීම, මධ්‍යකාලීනව ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය යථාතත්ත්වයට පත් කිරීමට උපකාරී වන බවට IMF පෙන්වා දෙයි.

එමෙන්ම පූර්ණ හා වේගවත් ප්‍රකෘතියක් සහතික කිරීම සඳහා, ප්‍රතිසංස්කරණ ගම්‍යතාව සහ ප්‍රතිසංස්කරණවල ශක්තිමත් හිමිකාරිත්වය පවත්වාගැනීම අතිශය වැදගත් බව පවසා තිබේ.

ප්‍රධාන ප්‍රමුඛතා අතරට රාජ්‍ය ආදායම් ශක්තිමත් කර ගැනීම, බලශක්ති මිල ගණන් පිරිවැය සමග පෙළගැස්වීම, සමාජ ආරක්ෂණ දැල් ශක්තිමත් කිරීම, මුල්‍ය ස්ථායිතාවය ආරක්ෂා කිරීම, දූෂණය පිටුදැකීම සහ පාලනය ඉහළ නැංවීම ඇතුළත් වන බව එමඟින් සඳහන් කර සිටියි.

ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ මඟින් අනුග්‍රහය දක්වන ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව ශක්තිමත් කිරීම මගින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන අපහසුතා මගහැර ගැනීමට සහ අතීතියේ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල සිදුවූ අඩුපාඩුකම් වලින් මිදීමට ඉතා වැදගත් බව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය උද්ධමනය ඉලක්ක කරගත් මුදල් ප්‍රතිපත්ති රාමුවේ විශ්වාසනීයත්වය ආරක්ෂා කර ගැනීම සඳහා බහුවිධ නිරුද්ධමන උපාය මාර්ග කෙරෙහි අඛණ්ඩව අවදානය යොමු කළ යුතු බවත් විනිමය අනුපාත නම්‍යශිලි බව මගින් විදෙස් සංචිත ඉහළ නැංවීමට කටයුතු කිරීම විස්තීරණ අරමුදල් පහසුකම යටතේ වැදගත් ප්‍රමුඛතාවයක් බව එහි සඳහන්.

බැංකු ප්‍රාග්ධනීකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සහ මූල්‍ය අධීක්ෂණය සහ අර්බුද කළමනාකරණ රාමුව ශක්තිමත් කිරීම මූල්‍ය අංශයේ ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා ඉතා වැදගත් බව IMF නියෝජ්‍ය කලමණාකාර අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියි.

සමාජ ආරක්ෂණ ජාලය තවදුරටත් ශක්තිමත් කිරීම සහ සමාජ වියදම් ආරක්ෂා කිරීම, දුප්පතුන් සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම සඳහා ඉතා වැදගත් වන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර ඇත.

රජයේ ප්‍රතිචාරය කුමක්ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීර්ණ ණය පහසුකම ලබා දීමේ දෙවන වාරිකය සදහා අනුමැතිය ලැබීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක් පසු කිරීමෙන පසුව සහනදායි ආර්ථික කලාපයකට ඇතුළු වීමට හැකියාව ලැබී තිබෙන බවයි.

මෙම දුෂ්කර කාලසීමාව තුළ මහත් ඉවසීමකින් කැපකිරීම් කළ ජනතාව ගෞරවයෙන් සිහිපත් කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත.

විස්තීරණ ණය පහසුකමේ දෙවන වාරිකය ලබාගැනීමට අවශ්‍ය වූ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ප්‍රතිපත්තිමය වශයෙන් එකගතාවය පළකිරීම හා මූල්‍ය සහතික ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාව, ජපානය, ප්‍රංශය හා පැරිස් සමාජය ප්‍රමුඛ නිල ණයහිමියන්ගේ කමිටුව සහ චීනය දැක්වූ සහයෝගීතාවට ස්තුතිය පළකරන අතර පුද්ගලික ණයහිමියන් සමග ද එකඟතාවකට පැමිණිමට සද්භාවයෙන් කටයුතුකරමින් සිටින බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව සම්බන්ධ දෙවන සමාලෝචනය ගැන IMF පැවසූ දේ

අද (දෙසැ 13) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් IMFහි ශ්‍රී ලංකාව සඳහා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානි පීටර් බෲවර් පැවසුවේ විස්තීරණ ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ දෙවන සමාලෝචනය ලබන වසරේ මුල්භාගයේ දී සිදු කිරීමට අපේක්ෂා කරන බව ය.

ශ්‍රී ලංකාව සිය නිල ණය හිමියන් සමග ඇති ප්‍රතිපත්තිමය ගිවිසුම් සැබෑ ගිවිසුම් බවට පත් කළ යුතු බවත්, 2024 පළමුභාගය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන දෙවන සමාලෝචනයට පෙර වාණිජ ණයහිමියන් සමග ගිවිසුම් ඇතිකර ගත යුතු බවත් ඔහු මෙහිදී සඳහන් කර සිටියේ ය.

ශ්‍රී ලංකාව ඒ වන විට ළඟා කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් සොයා බැලීමට ලබන වසරේ මාර්තු හෝ අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමෙන් මාස දෙකක කාලයකට පසුව එම සමාලෝචනය සිදුකරන බව, මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ ය.

දේපළ බදු ඉතා වැදගත්

2025 වසරේදී ආදායම් ඉහළ නංවා ගැනීම සඳහා දේපල බදු වැදගත් කොටසක් වනු ඇතැ යි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානි පීටර් බෲවර් පැවසුවේ ය.

මෙම බද්ද පැනවීම සඳහා නිසි තක්සේරු පද්ධති ක්‍රියාත්මක විය යුතු බවත්, දේපළ පිළිබඳ නිසි ලියාපදිංචියක් තිබිය යුතු බවත් ඔහු මෙහිදී පැවසුවේ ය.

එහිදී දේපළවල නිසැක හිමිකාරීත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී ගැටළු පැන නැගුණ හොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ සදහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දිය යුතු බව හෙතෙම ප්‍රකාශ කළේය.

මූලාශ්රය: BBC

Translate