Home » ඊශ්‍රායල හමුදාවට දරුණු ප්‍රහාරයක්
Defence Featured Global News Israel Middle East News

ඊශ්‍රායල හමුදාවට දරුණු ප්‍රහාරයක්

පලස්තීන ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුම්වල නිරත ඊශ්‍රායල හමුදාවලට මසකින් පසු දරුණුතම හානියට මුහුණ දීමට ඊයේ (13) සිදු විය.

මාස දෙකකට වැඩි කාලයක් දරුණු ගුවන් ප්‍රහාරවලට ලක්ව සුන්බුන් ගොඩක් බවට පත්ව ඇති ගාසා තීරයේ උතුරු කොටසේ ෂෙජයිකා (Shejaia)හි දී හමාස් සංවිධානය සැඟවී එල්ල කළ ප්‍රහාරයක් මෙලෙස ඊශ්‍රායල හමුදාවලට ප්‍රබලතම හානිය සිදු කර තිබේ.

එහි දී ඊශ්‍රායල හමුදාවේ ලුතිතන් කර්නල්වරයෙකු ඇතුළු සෙබළුන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව ඊශ්‍රායල හමුදාව නිවේදනය කරයි.

එය පසුගිය ඔක්තෝබර් 31 වැනිදා ඊශ්‍රායල හමුදා සෙබළුන් 15 දෙනෙකු ගොඩබිම් ප්‍රහාරවල දී මියයාමෙන් පසු ඊශ්‍රායල හමුදාවට සිදු වූ දරුණුතම හානිය ලෙස සැලකේ.

ඊයේ සිදු වූ හමුදා ජීවිත හානි සමඟ ගාසා තීරයේ ගොඩබිම් ප්‍රහාරවල දී මියගිය ඊශ්‍රායල සෙබළුන් සංඛ්‍යාව 115 දක්වා ඉහළ ගොස් ඇත.

ගොඩනැගිල්ලක් තුළ හමාස් සන්නද්ධ කණ්ඩායමක් සමග සටන් කිරීමේ දී කොටු වී සිටි ඊශ්‍රායල සෙබළුන් පිරිසක් මුදාගැනීමට ගිය ඊශ්‍රායල හමුදා කාණ්ඩයක් මෙලෙස හමාස් සංවිධානය සැඟවී එල්ල කළ ප්‍රහාරයට ගොදුරු වී තිබේ.

හමාස් සංවිධානය ප්‍රකාශ කළේ, ඊශ්‍රායල හමුදාවලට ගාසා තීරය මුළුමනින් යටපත් කළ නොහැකි බව මෙම ප්‍රහාරයෙන් ඔප්පු වන බවයි.

ගාසා තීරයේ රැඳී සිටින කාලය දිගු වන තරමට ඔවුන්ට වැඩි හානියකට මුහුණ දීමට සිදු වනු ඇති බව ද හමාස් සංවිධානය කියා ඇත.

ඊශ්‍රායල හමුදාවලට මෙම ප්‍රහාරයට මුහුණ දීමට සිදු ව ඇත්තේ, ගාසා තීරයේ අසීමාන්තික යුද මෙහෙයුම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් අප්‍රාසාදයක් එල්ල වී ඇති අවස්ථාවකයි. 

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ගාසා තීරයේ මානුෂීය සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස යෝජනාවක් සම්මත කරගනු ලැබූ අතර, ගාසා තීරයට ඉවක් බවක් නොමැතිව එල්ල කරන ගුවන් ප්‍රහාර අමෙරිකානු ජනපති ජෝ බයිඩින්ගේ පවා නොසතුටට හේතු විය.

ගාසා තීරයට වග විභාගයකින් තොරව එල්ල කරන ගුවන් ප්‍රහාර, ඉන්සිසුක්‍රිමිනේ බෝම්බින් (Indiscriminate Bombing) හේතුවෙන් ඊශ්‍රායලයට ජාත්‍යන්තර සහාය අහිමි වෙමින් පවතින බව ජනපති ජෝ බයිඩ්න් කියා තිබේ.

එහෙත් ධවල මන්දිරයේ ප්‍රකාශක ජොන් කර්වේ පසු ව ජනපති බයිඩ්න්ගේ ප්‍රකාශය නිවැරදි කිරීමට උත්සාහ කළ අතර, ඔහු කියා සිටියේ එය ලෝක මතය බවයි. 

ගාසා තීරයේ සිවිල් වැසියන්ට සිදු වන හානි අවම කළ යුත බව ජනපති බයිඩ්න් එහි දී අවධාරණය කළ බව ධවල මන්දිර ප්‍රකාශකයා සඳහන් කරයි.

කෙසේ නමුත් ජනපති බයිඩ්න් සහ ඊශ්‍රායල අගමැති නෙතන්යාහු තවදුරටත් හොඳ මිතුරන් බවත් ඊශ්‍රායලයට අමෙරිකානු සහාය අඛණ්ඩව හිමි වන බවත් ඔහු පැහැදිලිව සඳහන් කරයි.

කෙසේ නමුත් ඊශ්‍රායලය වෙත ලබාදීමට නියමිත ව තිබූ 20,000ක ප්‍රහාරක රයිෆල් තොගය පමා කිරීමට බයිඩන් පරිපාලනය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ, එම ප්‍රහාරක අවි පලස්තීන බටහිර ඉවුරේ ඊශ්‍රායල පදිංචිකරුවන්ට ලබාදීමට ඇති ඉඩකඩ හේතුවෙනි.

