Home » වර්තමානයට මරාළ බද්ද ගැළපේද?
Economy Featured News South Asia Sri Lanka

වර්තමානයට මරාළ බද්ද ගැළපේද?

වර්තමානයේ රාජ්‍ය මුල්‍ය විෂය තුළ බදු පිළිබඳ විශේෂ කථිකාවතක් නිර්මාණය වී ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර අත්සන් කළ ගිවිසුම ප්‍රකාරව විශේෂ අවධානයක් රාජ්‍ය බදු අයකර ගැනීම, වර්ධනය කර ගැනීම, බදු ප්‍රතිපත්ති හා ආයතනික ව්‍යුහ නිර්මාණය, නව බදු වර්ග හා ක්‍රමවේද හඳුන්වාදීම, බදු පදනම පුළුල් කිරීම සඳහා වූ ක්‍රියාමාර්ග, බදු පරතරය අවම කර ගැනීමට ඉඩ ප්‍රස්තා, බදු පරිපාලනය විධිමත් කිරීම හා විනිවිද භාවයකින් යුතුව කාර්යක්ෂම කිරීම, තාක්ෂණය සමඟ බදු ව්‍යුහයේ ඇති කළ යුතු ව්‍යුහාත්මක වෙනස් වීම් හඳුනා ගැනීම ඇතුළු විවිධ ක්ෂේත්‍රවලින් වර්තමානයේ කටයුතු කිරීම සිදු වෙමින් පවතී.

මරාළ බද්ද

සංස්කෘතිකව මෘත යන මළ වචනයද බාර යනුවෙන් අප විසින් ගෙවිය යුත්තක් සේ සලකා මෙය මරාළ බද්ද නමින් හැඳින්විණ.

මරාළ බද්ද පිළිබඳව VI වන බුවනෙකබාහු රජ සමයේ ලේඛනගත දැදිගම සෙල්ලිපියේ මේ පිළිබඳව සඳහන්ව ඇත. මරාළ ලෙස මුලින් හඳුන්වා දී ඇති මෙය මරා හෙවත් මළ බද්ද ලෙස සඳහන්ව තිබූ බවත්, එය රජුගේ ආදායම් ක්‍රියාවලියට දායකත්වය දක්වන ලද බවත් සඳහන්ව ඇත. මේ පිළිබඳව සේනා සම්මත වික්‍රමබාහු රජ සමයේ ගඩලාදෙණිය සෙල්ලිපියේ ද සඳහන්ව ඇති අතර රජු විසින් ලබා දී තිබූ ප්‍රවේණිගම් මරාළ බදුවලින් නිදහස් වී ඇත. මියගිය තැනැත්තාගේ දේපළවලින් තුනෙන් එකක ක කොටසක් හෝ පිරිමි උරුමක්කාරයකු නැත්නම් මුළු ජංගම දේපළම මරාළ බද්දට යටත් වූ බවට සාක්ෂි මහනුවර යුගයේ පැවති බදු පිළිබඳ විශ්ලේෂණයේ සඳහන් වේ.

පෘතුගීසි පාලන කාලය තුළ මරාළ බද්ද පුළුල්ව ක්‍රියාත්මකව පැවති බව සඳහන්ව ඇත. පෘතුගීසි පාලන ක්‍රමය තුළ පරිපාලනය විධිමත්ව හා ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් කෝරාළවරු, විදානේවරු හා විශේෂිත නිලධාරි කණ්ඩායමක් වූ මෙයොරාල් නම් නිලධාරී පැලැන්තියෙන් නිර්මාණය වී තිබුණි.

මෙම වකවානුව තුළ ද මරාළ බද්ද අය කිරීම ප්‍රමුඛ කාර්යයක් වී තිබුණේ බදු අයකිරීම මෙන්ම ආගම් ව්‍යාප්ත කිරීම සඳහා අදාළ පුද්ගලයන් ප්‍රදේශ වෙත යාම මෙයොරාල් ඇතුළු කණ්ඩායමේ මූලික කාර්යයක් වූ බැවිනි. මෙයොරාල් නම් නිලධාරීහු එකල රාජ්‍ය පරිපාලන කටයුතු සිදුකළ මොහොට්ටාල වැනි පිරිස සමඟ යම් පුද්ගලයකු මියගිය බව ආරංචි වූ සැණින් ඒ කරා ගොස් සුවිශේෂ රාජකාරියක් සිදු කළහ.

