Home » කඳුකර දමිළ ප්‍රජාව ශ්‍රී ලංකා සමාජයට ඒකාබද්ධ කරනවා
Economy Featured News Politics South Asia Sri Lanka

කඳුකර දමිළ ප්‍රජාව ශ්‍රී ලංකා සමාජයට ඒකාබද්ධ කරනවා

මෙරට ආර්ථිකය වෙනුවෙන් සුවිශේෂ දායකත්වයක් ලබාදුන් කඳුකර දමිළ ජනතාව වෙනස් ප්‍රජාවක් ලෙස නොසලකා එම ජනතාව සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා සමාජයට ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

කුමන ජන කොටසක් නියෝජනය කළ ද සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අයිතිවාසිකම් දිනා දීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව පෙන්වා දෙන ජනාධිපතිවරයා සියලු දෙනා එක්කර ගනිමින් ශ්‍රී ලංකාව දියුණු රටක් ලෙස ගොඩනැඟීම තම අරමුණ බව පවසමින් වතුකරයේ ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා පියවර ගන්නා බව සඳහන් කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඊයේ (02) පස්වරුවේ පැවැති වැවිලි ප්‍රජාව සඳහා වසර 200ක් සැපිරීමේ (නාම් 200) උත්සවයට සහභාගි වෙමිනි. ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනතාව මෙරටට පැමිණ වසර 200ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් මේ සැමරුම් උළෙල සංවිධානය කෙරිණි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය මුදල් ඇමැතිනි නිර්මලා සීතාරාමන් මහත්මිය සහභාගි වූ අතර කඳුකරයේ දමිළ ජනතාව 5000කට වැඩි පිරිසක් මීට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රමුඛ රජය ලබාදුන් දායකත්වය මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා එම සහාය නොවන්නට අද මෙම උත්සවය සාර්ථකව පැවැත්වීමට නොහැකි බව ද ඒ වෙනුවෙන් කැපවූ ඉන්දීය මුදල් ඇමැතිනි නිර්මලා සීතාරාමන් මහත්මියට විශේෂ ප්‍රශංසාවක් එක් කරන බව ද සඳහන් කළේය.

මෙම සැමරුම් උත්සවය සමඟ කඳුකර දමිළ ජනතාවගේ ජීවිතවල නව ගමනක් ඇරඹෙන බව පැවසූ ජනාධිපතිවරයා ඔවුන්ට ඉඩම් ඔප්පු ලබාදීම, අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම ඇතුළු වරප්‍රසාද දිනා දීමට ද රජය කැපවී සිටින බව වැඩිදුරටත් පැවසීය. කොටගල, මවුට්වර්නන් වතුයායේ දිඹුල පහළ කොටසේ ඉන්දීය ආධාර යටතේ ඉදි කිරීමට නියමිත නිවාස 10,000කින් යුත් ව්‍යාපෘතිය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය මුදල් ඇමැති නිර්මලා සීතාරාමන් මහත්මිය මාර්ගගත තාක්ෂණය ඔස්සේ එක්වූ අතර දමිළ සංස්කෘතිකාංග රැසකින් මෙම උත්සවය වර්ණවත් විය. හැටන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ඉදි කරන ලද නව ශ්‍රවණාගාරය සහ පරිගණක ඒකකය විවෘත කිරීම ද මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු කෙරුණු අතර පාසල් සිසුන් වෙත පාසල් උපකරණ ප්‍රදානය කිරීම ද සංකේතවත්ව සිදුවිය.

මහා සංඝරත්නය ඇතුළු සර්වආගමික නායකයන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අගමැති දිනේෂ් ගුණවර්ධන, ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන, වරාය නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ, විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර, විදේශ ඇමැති අලි සබ්රි, කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර, ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන්, රාජ්‍ය ඇමැතිවරුන් වන තාරක බාලසූරිය, අනුරාධ ජයරත්න, ඩී.වී චානක, කනක හේරත්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ, නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, උදය ගම්මන්පිල, නිමල් ලාන්සා, එම්.ඒ. සුමන්දිරන්, ශානක්‍ය රාසමානික්කම්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මූලාශ්‍රය : දිනමිණ

Translate