ඊශ්‍රායලය තම සිවිල් වැසියන් සන්නද්ධ කළ යුතු බවට ඊශ්‍රායල ආරක්ෂක අමාතවරයා පසුගියදා කළ ප්‍රකාශය ද ඊට හේතු විය හැකිය. 

කෙසේ නමුත් යුද ටැංකි සඳහා උණ්ඩ ඇතුළු අනිකුත් යුද ආයුධ අමෙරිකාවෙන් ඊශ්‍රායලය වෙත අඛණ්ඩව සපයනු ලැබේ.

එමෙන්ම ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කළේ, සටන් විරාමයක් සඳහා ජාත්‍යන්තර බලපෑමක් එල්ල වුව ද ගාසා තීරයේ හමුදා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව ඊශ්‍රායලයට බලපෑම් කිරීමට දැන් අමෙරිකාව පවා අසමත් බව ජාත්‍යන්තර විචාරකයන්ගේ අදහස වී ඇත.

හමාස් සංවිධානය මුලිනුපුටා දමන තුරු ජයග්‍රහණය අත්කර ගන්නා තුරු සටන අත්නොහරින බව අගමැති නෙතන්යාහු අවධාරණය කරයි.

මේ අතර, හමාස් සංවිධානය ජරාජය කිරීම ඊශ්‍රායල හමුදාවල ප්‍රධාන ඉලක්කය විය යුතු බව ඊශ්‍රායල ජනතාවගෙන් 60%ක්ම විශවාස කරන්නේ යැයි ටෙල් අවීව් සරසවිය මගින් සිදු කළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

අරාබි – ඊශ්‍රායලවරුන් නැත්නම් ඊශ්‍රායලයම අන්තර්ග්‍රහණය වූ පලස්තීනුවන් අතරින් 40%ක්ද එම මතය දරණ බව ටෙල් අවීව් සරසවි ජනමත සමීක්ෂණයේ දී හෙළි වී ඇත.

සමීක්ෂණයට සහභාගී වුවන්ගෙන් තුනෙන් එකක් පවසා ඇත්තේ, හමාස්  සංවිධානය විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස්කර ගැනීමට ප්‍රමුඛත්වය හිමිවිය යුතු බවයි. 

සතුරු පාර්ශ්වය සමඟ සාකච්ඡාවලට එළැඹීම මේ අවස්ථාවේ සිදු නොකළ යුතු බව පවසන ඊශ්‍රායල දේශපාලන විද්‍යා මහාචාර්යවරියක වන ටමාර් හර්මාන් කියා සිටියේ, ඊශ්‍රායලය මේ වන විට හමාස් සංවිධානය විනාශ කිරීම හෝ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම යන ඉලක්ක දෙකෙන් එකක් හෝ සාක්ෂාත් කරගෙන නොමැති බවයි.

පසුගිය නොවැමිබර් මාසය අවසානයේ ක්‍රියාත්මක වූ දින 07ක සටන් විරාමයේ දී හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් 100 දෙනෙකු පමණ මුදාහරිනු ලැබූ අතර, ඉතිරි 135 දෙනාගෙන් 19 දෙනෙකු වත් මියයන්නට ඇතැයි සැලකේ.

හමාස් සංවිධානය පවසන්නේ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලින් ඇතැම් ප්‍රාණ ඇපකරුවන් ද මියගිය බවයි. 

කෙසේ නමුත් තවත් ප්‍රාණ ඇපකරුවන් 111 දෙනෙකු හමාස් සංවිධානය භාරයේ සිටින බව දත්ත මගින් අනාවරණය වී ඇත. 

ඊශ්‍රායලය හමාස් උමං පද්ධති මුහුදු ජලයෙන් පිරවීමේ එක් අවදානමක් වන්නේ හමාස් සංවිධානය රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන්ද එහි දී අනතුරට ලක්වීමයි. 

මෙවැනි වාතාවරණයක් පැවතුණ ද ඊශ්‍රායලය ගාසා මෙහෙයුම්වල දී අසීමිත බලයක් යොදවන බව විශ්වාස කරන්නේ ඊශ්‍රායල වැසියන්ගෙන් 10%ක් පමණක් බව ටෙල් අවීව් සරසවි සමීක්ෂණයේ දී අනාවරණ වී තිබේ.

එහෙත් ප්‍රාණ ඇපකරුවන්ගෙන් පවුල්වල සාමාජිකයන් ප්‍රමුඛත්වය දක්වන්නේ හමාස් සංවිධානය සමඟ සිරකරු හුවමාරුවකින් හෝ තම නෑ හිතවතුන් නිදහස් කර ගැනීමටයි. 

මේ අතර, ගසා තීරයේ පලස්තීන ජන සංහාරයට එරෙහි අමෙරිකානු යුදෙව්වන් කණ්ඩායමක් ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා මැදිහත් වන්නැයි අමෙරිකාවට බලකර සිටින බව විදෙස් වාර්තා පෙන්වා දී ඇත.

මූලාශ්රය: අදදෙරණ

Translate