සිංහල බොදු ගැමියකු මියගිය විට අදාළ පුද්ගලයා භාවිතා කළ උපකරණ භාණ්ඩ හා ජීවත්වීම සඳහා භාවිතයට ගත් උපකරණවල වටිනාකම තක්සේරු කිරීම සිදුකළ අතර එම වටිනාකම කොටස්කර රජයට පවරාගත් බවත් ඒ සඳහා ඔවුන්ට බලය තිබූ බවත්, සඳහන්ව ඇත. මෙම බද්ද අය කිරීමේදී තවත් සුවිශේෂී වෙනස්කම් කිහිපයක් පෘතුගීසි රජය විසින් සිදු කරන ලදී.

එහිදී අදාළ පවුල්වල ජීවත් වන පිරිමි දරුවන් අනුව වෙනස්කොට සැලකීමක් දැකිය හැකි විය. මියගිය පුද්ගලයාට පිරිමි දරුවන් නොසිටියේ නම් අදාළ මරාළ බද්ද සම්පූර්ණයෙන්ම ගෙවීමටත් සිදුවිය. ආගමික කරුණු මත මරාළ බද්දේ කොටසක් අත්හිටුවීමට පෘතුගීසීහු ක්‍රියා කළහ. මරාළ බද්ද ආශ්‍රිත කරුණු කෞටිල්‍ය විසින් රචිත අර්ථ ශාස්ත්‍රය පොතෙහි ද සඳහන්ව ඇත. එහි සඳහන් පරිදි මළගමේ කටයුතුවලට අදාළ මුදල් වැය වූ පසු ඉතිරි මුදල රජුට අයත් බව සඳහන් වේ. තවදුරටත් පවසන්නේ වැන්දඹුවන් නඩත්තුවෙන් කොටසක් තබා ඉතිරිය රජුට අයිති බවයි. ජනවහරේ සඳහන් මරාළයක් කඩා වැටුණා හා සමානයයි පැවසීම නිසා මෙය මරාළ බද්ද නමින් හැඳින්වූ බව ද සඳහන් වේ.

මෙහිදී පෘතුගීසි නිලධාරීන් යම් මළගෙදරක් සිදුවූ විට පැමිණ එහි නතරවී තම රාජකාරිය සිදුකිරීම එකල විසූ ගැමියන්ට හිසරදයක් හා දැඩි කරදරයක් වූ අතර ඒ අනුව මෙය තවදුරටත් මරාළයක් කඩා වැටුණා හා සමාන විය.

 ඓතිහාසික කරුණු අනුව බෞද්ධයකුගේ මරණය සමඟ ඔහු සතු චංචල දේපළවලින් තුනෙන් එකක කොටසක් රජයට පවරාගනිමින් ඉතිරි වන කොටස පවුම් 100 ක් ඉක්මවන්නේ නම් එයින් තවත් සියයට 10 ක් අයකර ගැනීමටත් අදාළ ප්‍රතිපාදන මෙම පිරිස සකස්කර ගෙන තිබුණි. ‍‘‘නුවන්දිරම්” යනුවෙන් තවත් සියයට 10  අයකොට එය භාණ්ඩාගාර ගත කිරීමත් මියගිය පුද්ගලයාගේ දේපළ වටිනාකම පවුම් 3000 ඉක්මවා ගිය විට තවත් සියයට 5  ක අතිරේක ගාස්තුවක් අයකිරීමත් එකල සිදු වී ඇත.

නූතන මරාළ බදු සංකල්පය වර්තමානයේ දී බොහෝ යුරෝපීය රටවල විවිධාකාරයෙන් ක්‍රියාත්මකව පවතී. ජාත්‍යන්තර නීතියේ ද Estate Tax සහ Inheritance Tax අතර පැහැදිලි වෙනස්කම් ගෙනහැර පාමින් සිටී. මරාළ බද්දේ දී බද්දට විෂය වූයේ මියගිය පුද්ගලයකුගේ පැවති මුදල් හෝ දේපළ වේ. (Inheritance money or Property of Person who has died) එහෙත් විශේෂයෙන් ඉංග්‍රීසි නීතියේ දී Estate Tax ලෙස අදාළ පෞද්ගලික දේපළ පිළිබඳ විග්‍රහ කරයි. මෙය මළ බද්ද (Death Tax) ලෙසද හඳුන්වන්නේ කෙනකුගේ මරණය සමඟ බදු අයකරන බැවිනි. කොලොම්බියාව Inheritance Taxලෙස මෙය අය නොකරන නමුත් ප්‍රාග්ධන බද්ද ලෙස දේපළ මාරුවීමේ දී අය කිරීමක් සිදු වේ.

