Home » ෂාරුක් ඛාන්ට ලොකු ආරක්ෂාවක්
Celebrity Entertainment Featured India News South Asia

ෂාරුක් ඛාන්ට ලොකු ආරක්ෂාවක්

ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු මෙන්ම බොලිවුඩයේ රජරුවන් ලෙස සැලකෙන ෂාරුක් ඛාන්ගේ ජීවිතයට තර්ජනයක් එල්ල විමට අවස්ථාවක් තිබීම හේතුවෙන් ඔහුගේ ආරක්ෂාව තර කිරීමට තීරණය කළ බව මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ඒ අනුව ඔහුගේ ආරක්ෂාව වයි ප්ලස් කාණ්ඩය දක්වා ඉහළ දමන බවද මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය පෙන්වා දුන්නේය.ෂාරුක් ඛාන්ට එල්ල වී ඇති මරණ තර්ජන පිළිබඳ වැඩිදුර තොරතුරු මහාරාෂ්ට්‍ර පොලිසිය විසින් මාධ්‍ය වෙත ලබා දී නොමැති වුවත් ඉහළ තනතුරු දරණ පිරිසකගෙන් සමන්විත කමිටු රැස්වීමකදී එම මරණ තර්ජන පිළිබඳ තිබෙන තොරතුරු සමාලෝචනය කිරීමෙන් අනතුරුව මෙවැනි ඉහළ ආරක්ෂාවක් ලබා දීමට තීරණය වූ බව පොලිස් ආරංචි මාර්ග පෙන්වා දී ඇත.

පතාන් සහ ජවාන් චිත්‍රපට ලැබූ සාර්ථකත්වයත් සමඟ දුරකතන ඇමතුම් මාර්ගයෙන් තමාට මරණීය තර්ජන එල්ල වන බව ෂාරුක් ඛාන් පසුගිය 5 වැනිදා  ලිඛිතව මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණ.

එම පැමිණිල්ලත් සමඟ ෂාරුක් ඛාන්ගේ ආරක්ෂාව වයි ප්ලස් කාණ්ඩය දක්වා ඉහළ දමන ලෙස සියලුම පොලිස් ස්ථානවලට සහ විශේෂ ආරක්ෂණ ඒකක වලට දැනුම් දීමට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බුද්ධි අංශය කටයුතු කළේය.ඒ අනුව ඔහු ගමන් කරන විට ආරක්ෂාව සැලසීම සඳහා කොමාන්ඩෝ භටයන් 6 දෙනෙකු, පොලිස් නිලධාරීන් 4 දෙනෙකු සහ ඉදිරියෙන් ගමන් කරමින් වාහන තදබදය අවම කිරීම සඳහා පොලිස් වාහනයක් ෂාරුක් ඛාන්ට ලැබෙනු ඇතැයි මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය ප්‍රකාශ කර ඇත.පොලිස් නිලධාරීන් හතර දෙනාට ෂාරුක් ඛාන්ගේ මුම්බායි හි පිහිටි මන්නට් නිවසේ ආරක්ෂාව බාර වෙනු ඇතැයි ප්‍රාන්ත රජය පවසා තිබේ.

එම ආරක්ෂක නිලධාරීන් පිරිස එම්.පී 5 වර්ගයේ සහ ඒ.කේ 47 වර්ගයේ තුවක්කු වලින් සන්නද්ධව සිටිනු ඇති බවත් මෙම පිරිසට අමතරව ෂාරුක් ඛාන්ගේ පුද්ගලික ආරක්ෂක භටයන්ද ඔහුට ආරක්ෂාව සපයනු ඇති බවත් මහාරාෂ්ට්‍ර පොලිසිය ප්‍රකාශ කර ඇත.

ෂාරුක් ඛාන්ට ආරක්ෂාව ලබා දීමට තීරණය කළ කමිටුව නැවත වරක් රැස්වී එම තීරණය සමාලෝචනය කරන තෙක් දිගටම ඔහුට ආරක්ෂාව ලැබෙනු ඇතැයිද පැවැසෙයි.

ෂාරුක් ඛාන් රංගනයෙන් දායකවූ ජවාන් චිත්‍රපටය තවමත් ලෝකය පුරා ප්‍රදර්ශනය වේ. මේ වනවිට ලෝකය පුරා  ඉන්දීය රුපියල් කෝටි 1100 ක ආදායමක් හිමිකර ගැනීමට ජවාන් චිත්‍රපටය සමත්ව වී ඇත.එවැනි ආදායමක් හිමිකරගත් එකම හින්දි චිත්‍රපටයද ජවාන් වේ.පතාන් චිත්‍රපටයද ඉන්දියාව තුළ මෙන්ම ලෝකය තුළද විශාල සාර්ථකත්වයක් ලබා ගත්තේය.

මූලාශ්‍රය: ලංකා දීප

Translate