Home » 2024 දී සීගිරිය සංචාරකයින්ට නව මුහුණුවරකින් විවෘත වෙයි
Featured News South Asia Sri Lanka Tourism Travel

2024 දී සීගිරිය සංචාරකයින්ට නව මුහුණුවරකින් විවෘත වෙයි

සීගිරිය ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂාවට, ප්‍රචලිත කිරීමට සහ ප්‍රවර්ධනයට අවශ්‍ය නියමු සැලැස්මක් මේ වන විට සකස් කර අවසන් බවත්, එළඹෙන 2024 වසරේ මාර්තු මස වන විට එහි වැඩ කටයුතු සාර්ථකව සිදු කළ හැකි බවත් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සීගිරිය පිළිබඳව දේශීය විදේශීය ජනමාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ සීගිරිය පුරාවිද්‍යාත්මක ස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා ඊයේ (02) මේ බව පැවැසීය.

ජාතික උරුමයන් නම් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත්, ශ්‍රී ලංකාවේ තේ භූ දර්ශනය, ශ්‍රී ලංකාවේ මුහුද ආශ්‍රීත වෙළෙඳ මධ්‍යස්ථාන, 17 වන සියවසේ මෙරට ප්‍රචලිත දේවස්ථාන, පුරාණ වාරි පද්ධතිය, මිහින්තලය, බුදුරුවගල දඹේගොඩ ආදී මහායාන ආභාෂය සහිත ස්ථාන, නුවර යුගයේ බිතු සිතුවම්, ප්‍රාග් ඓතිහාසික ගුහා හා ලෙන්, නුතන ගෘහ නිර්මාණ, අරංකැලේ, රිටිගල මානාකන්ද ඇතුළු පබ්බත විහාරආදීය ශ්‍රී ලංකාවෙන් ලෝක උරුම ලේඛණය සඳහා අලුතින් එකතු කිරීමට යෝජනා කර ඇති බවත් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.

අලුතින් ආරම්භ කර ඇති සීගිරි පර්වත මස්තකයේ සිට ඉර උදාව සහ ඉර බැසීමේ දර්ශනය නැරඹීමේ වැඩසටහන විදේශීය සංචාරකයන් අතර මහත් ලෙස ප්‍රචලිත වී ඇත. තවදුරටත් සීගිරිය ආශ්‍රීතව සහ පුරාවිද්‍යාත්මක ස්ථානයන්හි සිදු කෙරෙන ව්‍යාපෘතින් පිළිබඳව දෙස් විදෙස් සංචාරයන් දැනුම්වත් කරන ලෙස ද සියලුම මාධ්‍ය ආයතන මඟින් අමාත්‍යවරයා එහිදී ඉල්ලීමක් ද සිදු කළේ ය.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් (වැඩබලන) නිශාන්ති ජයසිංහ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී රණසිංහ යන මහත්ම මහත්මිහු , මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.

මූලාශ්‍රය : දිනමිණ

Translate