ඉඩම් හා දේපළ මත බදු පැනවීම

රජු මහජනයා සතුරන්ගෙන් ආරක්ෂා කරන්නේය, රටේ සියලු‍ම ඉඩම් රජු සතුය යන සිද්ධාන්තය අනුව රජුට ඒ වෙනුවෙන් බදු ගෙවීමට බැඳී සිටි බව වසභ රජු දවස ප්‍රකාශිත පෙරියක්කුලම සෙල්ලිපියෙහි සඳහන්වේ. ඉඩම් හා දේපළ මත බදු පැනවීම ලෝකයේ බදු පැනවීමේ පෞරාණික ක්‍රම‍වේදයකි. මේ මත යම් රටකට එකතු වන බදු ප්‍රමාණය අඩු අගයක් ගත්ත ද අදත් බොහෝ රටවල් මෙය අනුගමනය කරයි. 1952 කාලපරිච්ඡේදයේ දී ලෝකයේ රටවල අඩු බදු ප්‍රතිශතයක් එනම් මෙයින් සියයට 1 – සියයට 7 අතර ප්‍රමාණයක් අයත් කර ගෙන ඇත. මෙම බදු ගණනයේ දී ප්‍රතිලාභ න්‍යාය මෙන්ම ගෙවීමේ හැකියා න්‍යාය යන බදු මූලධර්ම අනුගමනය වේ. දේපළ බදු කරණයේදී ප්‍රධාන සංරචකය වන්නේ දේපළක වාර්ෂික අගය හෝ කුලී පදනම හෝ දේපළෙහි ප්‍රාග්ධනිත අගය හෝ දේපළෙහි ගණනය කිරීම් හෝ දේපළෙහි සැබෑ අගය වේ. 1960 සහ 1962 කාලවකවානුවල නිශ්චල දේපළ ලෙස සලකා ඉඩම් මත බද්දක් පනවනු ලැබීය.

1932 අංක 2 දරන ආදායම් ආඥාපනත පැනවීමට පෙර 1919 දී පමණ සෘජු බදු ක්‍රමය ශක්තිමත් කිරීම පෙරදැරිකොට Estate Duties පැනවීම සිදු වූ අතර එය 1935 දී පමණ අහෝසි කරන ලදී. නැවත එය 1937 දී පනවනු ලැබීය. මෙම බද්ද Estate Duty ලෙස හැඳින් වූ අතර එය 1985 අංක 53 දරන පනත් අහෝසි කරන තෙක් වසර 50ක් පමණ මෙරට පැවති බදු ක්‍රමයකි.

1958 දී ශ්‍රී ලංකාවට පැමිණි මහාචාර්ය නිකොලොස් කැලිඩෝර් විසින් ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය පිළිබඳ පුළුල් විග්‍රහයක් සිදුකොට සිදුවිය යුතු ගුණාත්මක හා ව්‍යුහාත්මක වෙනස්වීම් රැසක් එළි දක්වනු ලැබීය. ඒ අනුව ඔහුගේ නිර්දේශ අනුව ධන බද්ද, වියදම් බද්ද හා ත්‍යාග බද්ද පැනවීමට යෝජනා කරන ලද අතර එය 1959 වර්ෂයේ සිට ක්‍රියාත්මකව පැවතිණි. ඉන්පසු කාලයාගේ ඇවෑමෙන් එය අහෝසි වීමට ඉඩ හරින ලදී.

ධන බද්ද – Wealth Tax

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ධන බද්ද හඳුන්වා දෙනු ලැබුයේ 1959/60 වකවානුවේය. එය ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාවලිය පිළිබද විශ්ලේෂණයක් කිරීම සඳහා පැමිණි මහාචාර්ය නිකොලස් කැල්ඩෝර් විසින් හඳුන්වා දුන් නව බදු ක්‍රමවේදවලට අනුගත වෙමිනි. ඔහුගේ suggestions for a comprehensive reform of Direct Taxation session paper iv of 1960 තුළින් කරන ලද නිර්දේශ අතර මේ බද්ද පැනවීමෙන් අඩු බදු ප්‍රතිශතයන් මෙන්ම බදු නිදහස් කිරීම පෘතුළ වීම නිසා බදු ගෙවන්නන්ට වඩාත් පහසු ක්‍රමවේද ඇතිකරගත් බව ප්‍රකාශ කර තිබුණි.

විශේෂයෙන්ම නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමන් වීමත් කෘෂි නිෂ්පාදනය වේගවත් වීමත් ඉඩම් සම්පූර්ණයෙන්ම වගා කටයුතු සඳහා යොමු කිරීමත් එහි අරමුණු විය. ඉන්පසු 1963 අංක 4 දරන පනතේ ආදායම් බද්ද, ධන බද්ද හා ත්‍යාග බද්ද යන ආදිය පැනවීම සඳහා පැහැදිලි නෛතික ප්‍රතිපාදන සකසන ලදී. 1965/66 කාලයේදී බදු ප්‍රතිපත්තිය උපරිමය සියයට  2  ක් විය. ඒ අනුව නියමිත වූ 1979 අංක 28 දරන දේශීය ආදායම් පනත ද එම ප්‍රතිශතය සියයට 2 ලෙස සංශෝධනය කරන ලදී.

