Home » සිසුන්ගේ දෛනික පැමිණීම අනිවාර්ය කිරීමට ඉදිරියේ දී පියවර
Asia Featured News South Asia Sri Lanka

සිසුන්ගේ දෛනික පැමිණීම අනිවාර්ය කිරීමට ඉදිරියේ දී පියවර

නව අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමය තුළ පහේ ශිෂ්‍යත්ව විභාගයේ දී පවා හතර, පහ ශ්‍රේණි දෙකේ දී පන්ති කාමරයේ රැඳී සිට උපයාගත යුතු නිශ්චිත ලකුණු ප්‍රමාණයක් පවතින බැවින් ඉදිරියේ දී පාසල් පන්ති කාමරය තුළ රැඳී සිටීම අනිවාර්ය වන අතර සියලු‍ ම ශ්‍රේණිවලට එය අදාළ වන බවත් සිසුන්ට විභාග සමත් වීමට එසේ දෛනික පාසල් පැමිණීම අත්‍යවශ්‍ය කාරණයක් වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අතිපූජ්‍ය නිවිතිගල ධම්මානන්ද නාහිමි අනුස්මරණ ශිෂ්‍යත්ව පදනමේ අයගම කොට්ඨාසයේ 2022 ශිෂ්‍යත්ව සමතුන් ඇගයීමේ උත්සවයට එක් වෙමිනි.

අධ්‍යාපනය යනු ශාලාවක් තුළ දරුවන් එක්දහස් පන්සියක් පමණ රැස් කර දේශන පැවැත්වීම මගින් සාර්ථක කරගත හැකි ක්‍රියාවලියක් නොවන බවත් එය, දරුවන්ගේ විනය සැකසීම, බහුවිධ කුසලතා හා නිපුණතා සංවර්ධනය කිරීම සඳහා ප්‍රමුඛත්වය දිය යුතු සංකීර්ණ ක්‍රියාවලියක් බවත් මෙහි දී අවධාරණය කළ අමාත්‍යවරයා ප්‍රාථමික පන්තිවල සිසුන් සඳහා එවැනි දේශන පැවැත්වීමේ උපකාරක පන්ති ක්‍රම අදාළ කරගැනීම කෙසේ වත් ප්‍රායෝගික නොවන බව ද කී ය.

ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ අවශ්‍ය උපකාරයක් ලබා ගැනීම වරදක් නොවන නමුත් එය වාණිජත්වය පදනම් කරගත් කර්මාන්තයක් දක්වා විකාශනය වී තිබීම යෝග්‍ය තත්වයක් නොවන බව කී අමාත්‍යවරයා වත්මන් ආර්ථික හා සමාජ අභියෝග හමුවේ දුෂ්කරතාවලට මුහුණ දී සිටින දෙමාපියන්ට දරුවන්ගේ උපකාරක පන්ති වෙනුවෙන් අතිවිශාල මුදලක් වෙන් කිරීමට සිදු වීමේ ඛේදනීය තත්වය වහා ම වලක්වාගත යුතු බවත් එසේ නොවුණහොත් ගුරු පුහුණු සැසි පවත්වා අධික මුදලක් වැය කර ගුරු වැටුප් ගෙවා භෞතික හා මානව සම්පත් සංවර්ධනය කර පාසල් පවත්වාගෙන යාමේ නිදහස් අධ්‍යාපන අරමුණු වියැකී යන බවත් සඳහන් කළේ ය. ලොව කිසි දු රටක මෙවන් තත්වයක් දක්නට නොලැබෙන බවත් මෙරට පූර්ව ළමා අවධි අධ්‍යාපනය සම්බන්ධයෙන් පවත්නා සංකල්ප හා නිර්ණායක ද මුළුමනින් ම වෙනස් කළ යුතු මට්ටමක පවත්නා බවත් එය ද පූර්ණ පරිවර්තනයකට ලක් කළ යුතු බවත් හෙතෙම මෙහි දී පැවසී ය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ ශිෂ්‍යත්ව විභාගය සමත් වීම යනු කඩයිම් ලකුණට ඉහළින් ලකුණු ලබාගැනීම නොවන බවත් එම කඩයිම් ලකුණ තීරණය කෙරෙන්නේ රජයට වසරකට සිසුන්ට ලබා දිය හැකි ශිෂ්‍යත්ව අරමුදලේ ප්‍රමාණය මත නිසා තව දුරටත් ප්‍රතිපාදන වැඩි කළ හැකි නම් ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු තවදුරටත් අඩු වන බවත් ය. එබැවින් එම ලකුණු මත දරුවන් මැනීම සාධාරණ නොවන බැව් අවධාරණය කළ අමාත්‍යවරයා ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමේ අවස්ථා ලබා දීම සඳහා පවත්වනු ලබන මෙම ශිෂ්‍යත්ව විභාගයට දැනට එම පාසල්වල සිටින දරුවන් යොමු කරවීම ඵල රහිත ක්‍රියාවක් බවත් එමගින් දැනට මත් පවත්නා අනවරත විභාග තරගකාරිත්වය තව දුරටත් උත්සන්න වීම සිදු වන බවත් කී ය.

එමෙන් ම ඉදිරියේ දී උසස් පෙළ විභාගය පැවැත්වුණ ද 2024 ජනවාරිවල පාසල්වල ප්‍රාථමික පන්ති පවත්වාගෙන යාමට අපේක්ෂා කරන අතර ලබන වසර තුළ අතපසු වූ සියලු‍ විෂය ආවරණ කටයුතු සම්පූර්ණ කර නිමා කරන බව ද ඊට අදාළ ව නිවාඩු කාලය අඩු වන බව ද කී අමාත්‍යවරයා තරුණ ජනගහනයට සාපේක්ෂ ව රටේ වැඩිහිටි ජනගහනය වැඩි වීමෙන් ඉදිරියට රටට තවත් බරක් එකතු වන බවත් මේ සියලු‍ ගැටලු‍ ජයගැනීම සඳහා නිසි ආර්ථික හා ප්‍රතිපත්ති ඇතුළත් මනා පරිපාලන කළමනාකාරීත්වයක් තිබිය යුතු බවත් එහි දී සැම විට මුදල් ම අවශ්‍ය නොවන අතර ආකල්පමය වෙනස්කම් ප්‍රමාණවත් වන බවත් සඳහන් කළේ ය.

මූලාශ්‍රය : දිනමිණ

Translate