Home » පළමු දේශීය අබ ප්‍රභේදය එළිදකී
Economy Featured News South Asia Sri Lanka

පළමු දේශීය අබ ප්‍රභේදය එළිදකී

අඩු වියදමකින් වැඩි ලාභයක්ගි ය වසරට මිලියන 520 ක අබ ආනයනය කරලා බදුල්ල, මහනුවර, නුවරඑලිය, මාතලේ හොඳට අබ වැවෙනවා ප්‍රභේදය තෝරාගත්තේ වසර දොළහක පර්යේෂණ තුළින්

ලෝකය පුරා අබ භාවිත වන්නේ තෙල් නිස්සාරණ බෝගයක් වශයෙනි. මෙරට ආහාර පිසීමේදී පාවිච්චියට නොගත්තත් අබ තෙල් යනු පෝෂ්‍ය ගුණයෙන්ද පොහොසත් පිසුම් තෙලකි. කළු, දුඹුරු සහ සුදුපැහැති ඇට සහිත අබ විශේෂයන් තුනම තෙල් නිස්සාරණය සඳහා යොදාගන්නා අතර ඉන්දීය ආහාර වේල් බොහොමයක් අබතෙල් මුසුවී කෑම මේසයට එන්නේ එහි තිබෙන පෝෂණීය වැදගත්කමට ඉන්දියානුවන්ගෙන් ලැබෙන ඉහළ පිළිගැනීම හේතුවෙන්ය.

මෙම තෙලෙහි අන්තර්ගත 60% ක් පමණ වන අසන්තෘප්ත මේද අම්ල නිසා එවැනි සමාජ ආකර්ෂණයක් ඇතිවී තිබුණාට සෞඛ්‍යයට අහිතකර එරුසික් අම්ලයද සැලකියයුතු සාන්ද්‍රණයකින් අන්තර්ගතවීම හේතුවෙන් ඇමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලනය විසින් ආහාරයක් වශයෙන් කෙරෙන අබතෙල් භාවිතය දිරිගන්වන්නේ නැත. ඔවුන්ගේ නිර්දේශය වන්නේ පිටින් ආලේප කරන සම්බාහන තෙලක් හැටියට මෙය යොදාගැනීම වඩාත් සුදුසු බවයි. කෙසේ වෙතත් සුළු ප්‍රමාණයෙන් කෙරෙනා අපගේ අබ අනුභවයට මෙම මතවාදයන්ගෙන් ඇත්තේ අවම බලපෑමකි.

ආහාරයට අබ එකතුකර ගැනීම බුද්ධෝත්පාද කාල වකවානුව දක්වා වුවද දිවයන බවට සාක්ෂි සපයන්නේ කිසිවෙක් නොමල ගෙයකින් අබ මිටක් සොයාගිය කිසාගෝතමියගේ කතා පුවතෙනි. එවන් දිගු ඉතිහාසයක් තිබෙන මෙය අපට නම් තවමත් ආනයනය කළයුතු බෝගයකි. වාර්ෂිකව සැලකිය යුතු විදේශ විනිමයක් ගෙවා මෙරටට ගෙන්වා ගත්තද, ඉතා පහසුවෙන් හා අඩු පිරිවැයකින් මෙරට තුළද සාර්ථකව අබ වගාකළ හැකිය. රජයේ දත්තයන් පෙන්වා දෙන්නේ 2020 – 2022 දක්වා වසර තුනක් තුළදී මෙරටට අබ මෙටි්‍රක් ටොන් 2398, 2862 සහ 1772 ක් ගෙන්වා ඇති බවයි. ඒ සඳහා පිළිවෙළින් රුපියල් මිලියන 322, 536 සහ 520 ක් වියදම්කර තිබේ. ප්‍රධාන වශයෙන් මහනුවර, මාතලේ, නුවරඑලිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කයන්හි මිශ්‍ර වගාවක් ලෙසත්, ගෙවතු මට්ටමෙනුත් අබ වගාකෙරෙන අතර තනි වගාවක් වශයෙන් ආර්ථික බෝගයක් ලෙස අබ වගාකරන අවස්ථා විරලය. හොඳ අබ ප්‍රභේදයක් ගොවීන් සඳහා නිර්දේශවී නොමැතිවීමත්, නිශ්චිත වගා පැකේජයක් හරහා උපදෙස් නිකුත් නොවීමත් මෙම අඩු අවධානය සමග බැඳී පවතී. කෙසේ වෙතත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ගොවියා ඒකක ක්ෂේත්‍රපලයකින් ලබන ලාභය සැලකූවිට අබ බෝගය දෙවැනි වන්නේ මිරිස්, ලොකුලූනු යන අතිරේක ආහාර බෝග වර්ග දෙකට පමණක් බවයි. බෝග ස්ථාපනය හා නඩත්තුව සඳහා අඩු පිරිවැයක් දරන්නට වීම, රෝග හා පළිබෝධ හානි අඩුවීම මෙන්ම කෙටි කාලයකින් අස්වැන්න ගතහැකිවීම මීට හේතුපාදක වේ.

