Home » HIV වයිරස ආසාදිතයන් ඉහළට
Featured News South Asia Sri Lanka

HIV වයිරස ආසාදිතයන් ඉහළට

එච්.අයි.වී. වයිරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව පසුගිය වසරේ පළමු කාර්තු තුනට වඩා මේ වර්ෂයේ පළමු කාර්තු තුනේ පුද්ගලයන් 60කගෙන් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේ වර්ෂය තුළදී එච්.අයි.වී. ආසාදිතයන් 485ක් මේ වන විට වාර්තා වී ඇති අතර, සමස්තයක් ලෙස 5496ක් ආසාදිතයන් වාර්තා වී තිබේ. ගිය වසරේදී ආසාදිතයන් 425ක් වාර්තා වී තිබිණි.

එච්.අයි.වී. ඒඩ්ස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව මේ වර්ෂයේදී ඉහළ යෑමක් ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය “දිනමිණ“ට ඊයේ (02) පැවසුවාය.

වයස අවුරුදු 15ත් – 24ත් අතර ආසාදිතයන්ගේ වාර්තා වීම පසුගිය වසරට වඩා මේ වසරේදී ඉහළ ගොස් ඇති බවත් මේ වසරේදී මෙම වයස් කාණ්ඩය ආශ්‍රිතව ආසාදිතයන් 79ක් වාර්තා වී ඇති බවත් කීවාය. මේ අතර ලෝක ඒඩ්ස් මර්දන දිනය නිමිති කර ගනිමින් බස්නාහිර පළාත තුළ ස්ථාන 14ක එච්.අයි.වී. ආසාදිතයන් හඳුනා ගැනීමේ සායන මාලාවක් නොමිලයේ පැවැත්වීමට ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන සැලසුම් කර ඇත.

ලෝක ඒඩ්ස් මර්දන දිනය දෙසැම්බර් 01 වැනිදාට යෙදී ඇති අතර, “ප්‍රජාව බල ගන්වමු – ඒඩ්ස් වළකමු“ මෙවර ඒඩ්ස් මර්දන දිනයේ තේමාවෙන් ලෝක ඒඩ්ස් මර්දන දිනයට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි. එච්.අයි.වී. අවදානම අවම කිරීමේ ඖෂධ නොමිලේ ලබාදීමේ විශේෂ සායනයක් සේරම් පෙදෙස, කොළඹ 10 ලිපිනයේ පිහිටි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන මඟින් ක්‍රියාත්මක අතර, මෙම සායනය සෑම මසකම දෙවැනි සතියේ ඉරිදා දින උදෑසන 8.30 සිට සවස 2 දක්වා එම ස්ථානයේදී පැවැත්වෙන බව ද වෛද්‍ය විදානපතිරණ මහත්මිය පැවසුවාය.

මෙම සායනය ක්‍රියාත්මක වීමේදී ඖෂධ ලබා ගන්නා පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය උපරිමයෙන් සුරකින අතර, ඔවුන්ගේ අනන්‍යතාව අන් අයට හෙළි නොවීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව ද ඇය ප්‍රකාශ කළාය.

පුරුෂ – පුරුෂ ලිංගික සම්බන්ධතාවලට රුචිකත්වයක් දක්වන පිරිස, සංක්‍රාන්ති ලිංගිකයන් සහ ලිංගික ශ්‍රමය සපයන්නන් අතර මෙම ඖෂධ ලබා ගැනීමේ උනන්දුව වැඩි අතර, මෙම ඖෂධය (PrEP) අනාරක්ෂිත ලිංගික ඇසුරකට පෙර ලබා ගැනීමෙන් පුද්ගලයකුගෙන් තවත් අයකුට එච්.අයි.වී. වයිරසය සම්ප්‍රේෂණය වීම සියයට 99කින් අඩු බව පවසයි.

අනාරක්ෂිත ලිංගික ඇසුරෙන් වැළකීම, විශ්වාසවන්ත ඇසුරක් නොවන අවස්ථාවක කොන්ඩමයක් පැලඳීමේ පුරුද්ද තවදුරටත් අතිශය වැදගත් බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන සඳහන් කරයි.

මූලාශ්‍රය : දිනමිණ

Translate