Home » කාටිලේජ දිය වී බරපතළ තත්ත්වයකට පත් රෝගීන්ට කරගත හැකි පාරම්පරික ප්‍රතිකාරයක්
Featured News South Asia Sri Lanka

කාටිලේජ දිය වී බරපතළ තත්ත්වයකට පත් රෝගීන්ට කරගත හැකි පාරම්පරික ප්‍රතිකාරයක්

අද බොහෝදෙනාට තියෙන බරපතළ රෝග තත්ත්වයක් තමයි ඔවුන්ගේ කාටිලේජ විනාශ වී මහත් දුක්ඛිත අඩියකට වැටීම. නිතර නිතර අපෙන් තොරතුරු විමසන දහස් ගණන් රෝගීන්ගේ  හිත සුව පිණිස අද අප කතා කරන්නේ කාටිලේජ විනාශ වී තියේනම් එම තත්ත්වය නැතිකරගෙන “කාටිලේජ වර්ධනය කරගන්නා ආකාරය’ පිළිබඳවයි.

 බොහෝ ලෙඩ්ඩු අපෙන් අහන දෙයක් තමයි “කාටිලේජ විනාශ වෙලා කියලා දැනගන්නේ කොහොමද?” කියන එක. ඒ නිසා ඒ ගැන සඳහන් කර ඉඳිමු. එහෙම කාටිලේජ විනාශ වී ඇත්නම් දණහිස් ඉදිමෙනවා. සන්ධි අතරින් ශබ්දයක් එනවා. කරු කුරු ගානවා වගේ. නිකම් පඩිපෙළක් නඟිනකොට සන්ධි එකිනෙකා ගැටෙනවා වගේ, වැදෙනවා වගේ දැනෙනවා. ඒකෙන් තේරෙන්නේ සන්ධි අතර යම් ප්‍රශ්නයක්, ගෙවීයෑමක් වෙලා තියෙනවා කියන එකයි. නැතිනම් ඇවිදගෙන යද්දි පැත්තකට විසිවෙලා යනවා වගේ වෙනවා. ඒ අස්ථි ගෙවීමේ තත්ත්වය අනුවයි සිද්ධ වෙන්නේ.

මෙම තත්ත්වය නිසා රෝගියාට එතැනින් තදබල වේදනාවක් හට ගන්නවා. සමහරු හිතනවා කාටිලේජ ගෙවී යන්නේ දණහිසේ විතරක්ය කියලා. නෑ.. ශරීරයේ ඕනෑම අස්ථි සම්බන්ධතා ඇති තැන්වල එහෙම වෙන්න පුළුවන්. බෙල්ලේ, තුනටියේ, වැළමිටේ, ඇඟිලිවල පවා මේක වෙනස් වෙනවා. කාටිලේජ ගෙවිලා යනවා. උරහිස් සන්ධිවලත්, කොන්දෙත් විශේෂයි.

ඔය කිව්වා වගේ ඒ තැන්වලින් හැරෙද්දි, නැමෙද්දි, වාඩි කරද්දි ශබ්දයක් එනවා නම් ඔබ ඒ ගැන සැලකිලිමත් විය  යුතුයි. මේ වගේ මුල් අවස්ථාවේ තත්ත්වයේදී පෙන්නුවොත් අපට හිතාගත හැකියි මේ ලෙඩාට මේ රෝගයේ මුල් අවධියේ තියෙන්නේ කියලා. මේ තත්ත්වය වැඩි වුණාම වෙන්නේ එතැන තඩිස්සි වීම, අධික වේදනාව වගේ ලක්ෂණ ඇති කරනවා. ඇවිදිද්දි පැත්තකට යන්නේ ලෙඩේ උපරිම අවස්ථාව ආවාමයි. මේ ගෙවී යෑමේ ඉහළම තත්ත්වයයි. එතකොට අන්තිමේදී ගෙවිලා කකුල් දෙකම ඇදේට යනවා. ශරීර සමබරතාව  නැති වෙනවා. ඇඟිලි පුරුක් පවා ඇද වෙනවා.

ඇඟිලි පුරුක් මහත්වෙලා පැත්තකට ඇද වෙලා නිකන් කක්කුට්ටන්ගේ අඬු වාගේ වෙනවා. විකෘති වෙනවා. කකුල්වලත් අත්වල ඇඟිලිවලත් ඒ තත්ත්වය ඇති වෙනවා.

බටහිර වෛද්‍යවරුන්ට අනුව මේකට නිට්ටාවට සුව වෙන බෙහෙත් නැති පාටයි. ඒ අය අන්තිමට කරන්නේ වේදනා නාශක දීලා දීලා දණහිස් ගෙවුණාම ඒකට දණිස් සන්ධියක් බද්ධ කරන එකයි. නමුත් වාසනාවකට අපේ දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව ඔය කියන බද්ධ කිරීම් නැතිව ඉතාමත් සාර්ථක බලගතු බෙහෙත්-හේත්, ප්‍රතිකාර- සත්කාර මඟින් ගෙවී ගිය කාටිලේජ වර්ධනය වෙන්න ඇරලා ලෙඩාව ක්‍රමානුකූලව හිටියා වාගේම නිරෝගී තත්ත්වයට පත් කරනවා.