ගුණාත්මයෙන් ඉහළ අබ ප්‍රභේදයක් සොයායෑමේ කටයුතු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදී ඇරඹී ඇත්තේ මීට වසර 12 කට පමණ ඉහතදී අඟුණකොළපැලැස්ස මාශ හා තෙල්බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේදී සහකාර අධ්‍යක්ෂ ආචාර්ය ජීවනී දිද්දුගොඩ යටතේය. ඇයගෙන් පසු සහකාර අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත අමරසිංහ භාරයට කටයුතු පත්ව ඇති අතර එතැනින් පසු මේ දක්වා බෝගයේ වගකීම් දරන්නේ සහකාර අධ්‍යක්ෂ ආචාර්ය ඉෂාරා පෙරේරා විසිනි. බෝග වැඩිදියුණු කිරීමේදී ආරම්භක සම්පත් ලෙස යොදාගෙන ඇත්තේ ඒ වනවිට ගන්නෝරුවේ පැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථානය තුළ ගබඩාකර තිබුණු ප්‍රභේද එකතුවයි.

“මුළු වපසරිය ගත්තොත් ගොවීන් අබ වවන්නේ හෙක්ටයාර් 100-200 අතර ප්‍රමාණයක. හරියටම මේ ප්‍රමාණය කියන්න බැරි හේතුව තමයි තනි වගාවක් වශයෙන් ගණනය කළ හැකි මට්ටමට මේවා නොපැවතීම. බොහෝවිට අතුරු බෝගයක් වශයෙන්, ඒ වගේම ගෙවතු මට්ටමෙන් තමයි තියෙන්නේ. නිශ්චිත ප්‍රභේදයකුත් ඔවුන් සතුව නෑ. අතින් අතට හුවමාරුවෙන බීජ තමයි භාවිත කෙරෙන්නේ. පහසුවෙන් ආදායමක් ලබාගත හැකි බෝගයක් නිසාත්, ආනයනය සැලකියයුතු මට්ටමෙන් සිදුවෙන නිසාත්, පහසුවෙන් මෙරටින්ම දේශීය අවශ්‍යතාවය සපුරාගත හැකි නිසාත් තමයි හොඳ අබ ප්‍රභේදයක් නිර්දේශ කරන්නට වැඩ පටන්ගෙන තිබෙන්නේ. වසර 12ක් පමණ තිස්සේ කළ අත්හදාබැලීම් සහ තේරීම් හරහා ඒ.එන්.කේ.එම්. – 01 කියන ප්‍රභේදය අපි ප්‍රභේද නිදහස් කිරීමේ කමිටු රැස්වීමට පසුගියදා ඉදිරිපත් කරලා නිල වශයෙන් අනුමැතිය ලබාගත්තා. එය තද දුඹුරු පාට සාපේක්ෂව ලොකු ඇට තිබෙන අබ ප්‍රභේදයක්. හොඳ සැරකුත් තියෙනවා. අස්වැන්නත් ඉහළයි. හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 800 ක පමණ සාමාන්‍ය අස්වැන්නක් ලැබෙනවා. මෙය අබ සඳහා හොඳ අගයක්.”

කමිටු රැස්වීමට නව ප්‍රභේදය හඳුන්වාදුන් ආචාර්ය ඉෂාරා පෙරේරා පැවසුවේ එවැන්නකි. මෙය දේශීය ගොවියා සඳහා නිර්දේශ කරන ලද පළමු අබ ප්‍රභේදය ලෙස ඉතිහාසයට එක්වන්නේය. මාස තුනක කාලයකදී කරල් පැසෙන මෙම ප්‍රභේදයේ ගසකට කරල් 150-300 ක් පමණ තිබෙන බවත්, කරලක බීජ 10-25 ක් දරන බවත් ඇය වැඩිදුරටත් පවසා සිටී. සාමාන්‍යයෙන් ගොවීන් වෙත නව නිර්දේශිත බෝගයක බීජ නිකුත්කරන්නේ නිර්දේශයෙන් පසු බීජ ගොවිපළ තුළ විශාල පරිමාණයෙන් බීජ නිපදවීමෙන් පසුවය. එබැවින් අලෙවිසල් වෙතට බීජ පැමිණෙන්නට තව කෙටිකලක් ගතවේවි. කටයුතු ආරම්භ කිරීම සඳහා අභිජනන බීජ කිලෝග්‍රෑම් 50 ක පමණ තොගයක් ආචාර්ය ඉෂාරා සතුව පවතින බැවින් ඉදිරි රෝපණ ද්‍රව්‍ය සැපයුම ගැන අවිශ්වාසයක් තබාගත යුතු නැත. කටයුතු නිවැරදිව ඉදිරියට යන්නේ නම් අසල්වැසි රටකින් ගෙන්වාගන්නා ආහාර බෝග ලැයිස්තුවේ තවත් එකක් ඉවත්කිරීමට අඟුණකොළපැලැස්සෙන් රටට හඳුන්වා දුන් අබ අහුරට හැකිවන දිනය නුදුරේදීම උදාවේවි. එය අපගේ කෘෂි විද්වතුන් ලැබූ තවත් ජයග්‍රහණයකි.

මූලාශ්‍රය : දිවයින

Translate