1979 අංක 28 දරන දේශීය ආදායම් පනතේ 43 වැනි වගන්තිය අනුව ධනය යන්නෙන්, කවර හෝ ආකාරයක චංචල හා හෝ නිශ්චල දේපළ අදහස් වන අතර, 44 වැනි වගන්තියෙහි දැක්වෙන යම් දේපළක් ඇතුළත් විය. එනමුත් 45 වැනි වගන්තියෙහි සඳහන් යම් දේපළක් ඊට ඇතුළත් නොවීය.

මේ තුළින් 1965/66 තක්සේරු වර්ෂය තුළදී රු. මිලියන 12ක බදු ආදායම් උපයා ගත හැකි විය. ලෝකයේ රටවල ධන බද්ද පැනවීමෙන් සැලකිල්ලට ලක්කරනුයේ දේපළවල වෙළඳපොළ වටිනාකමය. මෙහිදී මුදල්, ව්‍යාපාර කොටස් අත්කර ගැනීම, පුද්ගල රථවාහන, දේපළ ආදිය විවිධ රටවල මේ සඳහා යොදාගනු ලැබීය. විශේෂයෙන්ම ප්‍රංශය, නෝර්වේ, ස්විට්සර්ලන්තය වැනි රටවල මෙම බදු ක්‍රමය භාවිත වේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පිළියෙළ කර ඇති පාලන වාර්තා අනුව ධන බද්දට හා ත්‍යාග බද්දට අය කිරීමේ දී කරන ලද වර්ගීකරණය අනුව කෘෂිකාර්මික දේපළ, වෙනත් නිශ්චල දේපළ, ව්‍යාපාර දේපළ හා චංචල දේපළ ලෙස වර්ගීකරණයට ලක් කොට තිබුණි. මෙහිදී බද්ද අය කිරීම ශූද්ධ ධනය මත පදනම්ව තිබුණි.

මෙම ත්‍යාග, දේපළ, ධන බදු අය කිරීමෙන් බදු මගහැරීම අවම කර ගැනීමට අවස්ථා උදා කරන බව ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අදහස විය.

1989 දී පුද්ගලයන් 19,991 දෙනකු ධන බද්ද සඳහා ලියාපදිංචි වී සිටි අතර රු. මිලියන 94 ක ප්‍රමාණයක් බදු වශයෙන් ගෙවා තිබුණි. එම වකවානු තුළ දේශීය ආදායම් මුළු බදු ප්‍රමාණයෙන් එය සියයට 0.38ක් විය. කෙසේ නමුත් 1992/1993 තක්සේරු වර්ෂයේ සිට මෙම බද්ද අහෝසි කරන ලදී. ධන බද්ද පැවති බොහෝ රටවල් මෙම බද්ද අහෝසි කර ඇත. ඉන්දියාව 2015 දීත්, ප්‍රංශය 2018 දීත්, ස්වීඩනය 2007 දීත්, පකිස්තානය 2003 දීත් ධන බද්ද අහෝසි කිරීමට කටයුතු කර ඇත.

ත්‍යාග බද්ද (Gift Tax)

ත්‍යාග බද්ද පැනවීම පිළිබඳව 1979 අංක 28 දරන දේශීය ආදායම් පනතේ XI වැනි පරිච්ජේදයේ 51 වගන්තියේ සඳහන්ව ඇත. ඒ අනුව එම පනතේ කාර්ය සඳහා ත්‍යාග යන්නෙන් අදහස් කරන ලද්දේ මුදලින් හෝ මුදල්වල වටිනාකමින් වූ ප්‍රතිෂ්ඨාවක් නොමැතිව පවතින යම් චංචල හෝ නිශ්චල දේපළක් යම් තැනැත්තකු විසින් වෙන යම් තැනැත්තකුට ස්වෙච්චාවෙන් පවරා දීමක් අදහස් වන අතර, 53 වැනි වගන්තිය යටතේ ත්‍යාගයක් ලෙස සලකනු ලබන යම් දේපළ පවරා දීමක් ද එයට ඇතුළත් වේ.

එසේම 53 වැනි වගන්තියේ ඇතැම් පැවරීම් ත්‍යාගවලට ඇතුළත් නොවන බව පෙන්වා දී ඇත. 1958 ජූලි 18ට පසු ඒ අනුව 1959 දී හඳුන්වා දුන් මෙම බද්ද 1985 නොවැම්බර් 13 වැනිදා අහෝසි කරන ලදී. මෙහිදී ඉඩම් ආදිය ත්‍යාග ලෙස ලබාදීම සඳහා හඳුන්වා දෙන ලදී.

මූලාශ්‍රය: ලංකා දීප

Translate

Featured