ලෙඩේ මූලික අවස්ථාවේද නැද්ද කියලා අපට දැනගන්න හැකි වෙන්නේ පරීක්ෂාවකින් පස්සෙයි. අපි ලෙඩාව හොඳින් පරීක්ෂා කර බලලා ඒ බව කියනවා. අපේ අතැඟිලිවලට එම පරීක්ෂාවේදී ලෙඩාගේ තත්ත්වය දැනෙනවා. කාටිලේජ ගෙවිලද එහෙම නැත්නම් වෙනත් රෝග තත්ත්වයක්දැයි අපි නොසඟවා කියනවා.

මුලින්ම අපි රෝගියාට තෙල් සාත්තුවක් තමා කරන්නේ. තෙල් ටික ගාලා හොඳට රත්වනතුරු සම්බාහනය කරලා තමයි පත්තුවක් තියලා බඳින්නේ. ඊටත් පස්සේ තමයි ලෙඩාගේ ඇඟ ඇතුළේ ප්‍රතික්‍රියා ඇති කරවන කෂායක් දෙන්නේ. ගුළි, කල්ක, චූර්ණ ඒ අනුව පිළිවෙළට එකින් එක දෙනවා. එහෙම දීලා තමයි එතැනින් පස්සේ අපි ලෙඩේ බරපතළ පැත්තට අතගහන්නේ. හැබැයි කාටිලේජ වර්ධනය කරන්න අපි විශේෂ බෙහෙතක් යොදා ගන්නවා. ඒකට ඔෟෂධ වර්ග 94ක් ඇතුළත්. අපේ වෙද පරම්පරාවට ආවේණික සුවිශේෂී බෙහෙතක් අමුක්කරා අල, බින්තල් අල, කුංකුමප්පු, දේවදාර, කැටදුරු වගේ බෙහෙත් රාශියක් ඇතුළත් පාරම්පරික බලගතු බෙහෙතක්.

මේ බෙහෙත් කරන අතරේ ඔය වාගේ රෝගියෙක් කෑමෙන් බීමෙන් අප කියන ආකාරයකට ප්‍රවේශම් විය යුතුයි. සමහර ඇට ජාති, පලා වර්ග, අපි රෝගයට ප්‍රතිකාර කරන අතරේ හොඳ නැතිව තියෙනවා. ඒ දවස් ටිකට කෂාය වගේ වැටෙද්දී ඊට බාධා වන දේ ගන්න බැහැ. ඉක්මන් සුවයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් එතකොටයි. මුකුණුවැන්න මේ රෝගයට අන්තිම විසයි. සමහර කඩල වර්ග, කඩල පරිප්පු හොඳ නැහැ. සමහරුන්ට නිකන් පරිප්පු ටිකක් කෑවත් විසයි. මේකට සීතල කෑම හොඳත් නෑ. උෟෂ්ණ කෑම හොඳත් නැහැ. සමබර කෑමක් තමයි ප්‍රතිකාර කාලෙදි ගත යුත්තේ.

විටමින් වර්ග ලෙඩේ නොදැන ගත්තොත් ශරීරයේ බර වැඩිවෙලා, සිරුර දරාගන්න බැරි වෙනවා. ඒකයි අපි ශරීරය යහපත් තත්ත්වයට ගන්න කටයුතු කරන්නේ. අපේ බෙහෙත්වල පුළුවන් තරම් කෑම පාලනය කරලා ඇඟ සැහැල්ලු කරගන්න තමයි අපි උපදෙස් දෙන්නේ.

ශරීරයේ බර අඩු වෙන්නත් අපේ ප්‍රතිකාර වට්ටෝරු අනුව කටයුතු සිදුවෙනවා. ඔබට මූලික අවස්ථාවේ මේ රෝග තත්ත්වය තියෙනවා නම් ප්‍රතිකාර ගන්න එනතුරු ඔබට සැහැල්ලුවක් සහනයක් වෙනුවෙන් අපට ඔබටම කරගත හැකි ප්‍රතිකාරයක් මෙහෙමයි.

බෙලි මුල්,  තොටිල මුල්, පලොල් මුල්, ඇත්දෙමට මුල්, නෙරෙංචි, එළබටු මුල්, කටුවැල් බටු, අස්වැන්න, පොල්පලා, අරත්ත අල කළන් 1 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳලා පෙරා සහිඳ ලුණු ටිකක් දාලා බොන්න. උදේ හවස. මෙම රෝග තත්ත්වයට හොඳ ආහාරපාන නම් අල, වැටකොළු, පතෝල, කැරට්, බීට්, ලීක්ස්, බෝංචි වාගේ සැර නැති දේවල් හොඳයි. සුදුලූනුත් ඉතාමත්ම හොඳයි.

මූලාශ්‍රය : මව්බිම

Translate